වීදුරු බෝතල්වල සීමිත ඉඩකඩ සඳහා විකල්ප ලාංඡනයක් සහ Business to Business (B2B) නිෂ්පාදනවලට අලුත් අර්ථකථනයක්
මිලිලීටර් 100කට සීනි ග්‍රෑම් 8 ඉක්මවන්නේ නම් අනිවාර්ය රතු සලකුණ; කොළ ලැබෙන්නේ ග්‍රෑම් 2.5ට අඩුවෙන් තිබුණොත් පමණයි
වෙළෙඳපොළේ පවතින සීනි අන්තර්ගත දියර ආහාර සහ පැණි බීම වර්ග වර්ගීකරණය කරමින් පාරිභෝගිකයා දැනුවත් කිරීම සඳහා භාවිත කරන වර්ණ සංකේත (Traffic Light Labeling) ක්‍රමවේදය වඩාත් විධිමත් කරමින් නව සංශෝධන ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් 1980 අංක 26 දරන ආහාර පනතේ 32 වන වගන්තිය යටතේ පවරා ඇති බලතල ප්‍රකාරව මෙම නියෝග නිකුත් කර ඇති අතර, එය ඉකුත් ජුනි 23 දිනැති ගැසට් පත්‍රයේ නිල වශයෙන් පළ කර ඇත.
ලේබල් කිරීමේ නව මෝස්තර සහ වෙනස්කම්
මෙම නව සංශෝධන මඟින් සීනි අන්තර්ගත බීම වර්ගවල ඇසුරුම් මත ප්‍රදර්ශනය කළ යුතු රතු, ඇම්බර් සහ කොළ වර්ණ ලාංඡන වඩාත් පැහැදිලිව නිර්මාණය විය යුතු ආකාරය සහ ඒවා ප්‍රදර්ශනය කිරීමේ නිශ්චිත ප්‍රමිතීන් හඳුන්වා දී තිබේ.
බෝතල් සඳහා විකල්ප ක්‍රම:
වට ප්‍රමාණය අඩු, ඉඩකඩ සීමිත වීදුරු බෝතල් ඇසුරුම් සඳහා භාවිත කළ හැකි සරල විකල්ප වර්ණ ලාංඡනයක් ද මෙමඟින් හඳුන්වා දී ඇත.
B2B ආහාර සඳහා නිදහස:
"ව්‍යාපාරයකින් ව්‍යාපාරයකට" (Business to Business - B2B) සැපයෙන, සෘජුවම පාරිභෝගිකයා අතට පත් නොවී වෙනත් ආහාර නිෂ්පාදනයක් පිළියෙළ කිරීම හෝ නැවත සැකසීම සඳහා පමණක් යොදාගන්නා අමුද්‍රව්‍යමය දියර ආහාර සඳහා අලුත් අර්ථ නිරූපණයක් ලබා දෙමින් මෙම නීතියෙන් යම් ලිහිල් කිරීමක් සිදු කර තිබේ.
අලුත්ම සීනි මට්ටම් සහ වර්ණ වර්ගීකරණය
නව උපලේඛනයට අනුව ඕනෑම දියර ආහාරයක හෝ බීම වර්ගයක සෑම මිලිලීටර් 100කම (100ml) අඩංගු විය යුතු සීනි ප්‍රතිශතයන් වර්ණ 3ක් යටතේ මෙලෙස වර්ග කර ඇත.
රතු වර්ණය (අධික සීනි):
මිලිලීටර් 100ක සීනි අන්තර්ගතය ග්‍රෑම් 8.0ට වඩා වැඩි සියලුම බීම වර්ග සඳහා පාරිභෝගිකයා අවධාරණය කරවන රතු වර්ණ ලේබලය අනිවාර්ය වේ.
ඇම්බර් වර්ණය (මධ්‍යස්ථ සීනි):
මිලිලීටර් 100ක සීනි ප්‍රමාණය ග්‍රෑම් 2.5 සිට ග්‍රෑම් 8.0 දක්වා මට්ටමක පවතී නම් එය ඇම්බර් (කහ) වර්ණයෙන් දැක්විය යුතුය.
කොළ වර්ණය (අඩු සීනි):
සෞඛ්‍යයට හිතකර, සීනි අවම බීම වර්ග ලෙස මිලිලීටර් 100කට සීනි ග්‍රෑම් 2.5ට වඩා අඩු නිෂ්පාදන සඳහා පමණක් කොළ වර්ණ ලාංඡනය භාවිත කිරීමට අවසර හිමිවේ.
මෙම නව සංශෝධන මඟින් වෙළෙඳපොළේ පවතින බීම වර්ගවල සීනි මට්ටම පිළිබඳව පාරිභෝගිකයාට වඩාත් නිවැරදි සහ පැහැදිලි චිත්‍රයක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.
සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්,




