සබ්මැරීන් කේබල් පද්ධති 4ක් තිබුණත්, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ (Policy Delays) සාම්ප්‍රදායික ලෙඩේ තාමත් එහෙමමයි
හරිත දත්ත මධ්‍යස්ථාන (Green Data Centers) ගැන කිව්වාට, දේශීයව වැඩ අරඹන නිශ්චිත කාලසටහන (Roadmap) අතුරුදන්
චීනයේ ෂැංහයි නුවර පැවැත්වෙන ලෝක ජංගම සන්නිවේදන මහා සම්මේලනයේදී (MWC Shanghai 2026) කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු උපායමාර්ගික දැක්ම ඉතා ඉහළින් ප්‍රදර්ශනය කිරීමට මෙරට බලධාරීන් කටයුතු කර ඇතත්, දේශීය මට්ටමින් එම ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී පවතින සුපුරුදු රාජ්‍ය ප්‍රමාදයන් හේතුවෙන් එම අභිලාෂයන් හුදු දේශනාවලට පමණක් සීමා වීමේ අවදානමක් මතුව තිබේ.
ශ්‍රී ලංකාව AI තාක්ෂණයන්හි හුදු පාරිභෝගිකයෙකු පමණක් නොව, කලාපීය නිෂ්පාදකයෙකු සහ විශ්වාසවන්ත ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් වීමට සූදානම් බව ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න එහිදී අවධාරණය කළේය.
භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ලෝකයේ කාර්යබහුලම ඩිජිටල් කොරිඩෝවක වන අතර, SEA-ME-WE 3, 4, 5, 6 සහ India Asia Xpress වැනි ප්‍රධාන සබ්මැරීන් කේබල් පද්ධති රැසක් අපේ මුහුදු සීමාව හරහා ගමන් කරයි. එසේම දකුණු ආසියාවේ ප්‍රථම සබ්මැරීන් කේබල් ඩිපෝව (Submarine cable depot) පවතින්නේ ද ලංකාවේය. මෙම ස්වාභාවික වාසි මත පදනම්ව ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කර ගැනීමට නම්, පිටරටදී කරන ප්‍රකාශවලට වඩා දේශීය ආයතනික ස්ථාවරත්වය සහ ප්‍රතිපත්තිමය ස්ථාවරභාවය (Implementation certainty) ආයෝජකයන්ට අතිශයින් තීරණාත්මක වේ.
ෂැංහයි හමුවේ තැබූ ආකර්ශනීය 'ලංකා පිච් එක'
හරිත දත්ත මධ්‍යස්ථාන:
පුනර්ජනනීය බලශක්තියෙන් ක්‍රියාත්මක වන හරිත දත්ත මධ්‍යස්ථාන (Green-powered data centers) සඳහා ශ්‍රී ලංකාව කදිම නවාතැනක් ලෙස හඳුන්වා දී ඇත.
දේශීය AI මාදිලි:
දේශීය භාෂා (සිංහල/දෙමළ) කේන්ද්‍ර කරගත් AI මාදිලි (Local-language AI models) සහ ස්වෛරී AI (Sovereign AI) සංවර්ධනය සඳහා කලාපීය හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමට ඇති කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
බලශක්ති ඉලක්ක:
2030 වන විට මෙරට විදුලි උත්පාදනයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගැනීමේ සහ 2050 වන විට කාබන්-උදාසීන (Carbon-neutral) රටක් වීමේ ඉලක්ක ජාත්‍යන්තරය හමුවේ තබා ඇත.
සැඟවුණු හිස්තැන් මොනවාද?
ක්‍රියාකාරී සැලැස්මක් (Roadmap) නැතිකම:
මෙම නිල ඉදිරිපත් කිරීම පුරාම "අප අපේක්ෂා කරයි", "අප විශ්වාස කරයි" හෝ "ආයෝජන සොයයි" වැනි අනාගතවාදී වචන බහුලව භාවිත කර ඇතත්, මෙම ඉලක්ක සපුරා ගන්නා නිශ්චිත කාලරාමුවක් (Timelines), මූල්‍ය ප්‍රතිපාදන සොයාගන්නා ආකාරය හෝ ක්‍රියාත්මක කිරීමේ සන්ධිස්ථාන (Milestones) පිළිබඳ කිසිදු පැහැදිලි සිතියමක් ඉදිරිපත් කර නොමැත.
දේශීය සම්බන්ධීකරණයේ දුර්වලතා:
ස්වෛරී AI, සයිබර් ඔරොත්තු දීමේ හැකියාව සහ AI සාක්ෂරතාව ඇතුළු ක්ෂේත්‍ර 7ක් ඔස්සේ සහයෝගීතාව ඉල්ලා සිටියද, විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට පෙර මෙම ප්‍රමුඛතාවන් දේශීය රාජ්‍ය ව්‍යුහය තුළ සම්බන්ධීකරණය කරගන්නේ කෙසේද යන්න අපැහැදිලිය.
ජාත්‍යන්තර ආයෝජකයන් ආකර්ෂණය වන්නේ හුදු භූගෝලීය පිහිටීම හෝ ලස්සන 'ප්‍රසන්ටේෂන්' දෙස බලා නොවේ. ඔවුන් සොයන්නේ ආයතනික අඛණ්ඩතාව සහ ප්‍රකාශිත ප්‍රතිසංස්කරණ සැබෑ ලෙසම භූමියේ ක්‍රියාත්මක වන බවට ඇති සාක්ෂි පමණි. ෂැංහයි නුවරදී ශ්‍රී ලංකාව තැබූ ඩිජිටල් සැලසුම විශිෂ්ටය; නමුත් එය කලාපීය සාර්ථකත්වයක් වන්නේ පිටරටදී කරන කතාවලින් නොව, දේශීයව වැඩ පෙන්වන වේගය සහ ප්‍රතිපත්තිමය ස්ථාවරභාවය මත පමණි.
මුලාශ්‍රය :
Bold AI Promises Meet Familiar Policy Delays Back Home




