නොවැම්බර් 29 වන දිනට යෙදෙන එක්සත් ජාතීන්ගේ පලස්තීන සහයෝගීතා දිනය නිමිත්තෙන් හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර් විසින් රචිත මෙම විශේෂාංගයෙන්, ගාසා තීරයේ පවතින මානුෂීය ඛේදවාචකය මෙන්ම, බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව ඇතුළු බටහිර රටවල දේශපාලන ස්ථාවරයන් පලස්තීනයට හිතකර ලෙස වෙනස් වෙමින් පවතින අයුරු විග්රහ කෙරේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇති “පලස්තීන සහයෝගීතා දිනය” මේ වසරේදී ලොව පුරා ජනතාව සමරනු ලබන්නේ සුවිශේෂී පසුබිමකය.
ගාසාවේ ජන සංහාරය සහ සිරියාව, ලෙබනනය ඇතුළු මැදපෙරදිග රටවල මෙන්ම ස්වාධීන පලස්තීන රාජ්‍යය සඳහා වෙන් කර ඇති නැගෙනහිර ජෙරුසලම, බටහිර ඉවුරු ප්‍රදේශය ඇතුළු සියලු භූමි ප්‍රදේශයන්හි සිදුකරමින් සිටින, ඊශ්‍රායලයේ අනීතික වූත්, අමානුෂික වූත් ව්‍යාප්තවාදී මෙහෙයුම්වල නිමක් නොපෙනෙන පසුබිමකය.
නාමික සටන් විරාමය

ට්‍රම්ප් ජනපති සටන් විරාමයක් ප්‍රකාශයට පත්කළ ද, ප්‍රායෝගික සටන් විරාමයක් නොමැති පසුබිමකය. සාම කමිටුවක් පත්කළ ද, සාමය උදෙසා එවැනි ක්රියාකිරීමක් ද නොමැති පසුබිමකය. සදාචාර විරෝධී අමානුෂික ජන සංහාරය පලස්තීන භූමිය තුළ අඛණ්ඩව සිදුකරමින් සිටීම අප දකිමින් සිටින පසුබිමකය.
පලස්තීනුවන්ගේ අධිෂ්ඨාන ශක්තිය
සැබැවින්ම පලස්තීන භූමිය “එළිමහන් සිරකඳවුරක්”මය. පලස්තීන භූමියේ මිනිසුන් දිනපතාම මුහුණ දෙන බෝම්බ ප්‍රහාර සහ වෙඩි වරුසාවන්හි නිමාවක් නැත. දිවා රාත්‍රී වෙනසක් නැතිව නිවෙස්වලට කඩා පැනීම්ය. සෝදිසිය. අත්අඩංගුවට ගැනීම්ය. අතුරුදන් කිරීම්ය.
ඊශ්‍රායල හමුදා ආශීර්වාදය ඇතිව පදිංචි නිවාස, ගොඩනැගිලි, බලයෙන් උදුරාගැනීම්ය. පොළොවට සමතලා කිරීම්ය. දරුවන්ට ඉගෙනීම් නැත. පාසල්, රෝහල් විනාශ කර දමා ඇත. ගාසාවේ තිබූ සියලු ගොඩනැගිලි වලින් 80%ක්ම විනාශ කර දමා ඇත. සුන්බුන් ඉවත් කිරීමක් නැත. මළ අපවහන ක්‍රම සියල්ල විනාශ කර ඇත. පිරිසිදු කිරීම් කිසිවක් නැත.
වර්ෂාව, ගංවතුර හේතුවෙන් නවලක්ෂ පනස්දහසකට (950,000) අධික ජනතාවක් අවතැන් වී ඇත. හාරලක්ෂ පනස්දහසක (450,000) පිරිසක් ගංවතුර අවදානමට මුහුණ දී සිටී. මේ අතරේ ගාසාවට ආහාර, ජලය, බෙහෙත් ද්‍රව්‍ය ගෙන යාමට තහංචිය. ලොව සුපිරි බලයන්ගේ ආශීර්වාදය ඇතිව මේ සියලු අමානුෂික වධ හිංසාවන් මධ්‍යයේ මාතෘ භූමියේ නිදහස් අරගලය පලස්තීනුවන් අධිෂ්ඨානශීලීව දරා සිටින අයුරු නම් සැබැවින්ම විශ්මය ජනකය.

මාධ්‍යයනට දොරටු වැසීම
ලොව සියලු බලගතු මාධ්‍යයන් යථාර්ථය වාර්තා කිරීමට ඊශ්‍රායලයට ඒමට අවසර ඉල්ලන නමුදු අවසර ලබාදීම දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටී.
2006 වසරේදී පලස්තීනයේ පැවැත්වූ නිදහස් සහ සාධාරණ මැතිවරණයේදී ජනතා ඡන්දයෙන් ජයගත් “හමාස්” පාර්ශ්වයේ ජාතික එකමුතු රජයට තහංචි දමමින් මෙන්ම පසුකාලයේදී ගාසාවේ ජනතාවට ජලය සහ විදුලිය ලබාදීම පවා නතර කරමින් සිදුකළා වූ ජන සංහාරයේදී එවකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer, ජනමතය නොතකා හරිමින් ඊශ්‍රායලයට ආයුධ සැපයීම සාධාරණීකරණය කළේ, “කෝකටත් තෛලය” මෙන් ඊශ්‍රායලයේ අනීතික සහ අමානුෂික ක්‍රියාදාමයන් වසන් කිරීමට පලිහක් මෙන් සැමවිට ඉදිරියට දමන “ඊශ්‍රායලයේ ආරක්ෂාව” පිළිබඳ කතාව ඉදිරියට දමමිනි.
ලෝක ජනමතයේ බලපෑම
එහෙත් ඒ ස්ථාවරයන් උඩුයටිකුරු කරන ප්‍රවණතාවක්, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් වැළඳ ගනිමින් සිටීම දැන් පැහැදිලිව දැකිය හැකි සුවිශේෂී තත්ත්වයයි.
මෙතෙක් ඊශ්‍රායලය සම්බන්ධයෙන් අනුගමනය කළ ප්රතිපත්තිවල වෙනසකට මේ රටවල දේශපාලන නායකයන් තල්ලු වී ඇත්තේ, කිසිදා නොවූ විරූ ලෙසින් ඒ රටවල්හි ජන මතය වෙතින් එල්ලවන ප්‍රබල බලපෑම් හේතුවෙනි.
වෙනසක ඇරඹුම

පසුගියදා බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය යුදෙව් ජාතික Ed Miliband පාර්ලිමේන්තුවේදී මෙන්ම පිටතත් කර ඇති ප්‍රකාශයන් පෙන්නුම් කරනුයේ, ප්‍රංශය, කැනඩාව, ඉතාලිය, අයර්ලන්තය, ස්පාඤ්ඤය ඇතුළු බටහිර රටවල මෙන්ම බ්‍රිතාන්‍ය ස්ථාවරයේත් සිදුවෙමින් පවතින වෙනසක ආරම්භයයි.
“මම අද ප්‍රකාශ කරනවා, පලස්තීන භූමියේ බලයෙන් අත්පත් කරගෙන සිටීම් නීතිවිරෝධී බව. 2024 වසරේදී ජාත්‍යන්තර අධිකරණය ද පලස්තීන රාජ්‍යය සඳහා වෙන්කර ඇති භූමි ප්‍රදේශ බලයෙන් අත්පත් කර ගැනීම් නීති විරෝධී බව ප්‍රකාශ කර තිබෙනවා.”(උපුටා ගැන්ම: 2026 සැප්තැම්බර් 08 වන දින බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පත)
ඊශ්‍රායලයට සම්බාධක
මෙලෙස බලයෙන් අත්පත් කර ගැනීම් නීතිවිරෝධී බව ප්‍රකාශ කිරීමෙන් නතර නොවී, ඒ තත්ත්වයේ නිමාවක් දැකීම සඳහා ඒ හා බැඳුණු කටයුතු සඳහා ඊශ්‍රායලයට සම්බාධක පැනවීම ද දැන් බ්‍රිතාන්‍යය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
2024 ජාත්‍යන්තර අධිකරණයේ තීන්දුව ලබාදීමෙන් අනතුරුව වසර දෙකකට පසුවයි, තීන්දුව පිළිබඳ ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍යයේ ස්ථාවරය බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශයට පත්කරනු ලැබුවේ.
බ්‍රිතාන්‍ය නව අගමැති ප්‍රකාශය
ඊශ්‍රායලය සම්බන්ධ තම රජයේ ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය Andy Burnham තම හඬ අවදි කර තිබුණේ මෙසේය.

“අපට ඊශ්‍රායල විරෝධී චෝදනාව එල්ල වේ යැයි බියෙන්, නිවැරදි ක්‍රියාවන් ගැනීමට අපි දීර්ඝ කාලයක් තිස්සේ පසුබා තිබෙනවා. ප්‍රමාද වී තිබෙනවා. ඒවා හොඳ තත්ත්වයන් නොවෙයි. දැන් අප ගන්නා මේ තීරණ සියල්ල හොඳින් කල්පනා කර, විනිශ්චය කරගත් තීරණ වෙනවා. මේ තීරණ කිසිවක් ඊශ්‍රායල ජනතාවට විරුද්ධ තීරණ නොවෙයි.”
“කලාපයේ සාමය සහ ස්ථාවරත්වය බිඳ දමමින් තිබෙනවා. රාජ්‍යයන් දෙකක විසඳුම අකර්මණ්‍ය කරමින් තිබෙනවා. ජනතාව ඉමහත් වධ වේදනාවන්ට බඳුන් වෙමින් සිටිනවා. 70,000කට වැඩි ජනතාවක් ඝාතනය වී තිබෙනවා. ඉන් 20,000ක් දරුවන්. මේ වේදනා සහගත තත්ත්වය තවදුරටත් වර්ධනය වන්නට ඉඩ දී බලාසිටින්නට මට පුළුවන්කමක් නැහැ. පලස්තීන ජනතාව මේ මුහුණ දී ඇති වේදනා සහගත තත්ත්වය ඉදිරියේ මුනිවත රැකීම ලෝක ජනතාවගේ හෘද සාක්ෂියට පටහැනි වන්නක්.”
(උපුටා ගැන්ම: 2026 සැප්තැම්බර් 08 වන දින බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පත)
මැන්ඩෙලා ප්‍රාර්ථනාව
ඊශ්‍රායල රාජ්‍යයක් නිර්මාණය කිරීමට මගපෑදූ බැල්ෆර් ප්‍රකාශයට මුල් වූ බ්‍රිතාන්‍යය දැන් මේ තාක් කල් ඊශ්‍රායලයේ අනීතික සහ අමානුෂික ක්රියාමාර්ගයනට මුක්තිය ලබාදීමේ සහ මුනිවත රැකීමේ ස්ථාවරය වෙනස් කරගෙන තිබීම අපට සිහිපත් කරනුයේ, දකුණු අප්‍රිකානු නිදහස් අරගලයේ අවසන් අදියර වන විට බටහිර රටවල් අතර ඒ නිදහස් අරගලය සම්බන්ධව ප්‍රතිපත්තියේ ඇතිවූ වෙනසයි. එදා ත්‍රස්තවාදියෙකු ලෙස බටහිර මාධ්‍ය විසින් හැඳින්වුණු මැන්ඩෙලා, අද මිනිස් නිදහස වෙනුවෙන් සටන් කළ වීරයෙකු ලෙසින් සැමගේ ගෞරවයට පාත්රව සිටී.
දකුණු අප්‍රිකාව නිදහස ලද මොහොතේ නෙල්සන් මැන්ඩෙලා කළ ප්‍රකාශයක් මෙහිදී මගේ සිහියට නැගේ.
“දකුණු අප්‍රිකාවේ අප ලද නිදහස සම්පූර්ණ නිදහසක් වන්නේ පලස්තීන ජනතාව තම මාතෘ භූමියේ නිදහස ලබාගන්නා දිනයේදීය.”
අමෙරිකානු දේශපාලනයේ වෙනස

මැදපෙරදිග කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ ජනජීවිතය බිඳ දමමින් සිටින ඊශ්‍රායලයේ අන්තවාදී ප්රතිපත්තීන්හි අනපේක්ෂිත පිපිරීමක් යුරෝපීය රටවල් පුරා සිදුවෙමින් පවතින පසුබිමක, දැන් ඒ ප්‍රවණතාවය අමෙරිකාවේ ද ආරම්භ වන අයුරු මැදිවාර මැතිවරණ ප්‍රතිඵල වලින් පසුව දැකිය හැකිව තිබේ.
මැදිවාර මැතිවරණයේ දැවැන්ත ජයග්‍රහණයකට ගිය ඩිමොක්රටික් පක්ෂයේ ඉදිරිපෙළ ප්රමුඛයෙකු වන සෙනෙට් සභික Chris Van Hollen මැතිවරණ ප්‍රතිඵල වලින් අනතුරුව කර ඇති ප්‍රබල ප්‍රකාශය පැහැදිලිව පෙන්නුම් කරනුයේ, අමෙරිකානු ජනමතය අමෙරිකානු දේශපාලනයට කර ඇති බලපෑමේ තරමයි.
“මෙවර තේරී පත්ව ඇති නව කොංග්‍රසය තුළ අපේ ඉහළම ප්‍රමුඛතාව වන්නේ, අමෙරිකානු බදු ගෙවන්නන්ගේ මුදලින් ඊශ්‍රායලයට ලබාදී ඇති (End the Blank Check) සංඛ්‍යාව ලියා ගැන්මට අවසර දෙන, හිස් බැංකු චෙක්පත අවලංගු කිරීමයි.”
රිපබ්ලිකන් පක්ෂයටත් බලපෑම්
මැදිවාර මැතිවරණ ප්‍රතිඵල වලින් පෙන්නුම් කළ අමෙරිකානු ජනමතයේ බලපෑම ජයග්‍රාහී ඩිමොක්රටික් පක්ෂයට පමණක් නොව, ඊශ්‍රායලයට මෙතෙක් කල් නොසෙල්වන ශක්තියක් ලබාදුන් රිපබ්ලිකන් පක්ෂයට ද ඇතිකර ඇති බලපෑම, වත්මන් උප ජනාධිපති මෙන්ම 2028 රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ධුරය අපේක්ෂා කරන J.D. Vance කර ඇති ප්‍රකාශයෙන් පැහැදිලිව පෙනේ.

“දැන් මේ මැදිවාර පරාජයෙන් පසුව මීළඟට එන මැතිවරණ ජයගන්නට නම්, ජනපති ට්‍රම්ප් සහ ඊශ්‍රායලය ඇරඹූ ඉරාන යුද්ධය නතර කළ යුතුය. එමෙන්ම ඊශ්‍රායලය සමඟ අමෙරිකාවට ඇති ගනුදෙනුව අවසන් කළ යුතුය.”
(උපුටා ගැන්ම: 2026 නොවැම්බර් 09 වන දින නිව්යෝක් ටයිම්ස් පුවත්පත)
දශක ගණනක හමුදාමය, රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සහාය ලබාදුන් අමෙරිකානු ප්‍රතිපත්තිය ඉලක්ක කර සිදුකර ඇති රිපබ්ලිකන් පක්ෂ ප්රමුඛයාගේ මේ ප්‍රකාශය, ඉදිරියේදී මැදපෙරදිග කලාපයේ සාමය, ස්ථාවර බව සහ ජනජීවිතය යථා තත්ත්වයකට ගෙන එන ගමනක් සඳහා ප්‍රවේශ වන්නට, අමෙරිකාවේ දෙපාර්ශ්වයටම ජනමතය සිදුකරමින් සිටින බලපෑමේ තරම පෙන්නුම් කරයි.




