රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ පිහිටුවූ 'පොදු ආයෝජන කමිටුව' සියලුම නව ව්‍යාපෘතිවල ප්‍රධාන ගේට්ටු පාලකයා බවට පත්වෙයි
දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.6%ක ප්‍රාථමික අතිරික්තයක් සහ අයවැය හිඟය 4.5% දක්වා අඩු කිරීම රජයේ ඉලක්කයයි
ශ්‍රී ලංකාවේ 2027 ජාතික අයවැය ක්‍රියාවලිය සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේදී සහ නව සංවර්ධන ව්‍යාපෘති අනුමත කිරීමේදී දැඩි ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.
සාම්ප්‍රදායිකව අමාත්‍යාංශ මඟින් ඉදිරිපත් කරනු ලබන පොදු වියදම් ඉල්ලීම් වෙනුවට, මධ්‍යගත ආයෝජන ඇගයීම් ක්‍රමවේදයක් (Centralised Investment Screening Model) මේ සඳහා ආදේශ කර ඇති බව 2027 අයවැය කැඳවුම් (Budget Call) නිවේදනය පෙන්වා දෙයි.
නව රාමුව සහ පොදු ආයෝජන කමිටුවේ භූමිකාව
නව ප්‍රතිසංස්කරණවලට අනුව, අමාත්‍යාංශවලට තවදුරටත් තමන්ගේ එදිනෙදා සාමාන්‍ය වියදම් යෝජනා සමඟ අලුත් සංවර්ධන ව්‍යාපෘති එකට එකතු කර ඉදිරිපත් කිරීමට අවසර ලැබෙන්නේ නැත. සාමාන්‍ය ප්‍රතිපාදන වෙන් කෙරෙන්නේ දැනට පවත්වාගෙන යන අත්‍යවශ්‍ය සහ අනිවාර්ය පුනරාවර්තන වියදම් සඳහා පමණි.
ප්‍රධාන ගේට්ටු පාලකයා:
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (Public Financial Management Act) යටතේ ක්‍රියාත්මක වන 'පොදු ආයෝජන කමිටුව' (Public Investment Committee) මින් ඉදිරියට සියලුම නව ව්‍යාපෘති අනුමත කිරීමේ ප්‍රධාන බලධාරියා වේ.
ඇගයීමේ නිර්ණායක:
අමාත්‍යාංශ ඉදිරිපත් කරන සෑම ව්‍යාපෘතියක්ම එහි උපායමාර්ගික වැදගත්කම, ක්‍රියාත්මක කිරීමේ සූදානම, මූල්‍ය ශක්‍යතාව, බලාපොරොත්තු වන ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභ සහ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවලට ඇති එකඟතාවය මත පදනම්ව මෙම කමිටුව විසින් දැඩි පරීක්ෂාවකට ලක් කරනු ඇත.
මූල්‍ය ඉලක්ක සහ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීම
රජය මෙම දැඩි මූල්‍ය පාලන උපක්‍රම වෙත යොමුවී ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 2.6ක ප්‍රාථමික අතිරික්තයක් ලබාගැනීම සහ සමස්ත අයවැය හිඟය සියයට 4.5 දක්වා අඩු කරගැනීමේ ඉලක්ක සපුරා ගැනීම සඳහාය.
ප්‍රමුඛතා ක්ෂේත්‍ර:
භාණ්ඩාගාරය විසින් ආර්ථික වර්ධනය, අපනයන සංවර්ධනය, ඩිජිටල් පරිවර්තනය, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ රාජ්‍ය සේවා සැපයුම ඉහළ නැංවීම මූලික ප්‍රමුඛතා ක්ෂේත්‍ර ලෙස හඳුනාගෙන තිබේ. නව ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර දැනට අතරමඟ නතර වී ඇති ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට උපදෙස් දී ඇත.
ස්ථාවර වියදම් සුරක්ෂිත කිරීම:
වැටුප්, විශ්‍රාම වැටුප්, බදු, කුලී සහ උපයෝගිතා ගාස්තු වැනි ස්ථාවර වගකීම් වෙනුවෙන් වෙන් කර ඇති මුදල් සීමාවන් තුළම කළමනාකරණය කරගැනීමේ සෘජු වගකීම අමාත්‍යාංශවල ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් (Chief Accounting Officers) වෙත පවරා තිබේ.
මෙමඟින් අයවැය සම්මත වීමෙන් පසුව අතිරේක ප්‍රතිපාදන (Supplementary Allocations) ඉල්ලා සිටීමේ පැරණි ක්‍රමය නතර කිරීමට බලාපොරොත්තු වේ. මෙම නව ක්‍රමවේදය හේතුවෙන් ඉදිරි අයවැය වටයේදී ප්‍රතිපාදන වෙන්කරවා ගැනීම සඳහා අමාත්‍යාංශ අතර පවතින තරඟකාරීත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
Sri Lanka Tightens Budget Gatekeeping Ahead Of 2027




