රජය ගත් තීරණයට දැඩි කනස්සල්ල පළ කරන සිවිල් සංවිධානයක් එම ක්‍රියාමාර්ගය අත් හිටුවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
“නැගෙනහිර පළාත් ඉඩම් ආරක්ෂා කිරීම” නමින් දකුණු පළාතේ හිටපු ඉඩම් කොමසාරිස් සහ වර්තමාන දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස්, සේනක පල්ලියගුරුගේ සභාපතිත්වයෙන් සහ අදාළ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමේ යෝජනාවකට 2026 ජූනි 22 වැනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
නැගෙනහිර පළාතේ ඉඩම් ගැටලු සඳහා මැදිහත් වීමට නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ ඒකකයක් වහාම ස්ථාපිත කිරීම මෙන්ම දේශපාලන බලය භාවිත කරමින් සිදු කෙරෙන සියලුම අනවසර ඉඩම් අල්ලා ගැනීම් සහ ගොඩකිරීම් නතර කිරීම පිණිස ආරක්ෂක අංශ වෙත පූර්ණ බලතල ලබා දීමද එමගින් සිදු කර තිබුනි.
නීතිවිරෝධී ලෙස ඉඩම් අත්පත් කර ගැනීම, අනවසර ඉඩම් අත්පත් කර ගැනීම් සහ වෙරළ තීරය දිගේ සිදුවන අනවසර ඉදිකිරීම් එම පළාතට බලපාන ප්‍රධාන ගැටලු ලෙස ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට හඳුන්වා දී තිබුණි.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් නැගෙනහිර පදනම් කොටගත් යුක්ති කේන්ද්‍රය පෙන්වා දී ඇත්තේ එම තීරණයට එළඹීම සඳහා ප්‍රකාශිත ක්‍රියාකාරකම් බරපතල ගැටළු යන වග සිය සංවිධානය විසින් ද ප්‍රතික්ෂේප නොකරන නමුත් ඒවා නැගෙනහිර පළාතට පමණක් ආවේණික වූ ගැටලු නොවන බවයි.
යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ සාෆි එච්. ඉස්මයිල්ගේ අත්සනින් යුතුව ජුනි 28 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකට යොමු කළ ලිපියක් මගින් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ රටේ සියළු පළාත් වල මෙවන් ගැටළු පවතිද්දී නැගෙනහිර පළාතට පමණක් මෙවැනි විශේෂ කමිටුවක් පත් කිරීම වෙනස්කොට සැලකීමක් ලෙසයි.
“ඒවා ශ්‍රී ලංකාවේ සෑම පළාතකම වාර්තා වී ඇති, රට පුරා පවතින සංසිද්ධියකි. දකුණ, වයඹ සහ උතුරු මැද පළාත්වල ද මෙවැනිම ගැටලු මැනවින් වාර්තා වී ඇත. එම සියලුම පළාත් සඳහා කිසිදු විශේෂ කමිටුවක් පත් කර නොමැත. නැගෙනහිර පළාතට පමණක් මෙය අදාළ කරගෙන ඇත. මෙම වෙනස් කොට සැලකීම දැඩි කනස්සල්ලට කරුණකි. ”
නැගෙනහිර පළාත යනු දෙමළ, මුස්ලිම් සහ සිංහල ප්‍රජාවන් සහයෝගයෙන් ජීවත්වන ප්‍රදේශයක් බව ජනාධිපතිවරයාට දැනුම් දෙන යුක්ති කේන්ද්‍රයේ අවධාරණය කරන්නේ විශේෂයෙන්ම සුළුතර ප්‍රජාවන්ට බලපාන පරිදි, ඉඩම් අහිමි වීමේ වේදනාකාරී පශ්චාත් යුද ඉතිහාසයක් ද ඔවුන් විසින් දරා සිටින බවයි.
රටේ අන් කිසිදු ස්ථානයක මෙවැනි ආයතනයක් පිහිටුවා නොමැති අතර, මෙම පළාතට පමණක් විශේෂයෙන් බලාත්මක වන යාන්ත්‍රණයක් පිහිටුවීම එම ප්‍රජාවන්ට වැරදි අදහසක් ඇති කරන බව ජනාධිපතිවරයාට සිහිපත් කරන යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ සහ්ෆි එච්. ඉස්මයිල් තව දුරටත් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් සියලුම තැනැත්තන්ට නීතියේ සමාන ආරක්ෂාව සහතික කර ඇති බවයි.
සුළුතර ප්‍රජාවන් කේන්ද්‍රගත වී සිටින ප්‍රදේශයකට පමණක් අදාළ වන පරිදි, එක් පළාතකට පමණක් සීමිත වූ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම මෙම මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව ජනාධිපති අනුර කුමාර දිසානායකට පෙන්වා දෙන යුක්ති කේන්ද්‍රයේ සභාපතිවරයා ඉඩම් ගැටළු විසඳීම සඳහා යොදාගත හැකි යාන්ත්‍රණ ප්‍රමාණවත් ලෙස දැනටමත් ක්‍රියාත්මක වන බව සිහිපත් කර දී තිබේ.
“12(2) වගන්තිය මගින් ජාතිය, ආගම හෝ උපන් ස්ථානය යන පදනම් මත වෙනස් කොට සැලකීම තහනම් කරයි. සුළුතර ප්‍රජාවන් කේන්ද්‍රගත වී සිටින ප්‍රදේශයකට පමණක් අදාළ වන පරිදි, එක් පළාතකට පමණක් සීමිත වූ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම මෙම මූලික අයිතිවාසිකම්වලට පටහැනිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව නිවැරදි ප්‍රවේශය වන්නේ පළාත් නවය පුරාම නීතිය සමානව සහ අපක්ෂපාතීව බලාත්මක කිරීමයි. වඩාත්ම වැදගත් කරුණ නම්, හඳුනාගත් ගැටලු විසඳීම සඳහා අවශ්‍ය සියලු විධිවිධාන නීතිය මගින් දැනටමත් සපයා තිබීමයි. 1979 අංක 7 දරන රජයේ ඉඩම් (භුක්තිය නැවත ලබා ගැනීමේ) පනත මගින් විධිමත් ව්‍යවස්ථාපිත ක්‍රියාවලියක් හරහා අනවසරයෙන් අත්පත් කරගෙන ඇති රජයේ ඉඩම් නැවත ලබා ගැනීමට නිසි බලධාරීන්ට පැහැදිලි සහ පුළුල් බලතල ලබා දෙයි,” යනුවෙන් නීතිඥ ඉස්මයිල් පවසයි.
රජයේ ඉඩම් ආඥාපනත (454 වන පරිච්ඡේදය) සහ ඉඩම් සංවර්ධන ආඥාපනත ජනාධිපතිවරයාට ඉඩම් කොමසාරිස්වරයා සහ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ක්‍රියා කරමින්, කොන්දේසිවලට අනුකූලව ප්‍රයෝජනයට ගෙන නොමැති ඉඩම් ප්‍රදානයන් අවලංගු කිරීමට සහ එම ඉඩම් නැවත පවරා ගැනීමට ඉඩ සලසන බව පෙන්වා දෙන යුක්ති කේන්ද්‍රය අවධාරණය කරන්නේ අමාත්‍ය මණ්ඩල තීරණයේ සඳහන් කර ඇති මහවැලි අධිකාරිය සතු ඉඩම්, කිසිදු විශේෂයෙන් පත් කරන ලද ආයතනයකින් තොරව, මෙම ප්‍රතිපාදන යටතේ නීත්‍යානුකූලව නැවත ලබා ගත හැකි බවයි.
නැගෙනහිර වෙරළ තීරයේ පවතින ඉහළ විභවතාව භාවිත කරමින්, වෙරළ පද්ධතිය ද ආරක්ෂා වන පරිදි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම පිණිස කඩිනමින් විධිමත් සැලැස්මක් සකස් කිරීමටත්, නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිත හෝටල් පවත්වාගෙන යාමේදී රාජ්‍ය නිලධාරින් විසින් අපක්ෂපාතීව සහ විනිවිදභාවයකින් යුතුව නීතිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීමටත් ජුනි 22 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුනි.
අමාත්‍ය මණ්ඩල තීරණයේ දක්වා ඇති සෑම ගැටලුවක්ම පළාතට පමණක් සීමිත වූ බලතල සහිත විශේෂ කමිටුවකින් තොරව, පවතින රාමුව තුළ විසඳා ගත හැකි බව පෙන්වා දෙන යුක්ති කේන්ද්‍රය ජනාධිපති අනුර කුමාර දිසානායකට යළි යළිත් අවධාරණය කර ඇත්තේ අවශ්‍ය වන්නේ නව යාන්ත්‍රණයක් නොව, දැනටමත් පවතින නීතිය සියලුම පළාත්වලට එක ලෙස, අපක්ෂපාතීව සහ ස්ථාවරව ක්‍රියාත්මක කිරීමට ඇති දේශපාලන අධිෂ්ඨානයක් පමණක් බවයි.
යුක්ති කේන්ද්‍රයේ සභාපති සාෆි එච්. ඉස්මයිල්ගේ අත්සනින් යුතුව ජුනි 28 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකට යොමු කළ ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ වෙරළ කලාපය තුළ සිදුවන සියලුම සංවර්ධන කටයුතු නියාමනයටත් අනවසර ඉදිකිරීම්වලට එරෙහිව පියවර ගැනීමටත් වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂවරයාට දැනටමත් පූර්ණ බලය පවතින බවයි.
“වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනත මඟින් වෙරළ කලාපය තුළ සිදුවන සියලුම සංවර්ධන කටයුතු නියාමනය කරන අතර අනවසර ඉදිකිරීම්වලට එරෙහිව බලාත්මක කිරීමේ පියවර ගැනීමට වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂවරයාට පූර්ණ බලය ලබා දෙයි. 1950 අංක 9 දරන ඉඩම් අත්පත් කර ගැනීමේ පනත මඟින් සෑම අදියරකදීම අධිකරණ සමාලෝචනයට ප්‍රවේශය සහිතව, පොදු අරමුණු සඳහා ඉඩම් අත්පත් කර ගැනීම සඳහා සාධාරණ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ක්‍රියා පටිපාටියක් සපයයි. ප්‍රාදේශීය ලේකම්වරුන්, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, පොලිසිය සහ අධිකරණ දැනටමත් ස්ථාපිත කර ඇති අතර ක්‍රියා කිරීමට පූර්ණ බලය ලබා දී ඇත.”
ඒ අනුව, සියලු දෙනා ඇතුළත් කරගත්, විනිවිදභාවයෙන් යුත් මහජන විමසීමක් පවත්වන තෙක්, 2026 ජූනි 22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කරන ලෙස හෝ අත්හිටුවන ලෙස යුක්ති කේන්ද්‍රය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තියට අනුකූලව, ඉඩම් අවභාවිතය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ඕනෑම බලාත්මක කිරීමේ මුලපිරීමක් සියලුම පළාත්වලට සමානව අදාළ කරන ලෙසත්, ප්‍රමාණවත් වූ, ජාතික මට්ටමේ විෂය පථයක් සහිත සහ අධිකරණ අධීක්ෂණයට යටත් වූ පවතින නීතිමය රාමුව මෙම ගැටලු විසඳන මෙවලම බවට පත් කරන ලෙසත් අපි තවදුරටත් ඉල්ලා සිටින්නෙමු.”
නැගෙනහිර පළාත් ඉඩම් ආරක්ෂා කිරීම' නමින් විශේෂ කමිටුවක් පත් කිරීමට අදාලව ජුනි 22 වැනිදා නිකුත් කළ කැබිනට් තීරණ දැනුම් දීමේ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ව තිබුනේ සිවිල් යුද ගැටුම් අවසන් වී වසර 16ක් ගත වුවද, අවතැන් වූ ජනතාව ස්ථිරව නැවත පදිංචි කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීම සහ පරිපාලන ව්‍යුහයන් සැකසීමේදී පොදු නිර්ණායකයන්ගෙන් බැහැර වීම හේතුවෙන් නැගෙනහිර පළාතේ සංවර්ධන කටයුතු කෙරෙහි මෙන්ම ජාතික ආරක්ෂාව කෙරෙහි ද ඍජු බලපෑම් එල්ල වී ඇති බවයි.




