කුඩා ව්‍යාපාර හා කාන්තා ව්‍යවසායකයන්ට යුරෝපා වෙළෙඳපොළ විවෘත වන නවතම අවබෝධතා ගිවිසුම
යුරෝපයේ පරිසර හා ශ්‍රම ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි දේශීය නීති වෙනස් නොකළහොත් අවස්ථාව අහිමි වීමේ අවදානමක්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කවුළුව (IPD) අතර නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. මෙරට සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට යුරෝපා වෙළෙඳපොළට සෘජුවම පිවිසීමට මෙයින් මඟ පෑදෙන බව ප්‍රකාශ වුවද, එහි සැබෑ සාර්ථකත්වය රඳා පවතින්නේ ලේඛනවලට අත්සන් තැබීම මත නොව රට තුළ දශක ගණනාවක් තිස්සේ කල්දමමින් සිටින ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම මත පමණක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
2019 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම ද්විපාර්ශ්වික සබඳතාවය අලුත් කිරීම හරහා ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට තාක්ෂණික සහාය, ව්‍යාපාරික සබඳතා ගොඩනැඟීම සහ යුරෝපා වෙළෙඳපොළට පහසුවෙන් ළඟාවීමේ අවස්ථාව හිමි වේ.
දේශීය ව්‍යාපාර මුහුණ දෙන සැබෑ බාධා
ජර්මනිය ඇතුළු යුරෝපා සංගමයේ සංවර්ධන හවුල්කරුවන් මෙරට සාම්ප්‍රදායික ඇඟලුම්, තේ සහ රබර් කර්මාන්තවලින් ඔබ්බට ගිය නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහි විශ්වාසය තබා ඇතත්, දේශීයව පවතින ගැටලු හේතුවෙන් අපනයනකරුවන් දැඩි පීඩනයකට ලක්ව ඇත.
අධික පිරිවැය සහ අස්ථාවරත්වය:
මෙරට පවතින අධික විදුලි ගාස්තු, ප්‍රවාහන හා සැපයුම් දාමයේ අධික පිරිවැය, නිතර නිතර වෙනස් වන රාජ්‍ය ප්‍රතිපත්ති සහ විනිමය අනුපාතයන්ගේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ අනෙකුත් රටවල් සමඟ තරඟ කිරීමට ලංකාවේ ව්‍යාපාරිකයන්ට අපහසු වී තිබේ.
නිලධාරීවාදී ප්‍රමාදයන්:
වත්මන් රජය අපනයන මත පදනම් වූ ආර්ථික වර්ධනයක් ගැන නිතර ප්‍රකාශ කළ ද, රාජ්‍ය ආයතන අතර පවතින සම්බන්ධීකරණයේ දුර්වලතා සහ අමාත්‍යාංශ කිහිපයක් හරහා රස්තියාදු වීමට සිදුවීම නිසා ප්‍රතිපත්ති ප්‍රකාශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම ඉතා මන්දගාමී ය.
සුළු ව්‍යාපාර, කාන්තා ව්‍යවසායකත්වය සහ ජාත්‍යන්තර ප්‍රමිති
මෙම නව ගිවිසුම යටතේ මෙරට කාන්තා ව්‍යවසායකයන්ට සහ ස්වභාවික අමුද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දී ඇත.
මූල්‍ය සහ ඩිජිටල් අවශ්‍යතා:
ලංකාවේ ව්‍යාපාරවලින් බහුතරයක් සුළු හා මධ්‍ය පරිමාණ කාණ්ඩයට අයත් වුවද, සමස්ත අපනයන ආදායමට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය ඉතා අඩුය. මෙම නව තාක්ෂණික සහායට සමගාමීව ඔවුන්ට පහසුවෙන් ණය ලබාගැනීමේ ක්‍රමවේද සහ ඩිජිටල් තාක්ෂණික මෙවලම් ලබා නොදුනහොත් මෙම අවස්ථාවෙන් ඵල ලැබිය නොහැකි වනු ඇත.
යුරෝපයේ දැඩි කොන්දේසි:
යුරෝපා වෙළෙඳපොළට භාණ්ඩ ඇතුළු කිරීමේදී ඔවුන් පරිසර සංරක්ෂණය, ශ්‍රම අයිතිවාසිකම් සහ තිරසාර නිෂ්පාදන ක්‍රමවේද (Sustainability standards) පිළිබඳව ඉතා දැඩි නීති සහ ප්‍රමිතීන් අනුගමනය කරයි. එම ජාත්‍යන්තර අපේක්ෂාවන් සපුරාලීම සඳහා රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ද අඛණ්ඩව ආයෝජනය කළ යුතුය.
දේශපාලනික වශයෙන් ලංකාව ඉන්දියාව, චීනය සහ යුරෝපය වැනි විවිධ බල කේන්ද්‍රයන් සමඟ ආර්ථික සබඳතා පවත්වන පසුබිමක, විදේශීය ආයෝජන සහ දිගුකාලීන වාණිජ හවුල්කාරිත්වයන් රැක ගැනීමට නම් ස්ථාවර ප්‍රතිපත්ති රාමුවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. ජර්මනිය සමඟ ඇති කරගත් මෙම සබඳතාවය සාර්ථක වනුයේ ව්‍යාපාර කිරීමේ පිරිවැය අඩු කර, ආයෝජක විශ්වාසය දේශීයව ගොඩනැඟීමට රජය කටයුතු කළහොත් පමණි.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය
Germany-Sri Lanka Export Pact: Promise, Politics, and Economic Reality




