සතියකට නව රෝගීන් 5,200 බැගින් 'අධි වසංගත' තත්ත්වයක් පවතින බව මහාචාර්ය නීලිකා මලවිගේ තහවුරු කරයි
2017 වසංගතය මාස 4කින් ජයගත් ඩොලර් මිලියන 12ක යහපාලන 'සැටලයිට් රෝහල්' සහ ත්‍රිවිධ හමුදා මොඩලය
රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය මේ වන විට බරපතළ වසංගත තත්ත්වයක් (High-risk epidemic) දක්වා වර්ධනය වී ඇතත්, වත්මන් දිසානායක පරිපාලනය සෞඛ්‍ය අර්බුදය කළමනාකරණය වෙනුවට විපක්ෂය මර්දනය කිරීමේ දේශපාලන න්‍යාය පත්‍රයක නිරත වන බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද (02) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පෙන්වා දුන්නේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව ඩෙංගු රෝගීන් 58,000ක් සහ මරණ 32ක් වාර්තා වී තිබුණ ද, සැබෑ බිම් මට්ටමේ තත්ත්වය මීට වඩා බෙහෙවින්ම දරුණු බවයි.
රෝහල් පද්ධතිය බිඳවැටීමේ අවදානම
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක ගේ ප්‍රකාශ උපුටා දක්වමින් හිටපු අමාත්‍යවරයා අනතුරු ඇඟවූයේ රෝහල් පද්ධතිය මේ වන විටත් උපරිම ධාරිතාවයට (Saturated) පැමිණ ඇති බවයි.
එළියේ මැරෙන තත්ත්වයක්:
රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් ප්‍රතිකාර දීමට ඉඩක් නොමැති වීමෙන් මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇත.
සැබෑ දත්ත සැඟවීම:
ජාතික මට්ටමේ ක්‍රමවේදයක් නොමැති වීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නිවැරදි දත්ත නොමැති බවත්, සතිපතා වාර්තා වන රෝගීන් 5,200ක ප්‍රමාණය පවතින්නේ අධි වසංගත (Hyper-endemic) මට්ටමක බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ තහවුරු කර තිබේ.
2017 වසංගතය පාලනය කළ 'රාජිත මොඩලය'
යහපාලන රජය සමයේ මැලේරියාව, බරවා, සරම්ප ඇතුළු වසංගත රෝග හයක් ලංකාවෙන් තුරන් කළ ආකාරය සිහිපත් කළ සේනාරත්න , 2017 ඩෙංගු වසංගතය මැඬලීමට ගත් දැවැන්ත මෙහෙයුම ආණ්ඩුවේ අවධානය පිණිස දිගහැරියේය.
මූල්‍ය ආයෝජනය:
එදා ඩොලරය රුපියල් 152.50ක්ව පැවති වටපිටාවක රුපියල් මිලියන 1,936ක් (ඩොලර් මිලියන 12.7) සෘජුවම ඩෙංගු මර්දනයට වෙන් කෙරිණි.
සැටලයිට් රෝහල් ක්‍රමය:
ප්‍රධාන රෝහල් වටා ඇති කුඩා රෝහල් 'සැටලයිට් රෝහල්' බවට පත් කර, සාමාන්‍ය වාට්ටු සියල්ල ඩෙංගු වාට්ටු බවට හරවා, සියලු මහා රෝහල්වල High Dependency Units (HDU) ස්ථාපිත කරන ලදී.
මිල පාලනය සහ පෞද්ගලික අංශය:
විශේෂ ගැසට් නිවේදනයක් මඟින් රුපියල් 2,200ක ඩෙංගු රැපිඩ් ටෙස්ට් එක රුපියල් 750ටත්, Full Blood Count පරීක්ෂාව රුපියල් 150 දක්වාත් අඩු කර එම පහසුකම් පෞද්ගලික රෝහල්වලට ද ලබා දී රජයේ රෝහල්වල තදබදය අවම කළේය.
රාජ්‍ය බලමුලු ගැන්වීම:
තායිලන්තයෙන් සහ ඉන්දියාවෙන් WHO විශේෂඥයන් ගෙන්වා, අට පාස් තරුණයන් 1,500ක් විශේෂ කැබිනට් පත්‍රිකාවකින් ඩෙංගු සහායකයන් ලෙස බඳවාගෙන, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදවා රට පුරා ස්ථාන ලක්ෂ 30ක් පරීක්ෂා කිරීමට PHI නිලධාරීන්ට විශේෂ බලතල පැවරීය.
දේශපාලන දඩයම සහ සන්නිවේදන අසමත්කම
එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මාසිකව මූලාසනය දැරූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය හරහා මුළු රාජ්‍ය පද්ධතියම එකම අරමුණකට මෙහෙයවා මාස 4කින් වසංගතය නිම කළ ද, වත්මන් ආණ්ඩුව ළඟ එවැනි කිසිදු කළමනාකරණයක් නැති බව විපක්ෂය චෝදනා කරයි.
වත්මන් ආණ්ඩුවේ එකම ප්‍රමුඛතාවය ඩෙංගු මර්දනය හෝ ආර්ථික අර්බුදයෙන් මිනිසුන් බේරාගැනීම නොව, විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් හිරේ දැමීම සහ මර්දනය කිරීම පමණක් බව සේනාරත්න අවධාරණය කළේය.
මිනිසුන් සාගතයට සහ වසංගතයට ගොදුරු වෙද්දී ප්‍රශ්න කිරීමට විපක්ෂයක් ඉතිරි නොකිරීමේ උපායමාර්ගයක ආණ්ඩුව නිරතව සිටින බැවින්, වහාම අවදි වී ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා පූර්ණ කාලීනව සෞඛ්‍ය මෙහෙයුම්වලට මැදිහත් විය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.




