අල්ලස් කොමිසම තුළ නිලධාරින් 340 ක් පමණ සිටිය යුතු වුවත් මේ වන විට නිලධාරින් 100 කට අධික ප්‍රමාණයක හිඟයක් පවතින බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.
අල්ලස් වශයෙන් මුදල් සහ දේපොළ ගැනීම, විවිධ දූෂණ ක්‍රියා සහ ඉකුත් කාලයේදී සිදුව ඇතැයි කියන මහා පරිමාණ දූෂිත ගනුදෙනු පිළිබඳ 2025 ජනවාරි 01 වැනිදා සිට ජුනි 30 දක්වා පමණක් අල්ලස් කොමිසම වෙත පැමිණිලි 3022 ක් ලැබී තිබෙන බවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය.
‘‘අල්ලස් කොමිසම වෙත ලැබී තිබෙන ඇතැම් පැමිණිලිවල අදාළ විමර්ශන දීර්ඝ මෙන්ම සංකීර්ණ තත්ත්වයක් තිබෙනවා. මීට වසර 10 කට 12 කට ඉහතදී ලැබී තිබූ පැමිණිලි පිළිබඳවත් අල්ලස් කොමිසම විමර්ශන පවත්වනවා. එවැනි විමර්ශනවලට අදාළ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීම ආදී කටයුතුවලදී නිලධාරි හිඟය බලපානවා’’ යැයි අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසීය.
අල්ලස් කොමිසම වෙත පසුගිය කාලයේ ලැබී තිබූ ඇතැම් පැමිණිලි විවිධ බලපෑම් හේතුවෙන් යටගොස් තිබුණා. නමුත් එම විමර්ශන නිසි පරිදි යළි ආරම්භ කිරීමත් සමග සාක්ෂිකරුවන් රැසක් අල්ලස් කොමිසමට ප්‍රකාශ දී තිබෙනවා. අල්ලස් කොමිසම තුළ පවතින නිලධාරි හිඟයට විසඳුමක් කඩිනමින් දුනහොත් මේ වන විට ලැබී තිබෙන සහ ලැබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කර ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වේවි’’ යැයි අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
(aruna.lk | ඉෂාර රත්නකාර)




