"ඒ සල්ලි ගත්තේ මම" - සුගීශ්වර බේරාගැනීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මධ්‍යම විමර්ශන අපරාධ කොට්ඨාසයට දුන් ප්‍රකාශය
වැඩක් නොකර දේශපාලනය විතරක් කළ රනිල්ගේ සමයේ 'විශේෂ ව්‍යාපෘති අංශයේ' 135කගේ නඩත්තුවට රුපියල් කෝටි 22ක් නාස්ති කරලා !
ජනාධිපති වැය ශීර්ෂය යටතේ නීතිවිරෝධී ලෙස වැටුප් දෙකක් ලබාගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ලබන ජූලි 08 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (01) නියම කළේය.
මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සටහන් කරගත් ප්‍රකාශය සහ රනිල් වික්‍රමසිංහ පාලන සමයේ සිදුවූ රුපියල් කෝටි 22ක මහා පරිමාණ රාජ්‍ය මුදල් අවභාවිතයක් පිළිබඳ තොරතුරු රැසක් ඊයේ මධ්‍යම විමර්ශන අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ගෝඨාභය දුන් ප්‍රකාශය සහ වැටුප් කතාව
සුගීශ්වර බණ්ඩාරට එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ ජනාධිපති වැය ශීර්ෂයන් දෙකකින් එකවර වැටුප් ලබාගත් බවයි.
ලේකම් දීමනාව ගෝඨාභයට:
විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි. එහිදී අදාළ ලේකම් දීමනාව තමන් විසින් ලබාගත් බව හිටපු ජනාධිපතිවරයා පිළිගෙන තිබේ. ගෝඨාභයගේ ඉල්ලීම මත ජනාධිපති ලේකම්වරයා විසින් ජනාධිපති කාර්යාලයේ මූල්‍ය අංශ ප්‍රධානියා ලවා මෙම මුදල් ගෙවීමට කටයුතු කර ඇත.
'වැඩක් නොකළ' විශේෂ ව්‍යාපෘති අංශයේ කෝටි 22
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමය තුළ සුගීශ්වර බණ්ඩාර ජනාධිපති කාර්යාලයේ "විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්" වශයෙන් කටයුතු කර තිබේ. එම අංශය පිළිබඳව කළ විමර්ශනවලදී රාජ්‍ය දේපළ අවභාවිතය පිලිබඳ කරුණු අනාවරණය වී ඇතැයි ද විමර්ශකයින් පවසති.
දේශපාලන කටයුතු පමණයි:
අදාළ විශේෂ ව්‍යාපෘති අංශයේ සේවය කළ නිලධාරීන් 6 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඉන් තිදෙනෙකුම කියා සිටියේ එම අංශයෙන් කිසිදු රාජ්‍ය කාර්යයක් සිදු නොවූ බවයි. සෙසු දෙදෙනා ප්‍රකාශ කර ඇත්තේ එම අංශය හරහා සිදු වූයේ 100%ක්ම දේශපාලන කටයුතු පමණක් බවයි.
පුද්ගලයන් 135ක් සහ වාහන:
තාවකාලික පදනම මත පුද්ගලයන් 135 දෙනෙකු මෙම අංශයට බඳවාගෙන තිබූ අතර, ඔවුන්ගේ වැටුප්, වාහන සහ ඉන්ධන වෙනුවෙන් පමණක් රුපියල් කෝටි 22කට අධික මහජන මුදලක් වැය කර ඇත.
විත්ති පාර්ශවයේ තර්කය සහ අත්අඩංගුවට ගැනීම
සුගීශ්වර බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස අධිකරණය හමුවේ තදින්ම කියා සිටියේ තම සේවාදායකයා වැටුප් දෙකක් ලබාගෙන ඇති බවට සාක්ෂි දීමට විමර්ශකයන් අපොහොසත් වී ඇති බවයි.
නිසි විමර්ශනයක් නෑ:
ජූනි 12 වැනිදා ලැබුණු පැමිණිල්ලකට අනුව ජූනි 16 වැනිදා වාර්තාවක් දමා, ජූනි 18 වැනිදා කිසිදු මූලික විමර්ශනයකින් තොරව පාරේ යමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.
වගකීම ලේකම්වරයාගේ:
විශේෂ ව්‍යාපෘති අංශයට සේවකයන් බඳවා ගැනීම හෝ වාහන වෙන් කිරීම සිදුකළේ සුගීශ්වර බණ්ඩාර නොව ජනාධිපති ලේකම්වරයා බැවින් මෙම අපරාධයට ඔහු සෘජුව වගකිව යුතු නැති බව පවසමින් නීතිඥවරයා ඇප ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, කෝටි 22ක රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ විමර්ශන ඉදිරියට යන බැවින් සැකකරුට ඇප දුනහොත් සාක්ෂිවලට බාධා විය හැකි බවට පොලිසිය කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඇප තීන්දුව ජූලි 08 වැනිදාට කල් තබමින් සැකකරු එදින තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.




