2022 වසරේ සිට සම්පූර්ණයෙන්ම නතර වී තිබූ මෙම ව්‍යාපෘතිය යළි පණගැන්වීම සඳහා චීන අපනයන-ආනයන බැංකුව (China EXIM Bank) සහ ශ්‍රී ලංකා රජය අතර සංශෝධිත මූල්‍ය ගිවිසුම අවසන් අදියරට පැමිණ තිබේ. මේ හරහා රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රධානම මර්මස්ථානයක් වන මධ්‍යම අධිවේගී මාර්ග ජාලය සම්පූර්ණ කිරීමට මාවත විවර වේ.
චීන එක්සිම් බැංකුවේ උප සභාපති යැං ඩොන්ග්නින්ග් ප්‍රමුඛ ඉහළ පෙළේ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇතුළු රජයේ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡා පවත්වා ඇත.
ව්‍යාපෘතිය ප්‍රමාද වීම නිසා පැනනැඟී ඇති දඩ මුදල් සහ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඉහළ ගිය පිරිවැය සහනදායී කොන්දේසි යටතේ පියවීම පිළිබඳව මෙහිදී එකඟතාවන්ට පැමිණ තිබේ.
මෙම මස අවසානයේදී පැමිණීමට නියමිත ඊළඟ චීන දූත පිරිස සමඟ අවසන් ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.
ඉලක්ක සහ පිරිවැය
මුළු ආයෝජනය:
චීන එක්සිම් බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් සහ ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 438ක් ව්‍යාපෘතිය සඳහා වෙන් කෙරේ.
කොන්ත්‍රාත්කරු:
මෙහි ඉදිකිරීම් කටයුතු පෙර පරිදීම චීන ලෝහ විද්‍යා සංස්ථාව (MCC) විසින්ම සිදු කරනු ඇත.
කාලසටහන:
දැනට 51%ක වැඩ නිමවා ඇති මෙම කිලෝමීටර 37ක මාර්ග කොටසේ වැඩකටයුතු, මෙම වසර අවසන් වන විට 65%ක් දක්වාද, 2027 වන විට 95%ක් දක්වාද නිම කිරීමට සැලසුම් කර ඇත. ව්‍යාපෘතියේ සමස්ත වැඩකටයුතු 2028 සැප්තැම්බර් මාසයේදී අවසන් කිරීමට ඉලක්ක කර තිබේ.




