SLS නැති සීනි සහ විස්තර නැති කුකුළු මස්; පාරිභෝගිකයන් රවටන හොර වෙළෙඳුන් ඇල්ලීමට 1977 හදිසි අංකය විවෘතයි
පාරිභෝගිකයන් නොමඟ යවන සහ රවටන අයුරින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධානයන් සහමුලින්ම උල්ලංඝනය කරමින් කටයුතු කළ කොළඹ 03, ගාමිණී ගුණරත්න මාවතේ පිහිටි සුපිරි වෙළඳ ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05) හමුවේ නඩු පවරා තිබේ.
අධිකරණය හමුවේ ගොනු කළ චෝදනා 6කට අදාළව වැරදිකරු වූ විත්තිකාර සමාගමට එක් චෝදනාවකට රුපියල් 100,000 බැගින් රුපියල් ලක්ෂ හයලාභයක (600,000) දඩයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, අත්අඩංගුවට ගත් සියලුම නඩු භාණ්ඩ වහාම විනාශ කිරීමට ද නියෝග කළේය.
සුපිරි වෙළඳසැලෙන් ඇල්ලූ හොර බඩු ලැයිස්තුව
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් මෙම සුපිරි වෙළඳසැල තුළ සිදුකළ විශේෂ හදිසි වැටලීමකදී නීති විරෝධී ලෙස අලෙවි කිරීමට තබා තිබූ භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන තිබිණි.
තොරතුරු රහිත ඇසුරුම්:
ආනයනකරුගේ හෝ වෙළෙඳපොළට නිකුත් කරන්නාගේ නම, ලිපිනය, කාණ්ඩ අංකය සහ රට සඳහන් නොකළ කුකුළු මස් නිෂ්පාදන ඇසුරුම් මෙන්ම නිෂ්පාදකයාගේ කිසිදු තොරතුරක් නොමැති පාන් වර්ග ඇසුරුම් මෙහිදී අත්අඩංගුවට පත්විය.
ප්‍රමිතියෙන් තොර ආහාර:
පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් SLS ප්‍රමිති ලාංඡනය රහිතව අලෙවි කිරීමට තබා තිබූ දුඹුරු සීනි ඇසුරුම්, කල් ඉකුත් වූ ආහාර ඇසුරුම් මෙන්ම සැපයුම්කරු විසින් නිකුත් කරන ලද නිල බිල්පත් හෝ කුවිතාන්සි නොමැතිව ගබඩා කර තිබූ ආහාර ඇසුරුම් රැසක් ද නිලධාරීන් භාරයට ගෙන තිබිණි.
පාරිභෝගිකයන් වංචනික ලෙස රවටමින් පාලන මිල ඉක්මවා බාල ප්‍රමිතියේ හෝ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳුන් සහ ආයතන පිළිබඳව කාර්යාල වේලාවන් තුළ '1977' කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම තොරතුරු ලබාදෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.




