ප්‍රවීණ පුහුණුකරු ජිම් ඩිමික් අනුස්මරණය කරමින් රාජකීය, කිංග්ස්වුඩ් සහ රිච්මන්ඩ් විද්‍යාල අතර තුන්කොන් සටනක්
තියුණු අවසන් මහා තරඟයකදී රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 11-6කින් පරදා කිංග්ස්වුඩ් විද්‍යාලය ඓතිහාසික ශූරතාව දිනා ගනියි
එක්සත් ජනපදයේ (USA) 250 වැනි නිදහස් සංවත්සරය සහ ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවට (Baseball) වසර 40ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද "Freedom 250" බේස්බෝල් තරඟාවලිය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී නිල වශයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා බේස්බෝල්/සැහැල්ලු පන්දු සංගමය එක්ව සංවිධානය කළ මෙම විශේෂ තරඟාවලිය, මෙරට බේස්බෝල් ක්‍රීඩාවේ සමාරම්භකයා වූ ප්‍රවීණ ඇමරිකානු පුහුණුකරු ජිම් ඩිමික් මහතා අනුස්මරණය කරමින් පවත්වනු ලැබීය.
තරඟ ප්‍රතිඵල සහ ශූරතාව දිනාගැනීම
ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ වර්ධනය සමඟ සමීපව බැඳී පවතින ප්‍රමුඛතම පාසල් තුනක් වන කොළඹ රාජකීය, මහනුවර කිංග්ස්වුඩ් සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල මෙහිදී තුන්කොන් තරඟාවලියක් සඳහා එක් විය.
ලකුණු තත්ත්වයන්:
තරඟාවලියේ පළමු තරඟයෙන් රාජකීය විද්‍යාලයට එරෙහිව ලකුණු 26-10ක ජයක් ලැබීමට කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් වූ අතර, ඉන් අනතුරුව පැවැති තරඟයෙන් රිච්මන්ඩ් විද්‍යාලය හමුවේ ලකුණු 15-7කින් ඔවුන් පරාජයට පත් විය. රිච්මන්ඩ් සහ රාජකීය විද්‍යාල අතර තරඟය ලකුණු 7-7ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
අවසන් මහා තරඟය:
මූලික වටයේ දක්ෂතා මත රිච්මන්ඩ් සහ කිංග්ස්වුඩ් විද්‍යාල අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ අතර, එහිදී රිච්මන්ඩ් ක්‍රීඩකයන් ලකුණු 11-06ක් ලෙස පරාජය කරමින් "Freedom 250" බේස්බෝල් ශූරතාව තමන් සතු කර ගැනීමට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් විය.
ක්‍රීඩා රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ජිම් ඩිමික් උරුමය
මෙම තරඟාවලිය නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා වැඩ බලන එක්සත් ජනපද තානාපතිනි ජේන් හොවෙල් (Jane Howell) එක් වූ අතර, මැරීන් ආරක්ෂක බලකායේ ගනරි සාර්ජන්ට් කයිල් ඇපරිසියෝ විසින් සමාරම්භක පළමු පන්දුව යොමු කරන ලදී.
දශක 4ක සබඳතාව:
එක්සත් ජනපද මැරීන් බලකායේ ප්‍රවීණයෙකු සහ ජාතික බේස්බෝල් හෝල් ඔෆ් ෆේම් (Hall of Fame) පුහුණුකරුවෙකු වන ජේම්ස් "ජිම්" ඩිමික් විසින් 1985 වසරේදී ශ්‍රී ලංකාවට ප්‍රථම වරට බේස්බෝල් ක්‍රීඩාව හඳුන්වා දෙන ලදී. එදා ආරම්භ කළ පළමු බේස්බෝල් කඳවුරේ මුල්ම පාසලක් වූයේ ද රාජකීය විද්‍යාලයයි.
කල්පවතින මිත්‍රත්වය:
වසර 150කට අධික ඇමරිකානු ඉතිහාසයක් ඇති බේස්බෝල් ක්‍රීඩාව හරහා ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සංස්කෘතික පාලමක් ගොඩනැගී ඇති බව තානාපති කාර්යාලය පෙන්වා දෙයි. පසුගිය වසර 40 පුරාම පුහුණුකරුවන්ගේ හුවමාරු වැඩසටහන්, ක්‍රීඩා උපකරණ පරිත්‍යාග සහ තරුණ සංවර්ධන ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාව නැංවීමට එක්සත් ජනපදය අඛණ්ඩව සහාය ලබා දී තිබේ.
| ක්‍රීඩාව තුළින් ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින කල් පවත්නා මිත්‍රත්වය සමරමින්, පුහුණුකරු ජිම් ඩිමික් අනුස්මරණ බේස්බෝල් ක්ලැසික් තරගාවලියේ ආරම්භක තරඟයට පෙර වැඩ බලන තානාපති ජේන් හොවෙල් මහත්මිය ශිෂ්‍ය ක්‍රීඩකයන්ට සුභ පතයි.
| පුහුණුකරු ජිම් ඩිමික් අනුස්මරණ බේස්බෝල් ක්ලැසික් තරඟාවලියේ ආරම්භක තරඟයට පෙර, සහභාගී වන කණ්ඩායම්වල නායකයින් සමඟ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති ජේන් හොවෙල් මහත්මිය.
| ඇමරිකාවේ ජාතික විනෝදාංශය සහ ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ වසර 40ක ඉතිහාසය සමරමින්, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ Freedom 250 බේස්බෝල් තරඟාවලියේ කොටසක් ලෙස පැවැත්වෙන පුහුණුකරු ජිම් ඩිමික් අනුස්මරණ බේස්බෝල් ක්ලැසික් තරඟාවලිය ආරම්භ කරමින්, මැරීන් ආරක්ෂක බළකායේ ගනරි සාර්ජන්ට් කයිල් ඇපරිසියෝ විසින් සමාරම්භක පළමු පන්දුව යොමු කළේය.
| ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩකයින්, පුහුණුකරු ජිම් ඩිමික් අනුස්මරණ බේස්බෝල් ක්ලැසික් තරඟාවලියේ තරඟ වදිති. දශක හතරකට පෙර ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ ආරම්භයට දායක වූ එක්සත් ජනපද මැරීන් බළකායේ සාමාජික ඇමරිකානු පුහුණුකරු සිහිපත් කරමින් මෙම තරඟාවලිය පැවැත්විණි.
| 1985 දී රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේදී කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් සඳහා පුහුණු සැසියක් මෙහෙයවන පුහුණුකරු ජිම් ඩිමික්.
| පුහුණුකරු ජිම් ඩිමික්




