The Leader News
BREAKING
Top Ad
පුවත්

හයිටි යාමට සැරසෙන ශ්‍රී ලංකාවේ හමුදා පොලිස් බලඇණිය ගැන එක්සත් ජාතීන්ට ප්‍රශ්න

T

The Leader Desk

July 4, 2026 • 5:23 AM

හයිටි යාමට සැරසෙන ශ්‍රී ලංකාවේ හමුදා පොලිස් බලඇණිය ගැන එක්සත් ජාතීන්ට ප්‍රශ්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහිදී ශ්‍රී ලංකා යුද හමුදාව මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයද දෝෂාරෝපණයට ලක්ව සිටී.
  • හයිටියේ ගොඩබිම් මර්දක බලකායට (GSF) එක්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් යැවීමට නියමිත භට පිරිස 1132 කි.
  • ඊට විවිධ රෙජිමේන්තුවලට අයත් යුද හමුදා භටපිරිස් 900ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 189ක් මෙරට හමුදා ඉතිහාසයේ පළමුවරට බිම්බෝම්බ සහ මර උගුල් නිෂ්ක්‍රීය කිරීම පිළිබඳ විශේෂ පුහුණුව ලත් යුද සෙබලියන් 43 දෙනකු ඇතුලත් වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
  • මීට ඉහතදී ශ්‍රී ලංකාවෙන් යවා ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් නොවිසඳුණු චෝදනාවලට ලක්වූ භටපිරිස් සිටින හමුදාවක සෙබළුන් විනිවිද භාවයෙන් යුත් සුපරීක්ෂණයකින් තොරව හයිටියේ යෙදවීම සම්බන්ධයෙන් ඇම්නස්ටි ජාත්‍යන්තරය සිකුරාදා (03) බරපතල ප්‍රශ්න මතුකොට තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එහිදී ශ්‍රී ලංකා යුද හමුදාව මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයද දෝෂාරෝපණයට ලක්ව සිටී.

හයිටියේ ගොඩබිම් මර්දක බලකායට (GSF) එක්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් යැවීමට නියමිත භට පිරිස 1132 කි.

ඊට විවිධ රෙජිමේන්තුවලට අයත් යුද හමුදා භටපිරිස් 900ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 189ක් මෙරට හමුදා ඉතිහාසයේ පළමුවරට බිම්බෝම්බ සහ මර උගුල් නිෂ්ක්‍රීය කිරීම පිළිබඳ විශේෂ පුහුණුව ලත් යුද සෙබලියන් 43 දෙනකු ඇතුලත් වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

මීට ඉහතදී ශ්‍රී ලංකාවෙන් යවා ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් නොවිසඳුණු චෝදනාවලට ලක්වූ භටපිරිස් සිටින හමුදාවක සෙබළුන් විනිවිද භාවයෙන් යුත් සුපරීක්ෂණයකින් තොරව හයිටියේ යෙදවීම සම්බන්ධයෙන් ඇම්නස්ටි ජාත්‍යන්තරය සිකුරාදා (03) බරපතල ප්‍රශ්න මතුකොට තිබේ.

“මෙම මෑතම යෙදවීම සඳහා වන සෝදිසි කිරීමේ කාර්යාවලිය සිදුවූයේ කෙසේද, අනාගත රක්ෂාවරණය සඳහා යොදා ඇති විධිවිධාන කවරේද, යොදවනු ලබන ශ්‍රී ලංකා සහ අනිකුත් සියලුම බලඇණිවලට එරෙහිව අලුතින් එල්ල විය හැකි චෝදනා සම්බන්ධයෙන් ගනු ලබන පියවර මොනවාද යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේ බලධාරීන් මෙන්ම GSF නායකත්වය, හවුල්කරුවන්ගේ ස්ථාවර කණ්ඩායම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මුළුමනින්ම පාරදෘශ්‍ය විය යුතුය,” යි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව් යෝර්ක් නුවර ඇම්නස්ටි ජාත්‍යන්තරයේ නියෝජිත රෙන්සෝ පොමි පවසයි.

එක්සත් ජනපද හා කැනඩා සම නායකත්වයෙන් යුත් හවුල්කරුවන්ගේ ස්ථාවර කණ්ඩායම (Standing Group of Partners) ට බහමාස්, එල් සැල්වදෝර්, ගෝතමාලා, ජැමෙයිකා සහ කෙන්යා යන රටවල් අයත් වෙයි.

ශ්‍රී ලංකාවේ යුද හමුදාවම තමන්ගේ භට පිරිස් පුර්ව සෝදිසියට ලක් කිරීම  සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ පරීක්ෂාවන් පමණක් ප්‍රමාණවත් නොවන බව පවසමින් ජාත්‍යන්තර සංවිධාන සමූහයක් ඉකුත් සතියේ එක්සත් ජාතීන්ගේ සංවිධාන හමුවීමෙන් පසු කියා සිටියේ ශ්‍රී ලංකාවේ භට පිරිස්වලට අතීතයේ එල්ලවූ ලිංගික සුරාකෑම් සම්බන්ධ චෝදනාවල වගඋත්තරදායකත්වය ගැන ‘කිසිදු පැහැදිලිකමක් නැති’ බවයි.

“මෙය පාරදෘශ්‍ය භාවය, මානව හිමිකම් සම්බන්ධ ස්වාධීන සුපරීක්ෂාව සහ පැහැදිලි ආයතනික වගකීම නොමැතිකම පිලිබඳ බරපතල ප්‍රශ්න මතුකරයි. සියල්ලන්ටම වරමක් තිබියදී කිසිවකුත් වගකීම බාර නොගැනීමෙන් සිදුවන්නේ වගවීම අතුරුදහන් වීමයි,” යනුවෙන් එජා හමුවෙන් අනතුරුව සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නොසතුට පල කර තිබුණි.

“කිසිවෙක්, කොතැනකදී හෝ රටේ ආරක්ෂාව වෙනුවෙන්, ජනතාවගේ නිදහස වෙනුවෙන්, රජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් කාර්යයන් ඉටු කර තිබෙනවා නම් එම කාර්යයන්ට උරදුන් ඒ සියලු දෙනා ආරක්ෂා කිරීමේ වගකීමක් අපිට තිබෙනවා. හැබැයි ඒ හා සමාන ලෙසම හමුදාවන් සතුව තිබෙන කීර්තියද පසෙකලා හමුදාව සතුව තිබෙන වගකීම්ද පසෙක ලා යම් කුඩා කණ්ඩායම්වල බල වුවමනා වෙනුවෙන් හමුදාවට උචිත නොවන දේ, අපේක්ෂා නොකරන දේ සිදු කර තිබෙනවා නම් හමුදාවේ කීර්තිය, වින්දිතයන්ගේ ආරක්ෂාව සහ රටේ අභිමානය වෙනුවෙන් අපි ඔවුන් පිළිබඳ ක්‍රියා කිරීමට සූදානම්,” යයි ජනාධිපති අනුර කුමාර දිසානායක හයිටි යාමට සැරසෙන භට පිරිසට සුභාෂිංශනය කරමින් පවසා තිබුණි.

2004 -2007 කාල සීමාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා හයිටියේ යොදවා සිටි ශ්‍රී ලංකා යුද  භටයන් 134 දෙනකු විසින් ළමුන් ලිංගික වහල්කමේ යොදවමින් අපයෝජනයට ලක් කර ඇතැයි එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර වාර්තාවක සඳහන් වන බව ඇසෝසියේටඩ් පුවත් සේවාව විසින් 2017 දී අනාවරණය කරන ලදී. එයින් 114 දෙනකු ආපසු ශ්‍රී ලංකාවට යවන ලද මුත් කිසිවකුත් නීතිය හමුවට පමුණුවන ලද බවක් වාර්තා නොවේ.

2005 නොවැම්බර් සිට 2006 ජුනි දක්වා හයිටියේ සාම සාධක මෙහෙයුම් සඳහා යවා තිබූ තුන්වැනි බලකායේ ගැමුණු හේවා බලඇණියේ උප සෙන්පතියා වුයේ වර්තමාන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකරයි. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...