කාලයක් තිස්සේ කොටුවී සිටින මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ යුද පීඩිත මව්වරුන් පිරිසක් සිය ඉඩම් වහා නිදහස් කරන ලෙස බල කරමින් දියත් කොට ඇති අඛණ්ඩ සාමකාමී විරෝධයට මේ වනවිට සතියක් ගතවී තිබේ.
ජීවත්වීමට සහ ජීවිකාව පවත්වාගෙන යාමට තමන්ගේම ඉඩම් අක්කර සිය ගණනක් නැවත ලබාගැනීම සඳහා දීර්ඝ කාලයක් පුරාවට අරගලයේ යෙදී සිටින මුලතිව්, කේපාපුලව් වැසියන් ජුනි 24 වැනිදා උදෑසන අඛණ්ඩ විරෝධය ආරම්භ කර තිබුනේ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය සමීපයේදීයි.
වර්තමාන රාජ්‍ය නායකයන්ගේ ද දායකත්වයෙන් උතුරේ දියත් වු කෘර සිවිල් යුද්ධය ලේ වැගිරීමකින් අවසන් වූ පසුවත්, ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් වාඩි ලා ගත් දෙමළ ජනයාගේ ඉඩම් සම්පුර්නයෙන්ම නිදහස් නොකිරීම නිසා මුල් භුමිය අහිමි වී දරිද්‍රතාවයට පත්ව ඇති යුද පීඩිත දෙමළ ජනතාව තවමත් සිටින්නේ සිය ඉඩම් ආපසු ලබාගැනීමේ නොනිමි අරගලයක නිරත වෙමිනි.
කේපාපුලව් ආදර්ශ ගම්මානයේ දෙමළ ජනතාව විසින් මෙවර අඛණ්ඩ විරෝධතාවය ආරම්භ කර ඇත්තේ දෙමළ පවුල් පවුල් 55 කට අයත් ඉඩම් අක්කර පනස් නමයහමාරක් සහ තවත් පවුල් 4 ට අයත් ඉඩම් අක්කර 100 ක ප්‍රමාණයක් නීත්‍යානුකූලවම හැකි ඉක්මනින් ඔවුන් වෙත ආපසු ලබා ගැනීමේ අරමුණින් යුතුවයි.
ලක්ෂ සංඛ්‍යාත යුද අනාථයන් රඳවාගෙන සිටි මැණික් ෆාම් කඳවුරේ අවසානයට ඉතුරුවූ පවුල් සිය ගණනක ජනතාව 2012 ඔක්තෝබර් මාසයේ දී පදිංචි කර තිබුනේ මුලතිව් කැලය එලිකර පිහිටවූ ‘ආදර්ශ ගම්මානය’ යනුවෙන් නම් කළ බිම් කඩකය.
අනාථ වීමට පෙර ඔවුන් පාරම්පරිකව පදිංචි වී සිටියේ යුද්ධයේ වඩාත් බිහිසුණු ප්‍රහාර වලට ගොදුරු වී දස දහස් ගණනක් මරු දුටු මුල්ලිවයික්කාල් සහ ඊට යාබද ගම්මාන වලය.
හුරුපුරුදු ලෙස ‘ජාතික ආරක්ෂාව’ හුවා දක්වමින්, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය විසින් 2012 වසරේදී සීනියාමෝට්ටෙයි හි පිහිටි කැලෑබද ඉඩමක් හෙළිපෙහෙළි කළේ බරපතල පරිසර ගැටළු ද ඇති කරමිනි. ප්‍රදේශයේ වැසියන්ට ජීවත් වීමට සහ ජීවිකාව කරගැනීමට ඔවුන්ගේ පාරම්පරික ඉඩම් නැවත ලබාදීම වෙනුවට එවකට රජය සිදු කළේ ඔවුන් බලෙන්ම නැවත පදිංචි කරවීමයි.
සැබෑම ඉඩම් හිමිකරුවන්ට යහපත් ජීවන තත්වයකට ඇති ඉඩ ප්‍රස්ථාව අහිමි කරමින් වනසතුන්ගේ සහ හමුදාවෙන් නිරන්තරයෙන් එල්ලවන තර්ජන මධ්‍යයේ ජීවත්වීමට සිදුවන කැලෑ මන්ඩියකට ඔවුන් පිටුවහල් කළ හමුදාව විසින් මුලතිවු දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශයක් අත්පත්කරගෙන එහි කඳවුරු බැඳ ගොඩනැගිලි ඉදිකර තිබේ.
කේපාපුලව් හි මුල් වැසියන් මෙවැනි දුක්ඛිත තත්වයකට ඇදදැමීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයටද චෝදනා එල්ල වී ඇත. එකල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක වූයේ නැසීගිය ආචාර්ය සුබිනේයි නන්දි යි.
කේපාපුලව් ප්‍රදේශයේ දෙමළ ජනතාව අත්විඳින දුෂ්කරතා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විසින් මනා ලෙස ලේඛනගත කර ඇත.
සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙවත් UNHRC විසින් 2012 වසරේ සැප්තැම්බර් 28 වැනිදා නිකුත් කළ වාර්තාවක් තුළ මෙම ජනතාව මුහුණපාන දුෂ්කරතා පිලිබඳව සාකච්ඡා කර තිබේ.
“අප නැවත පදිංචි කිරීම පිළිබඳව ලෝකයට බොරුවක් කියමින් පවතී,” යි මැණික් ෆාම් කඳවුරෙන් පිටව යන යුද අනාථ දෙමළ කාන්තාවක වන අවුරුදු 43 ක් වයසැති සිවගුරු අන්ගරමුත්තු උඩලයකුමාරි IRIN මාධ්‍ය ආයතනයට පවසා තිබුනේ බසයකට ගොඩවෙමිනි. ඇය වැඩිදුරටත් පැවසූවේ ඇය ගමන් කරන්නේ කොහාටදැයි නිසි අවබෝධයක් නොතිබූ බවයි.
මෙම කණ්ඩායමට නැවතත් කේපාපුලව් ප්‍රදේශයේ පිහිටි සිය නිවෙස්වලට පැමිණීමට ඉඩ ලබා නොදුන්නේ ඔවුන්ගේ ඉඩම් හමුදාව අත්පත්කරගෙන සිටි බැවිනි. ඒ වෙනුවට ඔවුන් රජයට අයත් ඉඩම්වලට නැවත ස්ථානගත කරන ලදුව අදත් ගෙදර යාමට නොහැකිව සිටි.
අඛණ්ඩ විරෝධතාවයේ යෙදී සිටින දෙමළ මව්වරුන් මුණ ගැසීමෙන් පසු වන්නි දිස්ත්‍රික් ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ එම වැසියන්ගේ සටන සිය සරුසාර පාරම්පරික මුල් භුමිය ආපසු ලබා ගැනීම වෙනුවෙන් මිස විකල්ප ඉඩම් ඉල්ලා සිටිම වෙනුවෙන් නොවන බවයි.
“පල දරන ගස් සහ පලදායි භූමියක් වෙනුවෙන් තමයි ඔවුන් සටන් කරන්නේ. ඔවුන් වෙනත් තැනක ඉඩමක් ඕනේ කියලා නෙවෙයි සටන් කරන්නේ, තමන්ගේ ඉඩම තමන්ට ඕනේ කියලා. ආරක්ෂක අමාත්‍යාංශය එක්ක තිබුණ රැස්වීමේදී මේ ගැන මම පැහැදිලි කිරීමක් කළා. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා අවධානය යොමු කරයි කියලා විශ්වාස කරනවා.”
වසර 14 කට පසුවත්, කැලෑ මන්ඩියක ‘නැවත පදිංචි කර’ ඉන්නා ඔවුන්ගේ අවිනිශ්චිත ජීවිත පහළොස් වසරක් තිස්සේ ගෙවී යන්නේ දරිද්‍රතාවය සහ අනාරක්ෂිත බව මධ්‍යයේ යි.





