අනුලා සෑයේ භාරකාරීත්වය පැවරි තිබී ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව ය. ඒහෙත් හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙක් කිසිදු විමසීමකින් තොරව මෙම සෑයේ අයිතිය මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංඟුණවැවේ ධම්මරතන හිමිට පවරා ඇතැයි මෙහෙණින් වහන්සේලා චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අනුලා සෑයේ හිමිකාරිත්වය සමස්ත මෙහෙණින් වහන්සේ වෙනුවෙන් පැවරීමට අදාළ පියවර ගන්නා ලෙස අනුරාධපුර සිල්මාතා පුහුණු ආයතනයේ ස්ථාන භාර අනුරාධපුර ධම්මානි අමරපාලි මෙහෙණින් වහන්සේ ඉල්ලා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අනුරාධපුර ධම්මානි අමරපාලි මෙහෙණින් වහන්සේ...
“මේ අනුලා සෑය අයිති මෙහෙණින් වහන්සේලාට. මිහින්තලේ නායක හාමුදුරුවෝ බලහත්කාරයෙන් තමන් අනුලා සෑයේ විහාරාධිපති ලෙස හඳුන්වා ගන්නවා. මෙහෙණින් වහන්සේලාට අයත් ශ්‍රී ලංකාවේ එකම සෑය මේක. අනුරාධපුර මිහින්තලේ දිග්ගල ප්‍රදේශයේ පිහිටි අනුලා මහ රහත් තෙරණන් වහන්සේ වැඩ වාසය කරපු තැන ක්‍රිස්තු වර්ෂ 165 දී අනුලා චෛත්‍ය නිර්මාණය කර මෙහෙණි සසුන වෙනුවෙන් පූජා කළේ කණ්ෂ්ඨතිස්ස රජතුමා. කාලයාගේ ඇවෑමෙන් වල්බිහිව වුණු මේ ස්ථානය පහුගිය කාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අයත්ව තිබුණා. ඒ අතරේ හිටපු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයෙක් මෙහෙණින් වහන්සේලා දැනුත් කිරීමකින් හෝ අවසරයකින් හෝ තොරව සෑයේ අයිතිය මිහින්තලේ භාරකාර වලවාහැංඟුණුවැවේ ධම්මරතන හාමුදුරුවන්ට බාර දීලා; ඒ, දූෂිත සහ අනීතික ක්‍රමයකට.
අනුලා කියන නමින්ම අයිතිය තියෙන්නේ මෙහෙණින් වහන්සේලාට බව පැහැදිලියි නෙ. මේක මිහින්තලේ නායක හාමුදුරුවන්ට පැවරුවේ කුමන හේතුවක් නිසා ද? බෝදාගම චන්දිම හාමුදුරුවන්ගෙන් මෙහෙණින් වහන්සේ කරපු ඉල්ලීමකට අනුව උන් වහන්සේගේ මූල්‍ය අනුග්‍රහයෙන් සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේ, ලෝකවාසී මෙහෙණින් වහන්සේගේ අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ලෙසත්, ආරාම සංකීර්ණයක් බවට වැඩිදියුණු කරන්න. දැන් මිහින්තලේ නායක හාමුදුරුවන් නිසා එහි වැඩ කටයුතු නැවතිලා.”
මේ සම්බන්ධයෙන් මැදිහත් වී සෑයේ භාරකාරිත්වය මෙහෙණින් වහන්සේලාට ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ද ඉල්ලා සිටින්නේ යැයි මෙහෙණින් වහන්සේලා වැඩිදුරටත් පැවසූහ.
(මුලාශ්‍ර - si.rata.lk )




