The Leader News
BREAKING
Top Ad
පුවත්

දකුණින් එන බෞද්ධයන්ට පොසොන් පෝදා උතුරෙන් අවවාදයක්

T

The Leader Desk

June 12, 2025 • 10:36 AM

දකුණින් එන බෞද්ධයන්ට පොසොන් පෝදා උතුරෙන් අවවාදයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජල කාලතුවක්කුවලින් සන්නද්ධ කැරළි මර්දන පොලිස් භටයන් විශාල සංඛ්‍යාවක් තිස්ස විහාර මාර්ගයේ යොදවා තිබෙනු දැකගන්නට හැකිවිය.
  • සිය ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම ඉන් එකක් ලෙස ඔවුන් එහි පෙන්වා දී තිබේ.
  • "මිලිටරීකරණය හරහා යාපනය තෛයිට්ටි හි අපගේ පෞද්ගලික ඉඩම් තුළ ‘තිස්ස විහාරය’ නමින් බෞද්ධ පන්සලක් ඉදි කර පරම්පරා ගණනක් ජීවත් වූ අපගේ ඉඩම් අපට අහිමි කර අපව මානසික හා ශාරීරික පීඩාවට ඇද දමා ඇත.
  • එම සිදුවීමට වගකිව යුත්තන් එහි කරුණු විකෘති කර ඔබව අපට එරෙහි වීමට පොළඹවා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

"බුද්ධාගමේ නාමයෙන් ඔබව මෙහි ගෙනැවිත් ඇත්තේ බුද්ධාගම ආරක්‍ෂා කිරීමට නොවන අතර, එය ජාතීන් අතර වාර්ගික ගැටුමක් ඇති කිරීමේ උත්සාහයකි."

 

දෙමළ ජනතාව බුද්ධාගමට හෝ සිංහල ජනතාවට විරුද්ධ නොවන අතර බෞද්ධ ධර්මය පදනම් කරගෙන සිය අව්‍යාජ සහ නීත්‍යානුකූල ඉල්ලීමට සවන් දෙන ලෙස තෛයිට්ටි විහාරය සඳහා බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම්වල හිමිකරුවන් ඉල්ලා ඇත්තේ පොසොන් පොහොය දිනයේ එහි පැමිණෙන සිංහල, බෞද්ධ ජනතාව වෙත සිංහල බසින් ම ලියා බෙදා දෙන ලද අත්පත්‍රිකාවක් මගිනි.

 

tissa29834729

ජල කාලතුවක්කුවලින් සන්නද්ධ කැරළි මර්දන පොලිස් භටයන් විශාල සංඛ්‍යාවක් තිස්ස විහාර මාර්ගයේ යොදවා තිබෙනු දැකගන්නට හැකිවිය.

සිය ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් 2023 වසරේ සිට සෑම මසකම පුර පොහොය දිනයේ විහාරස්ථානය සමීපයේ විරෝධතාවයේ නිරත දෙමළ ජනයා ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට බුදු දහම දායාද වු  බවට විශ්වාස කෙරෙන පොහොන් පොහොය දිනයේ, යාපනය කන්කසන්තුරේ, තයියට්ටි ග්‍රාමයේ ඉදිකර ඇති තිස්ස විහාරය සමීපයේ සාමකාමීව සිය විරෝධතාවය ප්‍රකාශ කර තිබුනේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF)  නියෝජිතයන්ගේද සහභාගීත්වයෙනි.

දකුණින් පැමිණෙන සිංහල, බෞද්ධ ජනතාව වෙත බෙදාහැරීම සදහා සිංහල බසින් ම ලියු අත්පත්‍රිකාව මගින් ඔවුන් අවධාරණය කර ඇත්තේ 2009 වර්ෂයේ පැවති අවසාන යුද්ධයේදී සිය ජන සමාජයට සිදුවූ විනාශය සහ පීඩාව අතිමහත් වන අතර ඉන්පසුව වුව ද ශ්‍රී ලංකා රාජ්‍ය විසින් සිදු කරන දෙමළ ජනයාට එරෙහි පීඩාව මේවන තෙක් නතර වී නොමැති බවයි. සිය ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම ඉන් එකක් ලෙස ඔවුන් එහි පෙන්වා දී තිබේ.

"මිලිටරීකරණය හරහා යාපනය තෛයිට්ටි හි අපගේ පෞද්ගලික ඉඩම් තුළ ‘තිස්ස විහාරය’ නමින් බෞද්ධ පන්සලක් ඉදි කර පරම්පරා ගණනක් ජීවත් වූ අපගේ ඉඩම් අපට අහිමි කර අපව මානසික හා ශාරීරික පීඩාවට ඇද දමා ඇත. එම සිදුවීමට වගකිව යුත්තන් එහි කරුණු විකෘති කර ඔබව අපට එරෙහි වීමට පොළඹවා ඇත.

 tissa293029

මෙවැනි ප්‍රශ්නවලට මෙතෙක් කිසිදු දේශපාලන නායකත්වයක් හෝ බෞද්ධ ආගමික ප්‍රධානියකු තමන්ට පිළිගත හැකි පිළිතුරක් ලබා දී නොමැති බව අවධාරණය කරන විහාරය ඉදිකිරීම නිසා ඉඩම් අහිමි වු දෙමළ ජනතාව සදහන් කරන්නේ, එසේ පිළිතුරු දීමට නොහැකි වී ඇත්තේ මෙම විහාරය මානව ධර්මයට, යුක්ති ධර්මයට සහ බුද්ධ ධර්මයට පවා එරෙහිව ඉදිකර ඇති නිසා බවයි.

 

tissa2934

 

විහාරස්ථානය ඉදිකිරීම වෙනුවෙන් තෙලිප්පලෙයි ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමැතියද හිමිව නොමැති බවටද ඉඩම් නිදහස් කරගැනීමේ අරගලයේ යෙදී සිටින දෙමළ ජනයා කරුණු දක්වති.

ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිල වශයෙන් පවරා දී ඇති ඉඩම් සීමාව ඉක්මවා යමින් වර්තමාන තිස්ස විහාරය වෙනුවෙන් ප්‍රදේශවාසීන්ගේ භුමිය අත්පත් කරගෙන ඇති බව උතුරේ පුරාණතම බෞද්ධ සිද්ධස්ථානය සේ ගැනෙන නාගදීපයේ විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියෝ ද පිළිගනිති.

"මම බය නැතුව කියනවා තිස්ස විහාරය කියන්නේ දෙමළ ජාතිකයන්ට අයිති ඉඩමක් කියලා. සිංහල මිනිස්සු බලහත්කාරයෙන් දෙමළ ජාතිකයන්ගේ ඉඩම් අල්ලගෙන," යි උන්වහන්සේ පවසා තිබුණි.

“තෛයිට්ටි හි තිස්ස විහාරය සඳහා ඉඩමක් තිබියදී, එම ඉඩමේ විහාරය ඉදි නොකර, ඒ වෙනුවට පෞද්ගලික ඉඩම්වල විහාරය ඉදිකර ඇත්තේ ඇයි?” ද යන්න දකුණෙන් ආ බෞද්ධයන්ට අතට පොසොන් පුර පසළොස්වක දා පත්කරන ලද පත්‍රිකාවේ නගා තිබු පළමු ප්‍රශ්නයයි.

කෙසේවෙතත්, පොසොන් පෝදිනට පසුදා ආණ්ඩුව නිල තීන්දු දැනුම් දෙන අවස්ථාවේදී තෛයට්ටි විරෝධය ලාබදායී දේශපාලනය වෙනුවෙන් කුඩා දේශපාලන කණ්ඩායමක් විසින් කරනු ලබන ආගම්වාදය හෝ ජාතිවාදය ඇවිස්සීමක් ලෙසින් හෙලා දැක තිබුණි.

“තිස්ස විහාරයේ වැඩවාසය කරන හාමුදුරුවන් වහන්සේලාට හෝ ගමේ අයට මේක ප්‍රශ්නයක් නෑ,” යි රජයේ මාධ්‍ය ප්‍රකාශක දොස්තර නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මාධ්‍යවේදියකුට පිළිතුරු දෙමින් පවසා සිටියේය.

 

මතබේදයට තුඩුදී ඇති තිස්ස විහාරය සම්බන්ධ විමර්ශන වාර්තාවක් මේ වනවිටත් අධිකරණ අමාත්‍යංශයට භාර දී ඇති බව කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ආචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු සභාපතිත්වය දරන ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය දැනුම් දී තිබේ.

 

ඒ සම්බන්ධ කිසිදු දැනුවත් භාවයක් කැබිනට් ප්‍රකාශකයා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශයට පත් කළේ නැත.

2025 අප්‍රේල් 26 වැනි දා කිලිනොච්චියේ ජන රැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබුනේ යුද හමුදාව වාඩිලා සිටින දෙමළ ජනතාවගේ ඉඩම් අතුරින් ‘නිදහස් කළ හැකි’ සෑම බිම් අගලක්ම ආපසු ලබා දීමට කටයුතු කරන බවයි.

උතුරු, නැගෙනිහර දෙපළාතේ දෙමළ ජනයා අයිතිය කියා පාන ඉඩම් අත්පත්කරගනිමින් ඉදිකරතිබෙන  විහාරස්ථානයන්හි ඉඩම් සම්බන්ධයෙන් ගන්නා ස්ථාවරය මේ වත තෙක් ජනාධිපතිවරයා විසින් හෙළි කර ඇති බවක් දැන ගන්නට නැත.

ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය 2025 ජුනි මස මුල් සතියේ නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන්ව තිබුනේ සිය ආයතනය තිස්ස විහාරයේ ඉඩම් ගැටළුවට අදාළ සියලුම පාර්ශවයන් යාපනය නාගවිහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත කැඳවා අප්‍රේල් මස මුල් සතිය තුල සමථකරණ වැඩසටහනක් පවත්වන ලද බවයි.

එහිදී  මතුවූ සියලු කාරණා මත මෙම ක්‍රියාවලිය විධිමත් කිරිම සම්බන්ධයෙන් ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය, පහසුකරණය සිදුකර මේ පිලිබඳව  සකස්කරන ලද විශ්ලේෂණාත්මක හා සිය ආයතනය මගින් කරන නිර්දේශ ඇතුලත් වාර්තාවක් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා වෙත මේ වනවිට ලබාදී ඇති බව එහි සදහන්ව තිබුනි.

"කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය" 2023 අප්‍රේල් 27 වැනි දින සිදු කළ බව අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය නිල පුවත් වෙබ් අඩවියේ සදහන් කර ඇත.

 “ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකයට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙතැ,” යි යුද හමුදාව පවසයි.

 

සිය ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් 2023 වසරේ සිට සෑම මසකම පුර පොහොය දිනයේ විහාරස්ථානය සමීපයේ විරෝධතාවයේ නිරත දෙමළ ජනයා චෝදනා කරන්නේ දෙමළ පවුල් 14 ට අයත් පරප්පු 100 කට (අක්කර 6.2) ආසන්න භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව තිස්ස විහාරස්ථානය ඉදි කර ඇති බවයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...