රස පරීක්ෂක ප්‍රමාදය නැති කරන්න රසායනාගාර විමධ්‍යගත කෙරේ; මත්ද්‍රව්‍ය බෝට්ටු සහ වාහන සෘජුවම රාජසන්තක කිරීමට නව නීති
පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය ජාලය මර්දනයට අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පොදු සැලැස්මක්
ශ්‍රී ලංකාව වෙළාගෙන ඇති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා තනි තනිව ක්‍රියාත්මක වීම වෙනුවට, අදාළ සියලුම රාජ්‍ය සහ ආරක්ෂක ආයතන ඒකාබද්ධ ජාතික සැලැස්මකට අනුව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයන්, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක ලේකම්, පොලිස්පති ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැති ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභා රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
බන්ධනාගාර තදබදය සහ පුනරුත්ථාපන පනත
දැනට මෙරට බන්ධනාගාරගත කර සිටින පිරිසෙන් 70%ක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව මෙම රැස්වීමේදී අනාවරණය වී ඇති අතර, බන්ධනාගාර තදබදයට පිළියමක් ලෙස ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු විය.
නව ගැසට් පත්‍රය:
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ක්‍රමවත්ව පුනරුත්ථාපනය කිරීම සඳහා සකස් කරන ලද නව පනත් කෙටුම්පත දැනටමත් අවසන් කර ඇති අතර, එය කඩිනමින් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ඔසුසල්වලින් පරීක්ෂණ කට්ටල:
තමන්ගේ දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්දැයි මවුපියන්ට පෞද්ගලිකවම නිවසේදීම පරීක්ෂා කරගත හැකි (Drug test kits) ඔසුසල් හරහා වෙළෙඳපොළට හඳුන්වා දීමට ද මෙහිදී තීරණය විය.
නඩු භාණ්ඩ කළමනාකරණය සහ තාක්ෂණික මෙහෙයුම්
අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග රඳවා තැබීමේදී සිදුවන වංචා සහ ප්‍රමාදයන් වැළැක්වීම සඳහා නීතිමය හා තාක්ෂණික සංශෝධන රැසක් සිදු කිරීමට අවධානය යොමු වී ඇත.
ස්වයංක්‍රීය පද්ධතිය:
නඩු භාණ්ඩ ලෙස පවතින මත්ද්‍රව්‍ය කළමනාකරණය සඳහා නව ස්වයංක්‍රීය පද්ධතියක් (Automated System) හඳුන්වා දෙන අතර, රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය මඟහරවා ගැනීමට රසායනාගාර පහසුකම් දිස්ත්‍රික් මට්ටමින් විමධ්‍යගත කෙරේ.
රාජසන්තක කිරීම්:
මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම නැවැත්වීම සඳහා නාවික හමුදාව සහ බුද්ධි අංශ ඒකාබද්ධ මෙහෙයුම් තීව්‍ර කර ඇති අතර, මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගන්නා බහුදින ධීවර යාත්‍රා සහ වාහන සෘජුවම රාජසන්තක කිරීමට හැකි වන පරිදි නීතිමය බලතල ශක්තිමත් කෙරේ.
පාසල් සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන ආරක්ෂා කිරීම
පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි වහාම සමීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇත.
රජයේ පාසල්වල දැනටමත් ක්‍රියාත්මක වැඩසටහන් 225ට අමතරව, ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල හිමිකරුවන් ද මෙම ජාතික නිවාරණ වැඩපිළිවෙළට සෘජුවම දායක කරගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් කැඳවීමට ජනාධිපතිවරයා නියෝග කළේය. සිදුව ඇති ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ඇතුළත් වාර්තාවක් මීළඟ රැස්වීමට ඉදිරිපත් කරන ලෙස සියලුම ආයතන ප්‍රධානීන්ට මෙහිදී උපදෙස් දෙන ලදී.





