බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති ‘අක්වාන්’ (Akvan) ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් නැගෙනහිර වෙරළ තීරය දැඩි ලෙස රළු වී තිබේ. ඊයේ (18) අලුයම අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශ රැසකට හදිසියේ මුහුදු ජලය ගලා ඒමත් සමඟ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය.
ගම්මාන සහ නිවාස ජලයෙන් යටවෙයි
පෙරියනීලාවනේ සිට අක්කරෙයිපත්තුව දක්වා වූ වෙරළබඩ මාර්ගය ඔස්සේ මුහුදු රළ ගොඩබිමට පැමිණ තිබේ.
පාන්ඩිරුප්පු, කල්මුනේ ඉස්ලාමාබාද්, සයින්දමරුදු, මාළිගායිකාඩු, කරෙයිතිව්, නින්දවූර්, පාලමුනේ, ඔලුවිල්, අට්ටපල්ලම් සහ අඩ්ඩාලච්චේන යන ප්‍රදේශවල පහත් බිම් සහ නිවාස රැසක් මේ හේතුවෙන් ජලයෙන් යටවී ඇත.
කල්මුනේ මහ නගර සභා බලප්‍රදේශයේ පිහිටි ඉස්ලාමාබාද් සහ පාන්ඩිරුප්පු ගම්මානවල වෙරළ ආසන්න නිවාස සහ ගෙවතු ජලයෙන් පිරී යාම නිසා ප්‍රදේශවාසීහු දැඩි භීතියට පත්ව සිටිති.
වැසි ජලය බැස යාමට කැපූ කානු හරහා මුහුදු ජලය ගමට
පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාව නිසා ගොඩබිම එක්රැස් වූ වැසි ජලය මුහුදට බැස යාම සඳහා නගර සභාව මගින් බැකෝ යන්ත්‍ර යොදා තාවකාලික ඇළ මාර්ග කපා තිබුණි.
රළු වූ මුහුදු රළ එම කානු ඔස්සේ ඉතා වේගයෙන් ජනාවාස තුළට ගලා ඒම නිසා ගංවතුර තත්ත්වය තවත් උග්‍ර වී ඇති බව ප්‍රාදේශීය වාර්තා පෙන්වා දෙයි. එම ජලය බැස යාමට සැලැස්වීම සඳහා මේ වන විට හදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.
කුණාටුව හෙට ඉන්දියාවට - ධීවරයින්ට රතු නිවේදන
‘අක්වාන්’ සුළි කුණාටුව හෙට (20) ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරයේ නෙල්ලූර් සහ විශාකාපට්නම් අතරින් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි කාලගුණ අංශ පුරෝකථනය කරයි.
මේ හේතුවෙන් කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදන නිකුත් කර තිබේ.
මුහුදේ පවතින දැඩි රළු ස්වභාවය නිසා අම්පාර දිස්ත්‍රික්කයේ ධීවරයෝ මුහුදු යාමෙන් වැළකී සිටින අතර, වෙරළේ තිබූ ඔරු සහ බෝට්ටු ආරක්ෂිතව ගොඩබිම දෙසට ඇද දැමීමට ඔවුන් පියවර ගෙන තිබුණි.
වෙරළ ඛාදනයට ස්ථිර විසඳුමක් ඉල්ලයි
පෙරියනීලාවනේ සිට අක්කරෙයිපත්තුව දක්වා වූ වෙරළ තීරය පසුගිය කාලය පුරාම දැඩි වෙරළ ඛාදනයකට ලක්ව තිබේ.
මෙවැනි හදිසි ආපදා තත්ත්වයන්ගෙන් තම ජීවිත සහ දේපළ ආරක්ෂා කර දීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව වහාම ස්ථිර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

(පුවත් වාර්තාකරණය: ෆාරුක් සිහාන් - අම්පාර)
උපුටා ගැනීම: puthiyakural.lk
සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන:



