ඉඩම් අහිමි වුවන් පිරිසක් පොසොන් පුන් පෝදා උද්ඝෝෂණයක් දියත් කර තිබේ.
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය සිහි ගන්වන පොසොන් පොහොය දිනය යෙදී තිබු ජුනි 29 වැනිදා සිංහල දෙමළ බසින් සටන් පාඨ කියමින් තයියට්ටි ග්‍රාමයේ ඉදිකර තිබෙන තිස්ස විහාර ප්‍රවේශ මාර්ගයේ විරෝධතා දියත් කළ ඉඩම් අහිමි වුවන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ දේශපාලන ක්‍රියාධරයන් චෝදනා කළේ නීති විරෝධි ලෙස ඉදිකර තිබෙන පන්සලකට පොලීසිය ආරක්ෂාව සපයන බවටයි.
සිය ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් 2023 වසරේ සිට සෑම මසකම පුර පොහොය දිනයකම විහාරස්ථානය සමීපයේ විරෝධතාවයේ නිරත දෙමළ ජනයා චෝදනා කරන්නේ දෙමළ පවුල් 14 ට අයත් අක්කර 6කට වැඩි භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව තිස්ස විහාරස්ථානය ඉදි කර ඇති බවටයි.
දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් හමුදා අනුග්‍රහයෙන් යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් උතුර තයියට්ටි ගම්මානයේ ඉදි කර තිබෙන තිස්ස විහාරය මේ දක්වාම ලියාපදිංචි කර නැති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ද 2025 වසරේ සැප්තැම්බර් 26 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේදී පිලි ගෙන තිබුනි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ වැඩි දුරටත් හෙළි කර තිබුනේ යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් උතුර ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ තිස්ස විහාර කිහිපයක්ම පවතින බවටයි.
කන්කසන්තුරේ තිස්ස විහාරස්ථානය ඓතිහාසික යැයි පවසන ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්යෝත්සවය 2023 අප්‍රේල් 27 වැනි දින සිදු කළ බව සිය නිල පුවත් වෙබ් අඩවියේ සදහන් කර ඇත.
එහි වැඩි දුරටත් සදහන්ව ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකයට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වන බවයි.
රජමහා විහාර නාම පුවරු සවි කරමින් හමුදා දායකත්වයෙන් කන්කසන්තුරේ තයියට්ටියේ ඉදි කර ඇති විහාරස්ථානය ව්‍යාජයක් බව නාගදීප පුරාණ රජමහා විහාරාධිපති හා උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් ද පසුගිය වසරේ හෙළි කර තිබුනි.
තයියට්ටි ග්‍රාමයේ ඉදිකර තිබෙන තිස්ස විහාරයේ විහාරාධිපති හිමියන්ට අමරපුර ශ්‍රී කල්‍යාණිවංස නිකායේ උත්තර ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිළිබද ශ්‍රී සන්නස් පත්‍රය හා විජිනි පත පිලිගැන්වීමේ අවස්ථාවට එක්ව සිටි පුජ්‍ය බලපිටියේ සිරි සීවලී හිමියන් බෞද්ධ කටයුතු පිලිබඳ අමාත්‍යවරයාද සහභාගී වූ උත්සව සභාව අමතමින් 2025 දෙසැම්බර් 21 වැනිදා අවධාරණය කර තිබුනේ තිස්ස විහාරයේ දෙමළ ජනයා අයිතිය කියා පාන භුමිය ඔවුන්ට නිදහස් කර දීම විහාරාධිපති හිමියන්ට සැබෑ ගෞරවයක් වන බවයි.





