අගය එකතු කරන දේශීය ව්‍යාපාරිකයන්ටත් ජාත්‍යන්තරය සමඟ තරඟ කරන්න අවස්ථාව
කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් ජූලි 21 වනදා මිල ගණන් විවෘත කිරීමට සූදානම්
පුල්මුඩේ වෙරළ තීරයෙන් කැණීම් කර පිරිසකර කරන ලද, ඉහළ වටිනාකමකින් යුතු බර ඛනිජ වැලි තොග විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් කැඳවා තිබේ.
ලංකා මිනරල් සැන්ඩ්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටින මහා පරිමාණ ප්‍රසම්පාදන කමිටුව විසින් මෙම ගෝලීය ලංසු කැඳවීම සිදුකර ඇත.
මෙහිදී ගැනුම්කරුවන්ට තමන්ට අවශ්‍ය ප්‍රමාණයන් අනුව (Customised order quantity) අන්තර්ජාලය ඔස්සේ මිල ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇති අතර, ඇණවුම් බාරදීම ක්ෂණික පදනමින් (Spot basis) සිදුකිරීමට නියමිතය.
විකිණීමට ඇති ඛනිජ වර්ග
ප්‍රධාන නිෂ්පාදන:
උසස් තත්ත්වයට පත්කළ ඉල්මනයිට් (Upgraded ilmenite), ඒ සහ බී ශ්‍රේණිවල ඉල්මනයිට්.
අතුරු නිෂ්පාදන:
සර්කෝන් (Zircon), රූටයිල් (Rutile), හයිටී ඉල්මනයිට් (hiTi ilmenite) සහ පිරිසකර නොකළ රූටයිල් (Crude rutile).
දේශීය ව්‍යවසායකයන්ටත් අවස්ථාවක්
මෙම ඛනිජ වැලි මිලදී ගෙන ඒවායින් අගය එකතු කළ නිෂ්පාදන (Value-added products) සිදුකිරීමට කැමැත්තක් දක්වන, සුදුසුකම්ලත් දේශීය ව්‍යාපාරිකයන්ට ද ජාත්‍යන්තර මිල ගණන් සමඟ තරඟ කරමින් ලංසු ඉදිරිපත් කිරීමට මෙවර අවසර දී ඇත.
ලැබෙන සියලුම ලංසු ජූලි 21 වැනිදා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී නිල ප්‍රසම්පාදන කමිටුව ඉදිරියේ විවෘත කිරීමට නියමිතය.
මෙම ඛනිජ වැලි විශේෂ සහ ඒවායේ ඇති වැදගත්කම කෙටියෙන් මෙසේය.
ඉල්මනයිට් (Ilmenite) සහ රූටයිල් (Rutile):
ගුවන් යානා නිෂ්පාදනයට, වෛද්‍ය උපකරණවලට සහ වර්ණක (Pigments) නිපදවීමට ගන්නා තයිටේනියම් (Titanium) ලෝහය වෙන් කරගන්නේ මේවායිනි.
සර්කෝන් (Zircon):
සෙරමික් කර්මාන්තයට, න්‍යෂ්ටික රියැක්ටර්වලට සහ අධික තාපයට ඔරොත්තු දෙන උපකරණ නිපදවීමට බහුලව භාවිත වේ.
ලෝකයේ පවතින ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් භාර ඛනිජ වැලි තැන්පතුවක් ලෙස පුල්මුඩේ වෙරළ තීරය ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇත.




