"ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් කරන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ වැඩේ" - මර්ධන දේශපාලනයට දැඩි ප්‍රහාරයක්
අධ්‍යාපනය, ධීවර, කෘෂිකර්ම සහ ඩෙංගු මර්දනය ඇතුළු සමස්ත පද්ධතියම අඩපණ වී ඇති බවට චෝදනා
අසීමිත බොරු කියමින් බලයට පැමිණි වත්මන් රජය, ජනතාව මුහුණ දෙන සැබෑ ජීවන වියදම් පීඩනයට සහ ආර්ථික අර්බුදයට විසඳුම් දෙනු වෙනුවට තමන්ගේ නොහැකියාව වසාගැනීම සඳහා මර්ධනකාරී දේශපාලනයක් අනුගමනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
පුත්තලම ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතාවගේ මූලික ප්‍රශ්න අමතක කර දමා ඇති ආණ්ඩුවට රට ඉදිරියට ගෙන යාම සඳහා කිසිදු නිශ්චිත සැලැස්මක් හෝ වැඩපිළිවෙළක් නොමැති බවයි.
ආර්ථික ස්ථාවරත්වය සහ ජීවන වියදම අඩු කරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි මාලිමා රජය, මේ වන විට ජනතාව පිට පටවා ඇති අධික බදු බර, ඉහළ යන විදුලි හා ඉන්ධන ගාස්තු හමුවේ සැබෑ සහන දීම මඟහැර සිටී. රජයේ සේවකයන්ට සහන ලෙස හාල් ණයට දීමට සිදුවීමෙන්ම ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණයේ පවතින බිඳවැටීම පැහැදිලි වන බවත්, ජනතා පීඩනය හමුවේ මතුවන විරෝධතා පාලනය කිරීමට ආණ්ඩුව පොලිස් බලය සහ මර්ධනය මුදාහරිමින් සිටින බවත් නාමල් රාජපක්ෂ මෙහිදී පෙන්වා දෙයි.
නාමල් ආණ්ඩුවට එල්ල කළ ප්‍රධාන චෝදනා

ලීසිං ක්‍රමයට හාල් දීමේ සහන ක්‍රමය:
රාජ්‍ය සේවකයන්ට හාල් කිලෝ 20ක් ණයට දීම ආණ්ඩුවේ උපරිම සහනය වී ඇත. ඒ ණය ගෙවන්න බැරි වුණොත් ගෙවල්වලට පැන බත් මුට්ටිය පවා රැගෙන යාමට වත්මන් පාලකයන් පසුබට නොවන බවත්, ඔවුන්ට එවැනි දේ කර පූර්ව පළපුරුද්දක් ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ජනාධිපතිගේ 'පොලිස් මාධ්‍ය ප්‍රකාශක' භූමිකාව:
රටේ කර්මාන්තශාලා වැසීයාම, වී මිල සහ පොහොර ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේදී කතා කරනු ඇතැයි බලාපොරොත්තු වුවද, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ රාජකාරිය කරමින් පරීක්ෂණ සහ මර්ධනයන් ගැන පමණක් උදම් අනන බවට ඔහු චෝදනා කළේය.
තෙල්, ගල්අඟුරු සහ වරාය වංචා සෙවීම:
විමර්ශන සිදුකිරීමට කිසිදු විරෝධතාවක් නොමැති අතර බාල ගල්අඟුරු ගෙන්වීම, ලෝකයේ වැඩිම මිලට තෙල් ගැනීම, ගොවියාගේ වී කැපෙන කාලයට පිටරටින් හාල් ගෙන්වීම සහ වරායෙන් පැනවූ කන්ටේනර් 323 පිළිබඳව වහාම සෙවිය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
පද්ධති අඩපණ වීම සහ ඩෙංගු අර්බුදය:
ජනාධිපතිවරයාට තමන්ගේ කාර්යාලයවත් පිරිසිදු කරගැනීමට නොහැකි වී ඇති අතර, කොළඹ ඩෙංගු මර්දනය සිහිපත් වී ඇත්තේ රෝගීන් 50,000ක් වාර්තා වූ පසුවය. ඇතැම් පළාත් පාලන ආයතන දුම් ගැසීම සඳහා පවා රෝගීන් 10 දෙනෙකු සම්පූර්ණ වන තෙක් බලා සිටින මට්ටමට සමස්ත සෞඛ්‍ය පද්ධතියම අකර්මණ්‍ය වී ඇත.
ක්ෂේත්‍ර රැසක මානසික පීඩනය:
උසස් පෙළ විභාග දින කලින් දැමීම නිසා සිසුන් සහ දෙමාපියන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටියද අධ්‍යාපන බලධාරීන් ඊට ඇහුම්කන් නොදෙන බවත්, ප්‍රශ්න පවසන වෛද්‍යවරුන්, ධීවරයන් සහ ගොවීන් "හොරු, කසිප්පුකාරයෝ" ලෙස හංවඩු ගසමින් ආණ්ඩුව ජනතාව බෙදා වෙන් කර පාලනය කිරීමට උත්සාහ කරන බවත් ඔහු පැවසීය.
ඉදිරි දේශපාලන බලවේගය

IMF එකට ගොස් එන සෑම අවස්ථාවකදීම බදු බර වැඩි කරගෙන පැමිණෙන ආණ්ඩුවට එරෙහිව, මහපොළොවේ පය ගහ ජීවත් වන, ගම හඳුනන නව තරුණ නායකත්වයක් ගම් මට්ටමින් බිහි කළ යුතු බව නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
ඒසී කාමරවල සිට ගමට ගරහන පාලකයන් වෙනුවට, ජනතාවට වැඩ කර පුරුදු, පොදුජන පෙරමුණ වටා රොද බඳින තරුණ කණ්ඩායම් එකතු කරගනිමින් දැවැන්ත දේශපාලන බලවේගයක් ඉදිරියේදී ගොඩනඟන බව ඔහු වැඩිදුරටත් සපථ කළේය.




