The Leader News
BREAKING
ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා අවදානමේ වැටුණු බිලියන 2.62ක ජනතා මුදල්●හාල් මල්ලේ ඔත්තුව ලැබෙන තුරා බලධාරීන් ගේ අපයෝජනයට ලක්වු නකල්ස් බාලිකා මාතාව●රුපියල් බිලියන 600ක දේශීය අධිවේගී මාර්ග වැඩසටහනේ සැබෑ ආර්ථික බර කාටද?●බංග්ලාදේශයේ මංගල ඩොලර් බැඳුම්කරයට 8.5% ක ඉහළ පොලී අවදානමක්●ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් දෙකක් අවසන් සටන්වලට: 2035 ලෝක කුසලානය එක්සත් රාජධානියට●ලෝකයේ දැවැන්තම වෙළෙඳ හවුලට එක්වීමට ශ්‍රී ලංකාව සූදානම්●කොළඹ කසළ අර්බුදය පසුපස වාහන සහ සේවක හිඟයක්●නිල ඇඳුමට මුවා වී දැරියක බිලිගත් උප පොලිස් පරීක්ෂකට වසර 50ක සිරදඬුවම්●මිතුරාගේ දරුවා අපයෝජනය කළ පුද්ගලයෙකුට වසර දහයක සිරදඬුවම්●ජයරත්න සමූහයේ අධ්‍යක්ෂවරියකට අපහාස කළැයි කියන සැකකරු රිමාන්ඩ්●
Top Ad
පුවත්

හාල් මල්ලේ ඔත්තුව ලැබෙන තුරා බලධාරීන් ගේ අපයෝජනයට ලක්වු නකල්ස් බාලිකා මාතාව

Pasan

Pasan

November 24, 2026 • 11:32 PM

හාල් මල්ලේ ඔත්තුව ලැබෙන තුරා බලධාරීන් ගේ අපයෝජනයට ලක්වු නකල්ස් බාලිකා මාතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බිළිඳියගේ උප්පැන්න සහතිකය නිකුත් කිරීමේදි පියාගේ නම සඳහන් නොකර සීටීමට හැකි වුවද ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගයකින් අනතුරුව පිතෘත්වය ඔප්පු වෙන තුරු එය නිකුත් නොකර සිටීම යහපත් බවට පලාතේ රෙජිස්ටර් ජනරාල්වරිය රැස්වීමේදී පවසා ඇත.
  • පිතෘත්වය සනාථකර ගැනීම සඳහා අධිකරණ නියෝග මත ජානමය පරික්ෂාවක් (DNA) සිදු කිරීමට ඉල්ලා සිටීමටත් එහිදි යෝජනා වී ඇත.
  • අපට දැනගන්නට ලැබුණේ මෙම සිදුවීම හුදෙක් පසුගිය 13 වනදා වන පෙතෙන් එළියට ආ අහුඹු කතාවක් නොව එයටත් මාස ගණනාවකට පෙර සිටම දැරියගේ දෙමාපියන්, අසල්වාසින්, පාසල් ගුරුවර ගුරුවරියන් , ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය සහ ප්‍රධාන වශයෙන් උඩුදුම්බර පොලීසිය ද දැන සිටි සිදුවීමක් බවයි.
  • සිය දියණිය නිවසින් අතුරුදහන්ව ඇති බවට ඇගේ දෙමාපියන් විසින් ප්‍රදේශයේ පොලිස්ථාන දෙකකට, එනම් පලමු පැමිණිල්ල ඔවුන් අයත් පොලිස් බල ප්‍රදේශය වන උඩුදුම්බර පොලිස්ථානයටත් , දෙවන පැමිණිල්ල තෙල්දෙණිය පොලිස්ථානය වෙතත් කර ඇති බව අපට දැනගන්නට ලැබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

හාල් මල්ලේ ඔත්තුව ලැබෙන තුරා බලධාරීන් ගේ අපයෝජනයට ලක්වු නකල්ස් බාලිකා මාතාව මධ්‍යම වැසි වනාන්තර පද්ධතියේ හදවත බඳු නකල්ස් කඳු පන්තියේ බෑවුමක දිය බේරෙන  කුඩා ගල් ගුහාවක දිවි ගෙවමින් සිටි 15 වියැති බාලවයස්කාර මවක සහ ඇගේ තෙමසක් පමණ වයසැති බිළිඳියත්,  ව්‍යවහාර නීතිය තුළ දැරියගේ සැමියා බවට  විශ්වාස කෙරෙන 23 හැවිරිදි තරුණයකුත්, ඔහුගේ ඥාතියෙකුත් උඩුදුම්බර පොලිසීය විසින්  අත් අඩංගුවට ගන්නා ලද පුවත සමාජ සහ ප්‍රධාන දහරාවේ මාධ්‍ය තුළ ද ගිනි අවුලන්නක්  බවට පත්ව ගෙවී යමින් තිබෙන්නේ දින කිහිපයකි.

බාලවයස්කාර දැරිවියක බරපතල ලිංගික අපයෝජනයකට ලක් කිරීම, ඇය ඇගේ නීත්‍යනුකූල භාරකරුවන්ගෙන් මුදාගෙන අපහරණය කිරීම, ආදී චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගන්නා ලද එම දෙදෙනාගෙන් බිළිඳියගේ පියා බැව් පැවසෙන තරුණයා තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා විසින් ඇප පිට නිදහස් කරනු ලැබුවේ අනෙක් තැනැත්තා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසට ද නියෝග කරමිනි.

රෝහල් සාකච්ඡාවක්

උඩුදුම්බර ප්‍රදේශයේ වෙළද සැළකින් එක් අයෙකුට වැඩි ප්‍රමාණයේ සහල් මිලදී ගැනීමේ සැකය මත , වෙළෙඳ සැල් හිමිකරු වෙතින් ලද "ඔත්තුවක්" අනුව ලුහුබැඳ යමින් පසුගිය 13 වන බ්‍රහස්පතින්දා දින මීමුරය ආශ්‍රිත වනයේ දී පොලිස් අත්අඩංගුවට පත් ඔවුන් තිදෙනාගෙන් බාල වයස්කාර මව වෛද්‍ය  ප්‍රතිකාර සහ ඉදිරි විමර්ශන කටයුතු පහසුව සඳහා මහනුවර ශික්ෂණ රෝහ‌ලේ 7 වන  වාට්ටුවට ඇතුලත් කරනු ලැබු අතර, ඉන් දින 7 කට පසුව එනම් 20 වන සිකුරාදා රෝහල් බලධාරින් විසින් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණේ දැරිය සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු සහ  ඇගේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනය කිරීමේ අදහස සහිතවය.

මහනුවර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලලිත් නන්දික විජේසේකරගේ අත්සන සහිතව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි, වෝහාරික (අධිකරණ) විශේෂඥ මනෝ වෛද්‍යවරිය, ස්ථාන භාර පරිවාස නිලධාරි (මහනුවර අධිකරණය), උඩුදුම්බර පොලිස්ථානයේ ස්ථානභාර නිලධාරි ද (OIC) ඇතුළු කිහිප දෙනකුට  සහභාගීවීමේ  පිටපත් සහිතව උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් වෙත යවා ඇති අපට ද දක්නට ලැබුණු  එකී ලිපියෙන් දැනුම් දී තිබුණේ දැරිය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රදේශයේ ළමා හිමිකම් සහ වනිතා කටයුතු නිලධාරින් ද, ග්‍රාම නිලධාරිවරියද ඇතුළු නම් කරන ලද පිරිසක් සහභාගි  කරවන්නට කටයුතු යොදන ලෙසයි.

බිළිඳියගේ උප්පැන්න සහතිකය නිකුත් කිරීමේදි පියාගේ නම සඳහන් නොකර සීටීමට හැකි වුවද ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගයකින් අනතුරුව පිතෘත්වය ඔප්පු වෙන තුරු එය නිකුත් නොකර සිටීම යහපත් බවට පලාතේ රෙජිස්ටර් ජනරාල්වරිය රැස්වීමේදී පවසා ඇත. පිතෘත්වය සනාථකර ගැනීම සඳහා අධිකරණ නියෝග මත ජානමය පරික්ෂාවක් (DNA)  සිදු කිරීමට ඉල්ලා සිටීමටත්  එහිදි යෝජනා වී ඇත. එමෙන්ම දැරිය භාර ගැනීම කෙරෙහි ඇගේ දෙමාපියන් විසින් තවමත් කැමැත්ත පළ කොට නොමැති තත්වයක් යටතේ ඇය තවදුටත්, රාජ්‍ය භාරකාරත්වයේ තබා ගෙන එළැඹෙන අපොස සාමාන්‍ය පෙල විභාගය සඳහා සුදානම් කිරීමටත් පරිවාස සහ ළමා ආරක්ෂක නිලධාරින් විසින් කර ඇති ඉල්ලීමට එකඟතාවය හිමිවී ඇති බවත් විශ්වාස කටයුතු රෝහල් ආරංචි මාර්ග මගින් අපට වැඩි දුරටත්  දැනගන්නට ලැබුණි.

ප්‍රාදේශීය බලධාරීන්ගේ සාකච්ඡාවේ ඇල්මැරුණු ස්වභාවයෙන් නැවත අනාවරණය වන්නේ වගකිව යුතු සියළු පාර්ශව විසින් මාස ගණනක් තිස්සේ නොතකා හරින ලද අතිශය බරපතල කාරණා ගණනාවකි.

යටපත් කළ අතීතයක්

අපයෝජනයට ලක්වු දැරිය තෙමසක් වියැති බිළිඳියකගේ මවක බවත්, ඇයව අපහරණය කරන ලද පුද්ගලයා හෝ පුද්ගලයන් එය සැලකිය යුතු කාලයක් තිස්සේ සිදුකරමින් සිටි බවත් ඒ සියල්ල එයට පෙර කිසිවකුත් නොදැන සිටි "රහසක්" ලෙසත් පොලිසිය උපුටා දැක්වමින්  මාධ්‍ය වාර්තා පැය 24 ක් ගතවන්නටත් පෙර රට හමුවේ දිග හැරුණුද , සත්‍ය එයම දැයි යන කුකුස අප හමුවේ පැණ නගින ලද්දේ දැරිය සහ සෙසු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ නාටකය දෙස සැලකිල්ලෙන් බලා සිටීමේදි ය.

අපට  දැනගන්නට ලැබුණේ මෙම සිදුවීම හුදෙක් පසුගිය 13 වනදා වන පෙතෙන් එළියට ආ අහුඹු කතාවක් නොව එයටත් මාස ගණනාවකට පෙර සිටම දැරියගේ දෙමාපියන්, අසල්වාසින්, පාසල් ගුරුවර ගුරුවරියන් , ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය සහ ප්‍රධාන වශයෙන් උඩුදුම්බර පොලීසිය ද දැන සිටි සිදුවීමක් බවයි.

පළමු තැන උඩුදුම්බර පොලීසියට

පොලිසිය ප්‍රමුඛ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින් සිය වගකීම් නිසි පරිදි ඉටුකර නොමැති බව  මේ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීම්වලදී අනාවරණය වුණු අතර, එම නිලධාරින් නිසි කලට වෙලාවට සිය වගකීම් පරදි කටයුතු කර තිබුණේ නම් දැරිය ගැබ්බරව සිටි මුල් අවදියේම ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා දැනගන්නටත්, ඔවුන් වනගත වන්නට පෙරම නිසි ආරක්ෂාවක් යටතේ අවශ්‍ය නීතිමය මෙන්ම වෛද්‍යමය කටයුතු සිදුකරන්නටත් අවශ්‍ය තරමටත් වඩා කාලය තිබුණු බවත් පැහැදිලි ය.

එහි පළමු සම වගඋත්තරකරුවන් වන්නේ දැරියගේ දෙමාපියන් සහ උඩුදුම්බර පොලිසිය යි. සිය දියණිය නිවසින් අතුරුදහන්ව ඇති බවට ඇගේ දෙමාපියන් විසින්  ප්‍රදේශයේ පොලිස්ථාන දෙකකට, එනම් පලමු පැමිණිල්ල ඔවුන් අයත් පොලිස් බල ප්‍රදේශය වන උඩුදුම්බර පොලිස්ථානයටත් , දෙවන පැමිණිල්ල තෙල්දෙණිය පොලිස්ථානය වෙතත් කර ඇති බව අපට දැනගන්නට ලැබුණි. දෙමාපියන් උඩුදුම්බර පොලිසිය වෙත පැමිණිලි කොට ඇත්තේ පසුගිය ජූලී මාසයේ දිනක ය. තෙල්දෙණිය පොලිස්ථානය වෙත යළි පැමිණිලි කරන්නට හේතුව මුල් පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් හෝ සහනයක් නොලැබුණු නිසා යැයි විශ්වාස කරන්නට සිදුවන්නේ ය.      

මේ සම්බන්ධයෙන්  කරන ලද විමසීමකදී  උඩුදුම්බර ප්‍රදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත රාජ්‍ය නිලධාරියෙකු  අප හා කියා සිටියේ දැරිය යම් ලිංගික අතවරයකට ලක්ව ඇති බවට ‌හෝ ඇය යම් කිසි ගැටලුවකට මැදිව සිටින බව හෝ මාස  ගණනාවකට පෙර සිටම බොහෝ පාර්ශව විසින් දැන සිටි බවකි.

එහෙත් ජාතික ළමා ආරක්ෂක අධිකරිය පවසන්නේ තමන්ට සිද්ධිය දැන ගන්නට ලැබුණේ පොලිසිය රූපවාහිනි කැමරාකරුවන් පෙරටු කොටගෙන දැරිය ප්‍රමුඛ පිරිසව වනයෙන් පිටතට රැගෙන එමෙන් අනතුරුව බවයි.

"දැරිය අතුරුදහන් වෙලා තියෙන්නේ ජූලි මාසයේ වුණාට අපි දන්නේ පොලිසිය දැරිවියව කැලෙන් එළියට අරන් ඇවිත් රටම දැන ගත්තටත් පස්සේ. ඊට කලියෙන් පොලිසීය මේක අපිට කිවුවේ නෑ", යනුවෙන් කියා සිටියේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරියෙකි.

පාසැලේ ගුරුවරියන් දැන සිටි රහසක්

ජූලි මාසයට පෙර සිටිම දැරියගේ ශරීරයේ භෞතික වෙනස්වීම් පෙන්නුම් කර තිබෙන අතර, කුඩා ගම්මානයක ජීවත්වන බාලවයස්කාර දැරිවියකගේ ශරීරයේ සිදුවන එවන් වෙනස්කම් පිටස්තර පුද්ගලයන් වෙතින් සඟවා ගන්නට හැකිද යන වග ප්‍රශ්නයකි.  විශේෂයෙන්ම ඇය අධ්‍යාපනය ලද පාසැලට එය අමුත්තක් නොවුණි ද යන වග සොයා බැලීමේදි අපට අසන්නට ලැබුණු කතාව වූයේ ඇගේ ගුරුවරියන්ට ඒ සම්බන්ධයෙන් යම්  සැකයක් ඇතිවී ඇති බවකි.

"ඔය දැරිය  ඉගෙන ගත්ත  ඉස්කෝලේ ගුරුවරයෝ එයාගේ අම්මව ඉස්කෝලෙට ගෙන්නලා කියලා තිබුණා දුවගේ හැසිරීමේ සහ ශරීරයේ යම් වෙනසක් පේනවා; ඒ හින්දා ඒ ගැන කතා කරලා ටිකක් සැලකිල්ලේ ඉන්නය කියලා," යනුවෙන් අප හා පැවසුවේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකි. සිය අනන්‍යතාවය හෙළිදරව් නොකරන ලෙස ඉල්ලමින් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ දැරිය පිළිබඳව සැකයක් ඇතිවු මුල් අවස්ථාවේම  දෙමාපියන් සහ සෙසු පාර්ශව කඩිනමින් සොයා බලා කටයුතු කරනු ලැබුවේ නම් ඇයට කැළෑ වදින්නට හෝ ගල්කුලක් යට බිළිඳකු බිහිකරන්නට හෝ සිදු නොවන බවකි.

පාසැලේ ගුරුවරියන්ගේ දැනුම් දීම මත දැරියගේ මව , ඇගෙන් ඒ සම්බන්ධයෙන් විමසා ඇති බවත්, දැරිය නිවසින් පිටව ගොස් ඇත්තේ එයට පසු දිනම බවත් දැනගන්නට ලැබුණු අතර, සිය දියණිය අතුරුදහන්ව ඇති බවට දෙමාපියන් පොලිසියට පැමිණිලි කර තිබෙන්නේ ද ඉන් අනතුරුව ය.

වට මේස සාකච්ඡාවල මාතෘකාවක්

මෙහි ඇති විශේෂිතම තත්වය වන්නේ දැරිය අතුරුදහන්වීමෙන් දින කිහිපයකට පසුව ප්‍රදේශයේ රාජ්‍ය පරිපාලන නිලධාරින් සහභාගිව සිටි සාකච්ඡා සභාවකදි ඒ සම්බන්ධයෙන් යම් කතිකාවක් මතුව තිබීමයි. ප්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරින්, ප්‍රාදේශීය ලේකම්  කාර්යලයේ  නිලධාරින් සහ දැරිය ජීවත් වුණු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරුන්, සමාජ සේවා, ළමා හිමිකම්, වනිතා කටයුතු ආදි බොහෝ අයගේ දායකත්වය සහිතව පවත්වා තිබුණු එම හමුවේදී බාලවයස්කාර දැරිවියක් නිවසින් අතුරුදහන්ව ඇති බවටත්, ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳවත් අවිධිමත් කතාබහක් ඇති වූ බවත් අප හා කියා සිටියේ ද එයට සහභාගි වූ නිලධාරියෙකි.

නුගේතැන්න, මීමුරේ ආශ්‍රිත කලාපයේ පමණක් වසම් මට්ටමින් රාජකාරි ආවරණය කරන  ග්‍රාම නිලධාරින්, ළමා හිමිකම් සහ පරිවාස නිලධාරින්, වනිතා කටයුතු , සමාජ සේවා  නිලධාරීන් මෙන්ම සමෘද්ධි සංවර්ධන, ගොවි පරික්ෂණ හා කෘෂී නිලධාරින් ප්‍රාදේශීය පරිපාලන සහ රාජ්‍ය සේවා නිලධාරින් දසදෙනකුට අධික පිරිසක් සිටින අතර, ඔවුන් සියල්ලන්ටම දැරියගේ තත්ත්වය රහසක් නොවුණු බවත් අපට දැනගන්නට ලැබුණි.  

දැරියගේ අතුරුදහන්වීම පිළිබඳව තමන් යම් දැනුවත් බවකින් සිටි බවත්, දැරියගේ මව කැඳවා විස්තර  විමසීමේදි ඇය පොලිසියට පැමිණිල්ලක් කර  ඇති බව තමන් හා කී බවත්  ප්‍රදේශයේ වසමක් භාර ග්‍රාම නිලධාරිවරියක් කීය.

"මම ඒ අම්මව මුණ ගැහිලා මේ ගැන අහපුවාම එයා මට කිවුවේ පොලිසියට පැමිණිලි කරලා තියෙන නිසා ග්‍රාමසේවක නෝනට කියන්න ඕනේ නෑ කියලා මම හිතුවා කියලයි, " යනුවෙන් එම ග්‍රාම නිලධාරිවරිය පැවසීය.

ප්‍රදේශයේ වනිතා සංවර්ධන නිලධාරිනියකද කියා සිටියේ තමන්ට ද  එවැන්නක් අසන්න ලැබුණු බවයි.  

"ඒ ළමයා ගැන එහෙම කතාවක් අපිටත් අහන්න ලැබුණා." යනුවෙන් පැවසූ ඇය අවධාරණයෙන් කියා  සිටියේ "අපිට මේ ගැන කාත් එක්කවත් කතා කරන්න එපා කියලයි තියෙන්නේ. ඒ නිසා වැඩි විස්තරයක් කියන්න බෑ" යනුවෙනි.

වගකීම් විරහිත රාජ්‍ය නිලධාරින් පිරිසක්

මේ සියළු තත්වයන් මගින් පෙන්නුම් කෙරෙන්නේ  දැරියගේ දෙමාපියන් ප්‍රමුඛ සියළු පාර්ශවයන් ඔවුනොවුන්ගේ වගකීම් ඉටු නොකර ඇති බවක් නොව්ද? බාල වයස්කාර දැරියකගේ එදිනෙදා දිවි චර්යාවේ වෙනසක් හෝ සැක කටයුතු යමක් සිදුව තිබෙන බව හෝ දැන ගන්නට ලැබුණු පසුව  ඒ් පිළිබඳව සොයා බැලීම දැරියගේ මවට පමණක් පවරා අන් අය  අත පිසදා  ගැනීම ද  මේ ඛේදවාචකයට එක් හේතුවක් වී තිබේ.

පොලිසිය සහ මාධ්‍ය විසින් ප්‍රචාරය කරනු ලැබු කතාවන්ට වෙනස් තත්වයක් ද මෙහි පවතින බවත්, දැරිය බාලවයස්කාර මවක ලෙස වනයෙන් පිටතට ගන්නට පෙරම එය  බොහෝ පාර්ශව විසින් අඩුවැඩි වශයෙන් දැන සිටි එකක් බවත් අප හා කියා සිටියේ ද ප්‍රදේශයේ ම තවත්  පාසල් ගුරුවරයෙකි.

"පොලීසිය කැමරාකාරයන් එකතු කරගෙන ගිහින් ඒ දැරිවියවයි අනෙක් පිරිමි දෙන්නවයි පොඩි දරුවත් එක්ක කැලෙන් එළියට අරගෙන ආවට ඔය අහල පහල ගම්වල මිනිස්සු වෙලා තිබුණු දේ දැනගෙනයි ඉඳලා තියෙන්නේ. 'සර්, ඔය ගෑනු ළමයට වෙච්ච දේ ගමේ අය දන්නවා. ඒක ප්‍රසිද්ධ රහසක් වෙලයි තිබුණේ' කියලයි ගමේ මිනිස්සුත් මට කිවුවේ," යනුවෙන් එම ගුරුවරයා පැවසීය. 

දැරියගේ සැමියා බව පැවසෙන 23 හැවිරිදි තරුණයා පොලිසිය වෙත ලබා දී තිබෙන ප්‍රකාශය උපුටා දක්වමින් ඇතැම්  සමාජ මාධ්‍යවල වාර්තා කොට තිබෙන්නේ ද දැරිය ගැබ්බරව සිටින බව ඔහු විසින් මුල් අවස්ථාවේම හඳුනා ගෙන සිටි ඇති බවකි.

"මම නිසා එයා ගැබ් ගෙන තිබුණේ. එයාට ඒ ගැන අවබෝධයක් තිබුණේ නෑ. ඒ වෙන කොට බඩට මාස අටයි," යනුවෙන් එම තරුණයා විසින් පවසන ලදැයි  එම වර්තාවල දැක්වෙයි.

එසේම දැරිය විසින් බිළිඳිය ප්‍රසුත කරනු ලැබුවේ අගෝස්තු මස 30 දා බවත් ඔහුම පවසා ඇති විටක අප හමුවේ ඉතිරිවන ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ බාලවයස්කාර දැරිවියක් ගැබ්බරව සිටින බව යම් සැකයක් හෝ ඇති වූ අවස්ථාවේ සිට වැඩිහිටි තරුණයකු ඇය වනයට රැගෙන ගොස් දරුවකු බිහිකොට එයින් ද තුන් මසක් පමණ ගතවන තුරුත් මේ  දෙමාපියන්ගේ සිට පොලීසිය දක්වා සියළු පාර්ශවයන් කුමක් සිදු කළේද යන්නයි.  මේ සමස්ත සිදුවීමටම අවම වශයෙන් වසරක පමණ කාලයක් ගතවී තිබේ.

ඒ නිසාම දැරිය බරපතල ලිංගික අපයෝජනයට මෙන්ම  ඇයව නිත්‍යාණූකූල භාරකාරත්වයෙන් අපහරණය කළ බවට චෝදනා එල්ල වෙන දෙදෙනාට මෙන්ම ඇගේ සැබෑ තත්වය දැන ඇයව හිතාමතාම අනාරක්ෂිත තත්වයකට ඇද දමන්නට ඉඩ සැලසු  සියළුම දෙනා  මෙහි සම වගඋත්තරකරුවන් විය යුතු බව අපගේ විශ්වාසය යි.  

වෙළද සැලකින් තමන්ට වඩා වැඩි ප්‍රමාණයක් සහල් මිලදී ගත් තැනැත්තා පිළිබඳව පොලිසියට "ඔත්තුව " නොලැබෙන්න ට  මෙම කතා වස්තුව  තවදුරටත් නකල්ස්  අඳුරු ගල්ගුහාවට පමණක් සීමාවු රහසක් වන්නට ඉඩ තිබුණේ එවන් හේතු මතය.  

වගකීම් විරහිත නිලධාරින්ට ළමා ඇමැතිනියගෙන් තුති

බාලවයස්කාර මව, ඇගේ තුන් මස් බිළිඳිය සහ අත්මාංචු දැමු තරුණයා වනයෙන් පහළට රැගෙන එන අයුරු රට හමුවේ තැබු  කැමරාකරුවන් ගේ "උද්යෝගිමත් රූපරාමු"   මෙන්ම, සිද්ධිය සැලවු සැනින් මහනුවරට දිවවිත් එයටත් වඩා හැඟුම්බර සහ සංවේදී වදනින් අදහස් පළ කළ රටේ කාන්තා හා ළමා ඇමැතිණියගේ හැසිරීම් රටාවෙන් ඒ  සියළු වගකීම්  විරහිත ක්‍රියාකලාපයන් සෝදා දැමිය හැකි ද? දැරිය සැබෑවටම අනාරක්ෂිත තත්වයට පත්වන්නට ඉඩ හැරිය සියළුම රාජ්‍ය නිලධාරින් වරදින්  මුදවාලිය හැකිද?

"බාල වයස්කාර මවගේ සහ බිළිඳියගේ ජීවිතය ආරක්ෂා කරගන්න උපරිමයෙන් මැදිහත්වීමක් කරලා තියෙනවා. පොලිසිය ඇතුළු සියළුම රාජ්‍ය නිලධාරින්ට ඇමැතිවරිය විදිහට මාගේ ස්තූතිය පුදකරනවා," යැයි පෝල් රාජ් ඇමැතිවරිය විසින් සිදුකළ ප්‍රකාශය දැරිය අතුරුදහන් බවට පැමිණිල්ල ලද මොහොතේ සිට සිය වගකීම් නිසි පරිදි ඉටු නොකළ සියළුම රාජ්‍ය නිලධාරින්ට ආශිර්වාදයක් වන බව නම් කිසිදු සැකයක් නැත.

ඇමැතිවරිය දුටු "සිදුනොවුණු නපුර"

සිද්ධියේ අපරාධමය සහ නෛතික ස්භාවයත්, ප්‍රේමය පිළිබඳ නිර්වචනත් අපුරුව ලෙස  ගෙනහැර පාමින් මහනුවර මහා රෝහල් පරිශ්‍රය  ඉදිරියේ සිට දිගු වේලාවක් බොහෝ හැඟුම්බරව මාධ්‍යයට අදහස්  දක්වන ලද, කැළණිය විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යා උපාධිධාරිනී සරෝජා සාවිත්‍රි පෝල් රාජ් ඇමැතිවරිය විසින් සිදු නොවුණු එහෙත් සිදුවිය හැකි "නපුර" පිළිබඳව අවධාරණය කරනු ලැබුවේ, එවැනි නපුරු සිදුවිය හැකිව තිබුණේ වගකීම් කරහැරි රාජ්‍ය නිලධාරින් නිසා යැයි වචනයකින් හෝ හෙළි නොකර සිටින්නට ද පරෙස්සම් වෙමිනි.

"සිද්ධ නොවිච්ච නපුර දකිනවද? වැරදිලා හරි මල් කපන පිහියකින් සිදුකර ගත්ත සැත්කම්වලින් විෂබීජයක් ගිහින් යම් විදිහක ආසාත්මික තත්වයක්, ආසදනයක් ඇතිවෙලා මව මියගියා නම් ඔය කැළය ඇතුලේ මොකද්ද තත්වය? මේ දරුවා මිය ගියා නම් ඇතිවන තත්වය. එහෙම නැත්නම් සංකූලතාවය නිසා දරුවාට විකෘති තත්වයක්, ආසාදිත ඇති වුණා නම්... මේ ඔක්කෝම සිදු නොවුණු නපුරු. එහෙම වුණා නම් මේ තත්වය මෙයට වඩා භයානක තත්වයකට යන්න තිබුණා. මේවා සම්මත දේ නෙමෙයි. ගෝ‍ත්‍රි , ම්ලේච්ඡත්වය  කරා සමාජය ආපස්සට ගමන් කරන්න අපි ඉඩ දෙන් නෑ," යි ඇය හීන් සිරුවට දේශපාලනය ද ඇඳා ගනිමින් එසේ පැවසුවද, ඇයම පැවසු සිදුවන්නට ඉඩ තිබුණු නපුර සිදුවුවද , නොවුණ ද එය බාලවයස්කාර ගැබ්බර දැරිවියක්  පස් මාසයකට අධික කාලයක් අතුරුදහන්ව සිටින්නටත්, එයටත් පෙර සිටම ඇය ගැබ්බරව සිටින බව දැන හෝ අවබෝධයෙන් සිටිය දෙමාපියන් ප්‍රමුඛ සියළුම වගකිව යුතු අයද,    ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින් ද ඇතුළු පාර්ශවයන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ගයන් කවරක් දැයි විමසා සිටින්නට කැමැත්තෙමි.

දැරිය පත්ව සිටි තත්වය මුල් අවස්ථාවේම හඳුණාගෙන එයට නිසි විසඳුම් ලබා දුන්නේ නම් ඇතැම් විට අද දවසේ රටටම පුවත් මවන්නක් බවට පත්ව තිබෙන  මේ අවලස්සන සිදුවීම් දාමය මේ ආකාරයෙන් කතා කරන්නට ඉඩක් නොලැබෙන්නට ද ඉඩ තිබුණි. දැරිය  අපයෝජනය වී ඇති බව සත්‍යයකි. එහි විවාදයක් නැත. එය සමූහ ද නැතිනම් තනි පුද්ගලයකු ද යන බව තීරණය කළ හැකි වන්නේ මාධ්‍යකරුවන්ටවත්, පොලීසියටවත්, දේශපාලකයන්ටවත් එසේත් නොවන්නේ නම්  තැන තැන දොඩවන ඕපාදූපකාරයන්ටවත් නොවේ. එය අධිකරණ වෛද්‍ය හෝ නාරිවේද විෂයෙහි  සුදුසුකම් ලත් විශේෂඥවරයකු හෝ වරියක සතු කාර්යභාර්යකි. අධිකරණය විසින් පිළිගන්නේ ම විශේෂඥ මතය පමණක්ම වන අතර අවම වශයෙන් සිද්ධියට වගකිව යුතු සැකකරු හෝ පුද්ගලයා විසින්ම ඒ සම්බන්ධයෙන් පවසන දේ පවා අධිකරණය ඒ ආකාරයෙන්ම සාක්ෂියක් ලෙස සලකා බලන්නේ නැත.

ඇමැතිවරියම පවසනාකාරයට යම් හෙයකින් එම බාලවයස්කාර මවට හෝ ඇගේ කුළුඳුල්   දරුවාට  ප්‍රසුත අවස්ථාවේදි හෝ වෙනයම් මොහොතක "නපුරක්" සිදුවූයේ නම් එහි වගකීම භාර කෙරෙන්නේ මෙම 23 හැවිරිදි තරුණයාට පමණක් ද? උපතින් පසු නිසි කලට ලබා දිය යුත් එන්නත් ආදිය නොදීම නිසා දරුවාට ශාරිරීක සංකූලතාවයක් ඇති වූයේ නම් එහි වරද ද පටවන්නේ එම තරුණ මව් පිය යුවලට ද? එය එසේ සිදු කිරීම ම යුක්ති සහගත ද? ඔවුන් අතින් සිදුව වරද කුමක් වුව යළ යළිත් ඔවුන්ව අනාරක්ෂිත වන්නට ඉඩ හරනු ලැබුවේ ගතානුගතික සමාජය සහ වගකීම් විරහිත රාජ්‍ය නිලධාරි පෙලැන්තිය නොවේ ද? තවත් "නකල්ස් දැරියක්" රටේ කොතැනින් හෝ මතු වන්නට පෙර විසඳුම් සොයාගත යුතු අර්බුද මේවා නොවේද?

සැබෑ ම්ලේච්ඡත්වය කුමක් ද?

සිදුවු වරද සහ අපරාධය පිළිබඳ වගකීම එසේම වුවද දෙමාපියන් ද ඇතුළු සියළු පාර්ශවයන්  ඉන් අනතුරුව හෝ වගකීමෙන් කටයුතු කරනු ලැබුවේ  නම් එම තරුණයාට සිය බාලවයස්කාර ගැබ්බර  පෙම්වතිය රැගෙන රහසින් පලා යන්නට සහ මහා වනයේ දිය බේරෙන ගල්කුලක දිවි පරදුවට තබා දිවි ගෙවන්නට සිදුවන්නේ නැත. දෙමාපියන්, ගුරුවරුන්, ප්‍රදේශයේ ළමා ආරක්ෂක සහ සමාජ සේවා නිලධාරින් මෙන්ම පැමිණිල්ලෙන් අනතුරුව පොලිසිය ද  දැරිය පත්ව සිටි තත්වය නිසි පරිදි හඳුනාගෙන කටයුතු කරනු ලැබුවේ නම් අවම වශයෙන් දැරියට මෙයට වඩා යහපත් පරිසරයක සිය කුළුදුල් දරු ප්‍රසූතිය කරන්න ඉඩ ලැබෙන්නට තිබුණි.

පෝල්  රාජ් ඇමැතිවරිය දැන් කුමක් පැවසුවද ම්ලේච්ඡත්වය  සහ ගෝත්‍රික  බව ඇත්තේ එහිය.  නූගත් තරුණයකුට සිය බාලවයස්කාර ගැබිණි බිරිඳ සමාජ‌  අපවාදයෙන් බේරාගෙන වනයට පලා යන්නට සිදුවීම හැර සමාජ ම්ලේච්ඡත්වයක් තවත් තිබේ ද? තමන් වටේ සිටින පිරිස් ගැන  එවැනි අවිශ්වාසයක් ඔවුන්ට නොතිබුණේ නම්, දෙමාපියන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින්, ගුරුවරුන් ද ඇතුළු සියළු දෙනා තමන්ට උපකාර කරාවි යැයි විශ්වාසයක් ඔවුන්ට තිබුණේ නම් එතරම් අවධානමක් ගෙන වනයට පලා යාවි ද? දැන හෝ නොදැන ඔවුන් විසින් සිදු කළ වරද නිවැරදි  කර ගන්නට ඉඩක් නොතබා ඉන් පසුව  දරුවා පැනි උණුකරන තාච්චියේ නාවනු ලැබුවේ ද, කිතුල් පැනි කපන පිහියෙන් පෙකිණි වැල කැපුවේ ද යන ප්‍රශ්න මතු කරමින් බලධාරින් තමන් නිර්දෝශි අයවලුන් යැයි කියා පාන්නට තැටමුවාට පලක් වන්නේ නැත.

වැදගත් වන්නේ ආටෝපකාරි දේශපාලන කතා නොව ස්ථිරසාර ප්‍රතිපත්තිමය විසඳුම් ය.

අනුරාධපුරයේ පහලොස් වියැති දැරිය අපයෝජනය කළ හේමරතන නාහිමියන් ආරක්ෂා කරන්නට පෙරට ආ බලමුළු පිළිබඳව අපට මතකය. එම දැරියට ගණිකාවක් යැයි ප්‍රසිද්ධියේ අවලාද නැගු දේශපාලකයන්ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක වූ වගක්ද  මේ තාක් අපට අසන්නට ලැබී නැත. දරුවන්ට එරෙහි සැබෑ ම්ලේච්ඡත්වය සහ ඒ ම්ලේච්ඡත්වය ආරක්ෂා කරන දෙබිඩි දේශපාලන තක්කඩිකම නම් එය යි.

එක රටක්, නීති බුසලක්

කෙසේ නමුත් අනෙක් වැදගත්ම කරුණ වන්නේ  පොලිසිය  දරු පවුල අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන විත් එහි රඳවා තබා ගැනීම තෙක්  කටයුතු කරනු ලැබු ආකාරය යි. අපයෝජනයට ලක්වුණු  දරුවකු සිය භාරයට ගැනීමේදි හෝ අත්අඩංගුවට ගැනීමේදී හෝ අනුගමනය කළ යුතු නෛතික කාර්ය පටිපාටියට පොලිසිය බිඳදමා තිබුණේ ඒ සම්බන්ධයෙන් වන ජාතික සහ ජාත්‍යන්තර නියමයන්, ප්‍රමිතීන් මෙන්ම මාර්ගෝපදේශයන් ද උල්ලංඝනය කරමිනි.

බාලවයස්කාර මව සහ ඇගේ බිළිඳිය වනයෙන් පහලට රැගෙන එන අයුරු සහ පසුව පොලීසියේ රඳවාගෙන සිටින අයුරු දැක්වෙන රූප රාමු පසුව හෝ දුටු විට ඒ සම්බන්ධයෙන් සහකම්පනයක් පෝල් රාජ් ඇමැතිවරිය ප්‍රමුඛ රාජ්‍ය බලධාරින්ට  ඇති නොවුණි ද? මින් සති කිහිපයකට පෙර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රමුඛ ආයතන විසින් බාලවයස්කාර දරුවන් රූපවාහිනි සහ ප්‍රසිද්ධි වැඩසටහන් සඳහා යොදා ගැනීමේ ජාතික නියමාන මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දුන් අතර, එයට අනුව දරුවන්ට  ශාරීරික සහ මානසික හානියක් වෙන අයුරින් වැඩසටහන්වලට යොදා ගැනීම නොකළ යුතු වන්නේ ය.

රූපවාහිනි වැඩසටහන්  වලට සම්බන්ධවන දරුවන් වෙනුවෙන් එවැනි නීති තිබෙන්නේ නම්, එයටත් වඩා බරපතල සිදුවීමක්  වන අපයෝජනයක් මත බාල වයස්කාර මවක වූ  දැරියක පිළිබඳ  කතා මවන්නට ඉඩ දී  එම නියාමනයන් උල්ලංඝනය  කළ පොලිසිය ප්‍රමුඛ වගකීම් විරහිත නිලධාරින් සම්බන්ධයෙන්  රාජ්‍ය බලධාරින් ගනු ලබන නෛතික ක්‍රියාමාර්ග මොනවාද? මෙම සිදුවීමේදි  ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අනුගමනය කරන්නේ ද ඉතාම නිහඬ පිළිවෙතකි.

වින්දිත  දරුවන්ගේ ආරක්ෂාව , රැකවරණය සහ පුනරුත්තාපනය සඳහා පොලිස් සහ පරිවාස නිලධාරින් අතර පැවතිය යුතු සම්බන්ධිකරණය පිළිබඳවත් පැමිණිලි සටහන් කරගැනීමේදි අනුගමනය කළ  යුතු රහස්‍යභාවය ආරක්ෂා කිරීමත් පිළිබඳ පොලිස්පති චක්‍රලේඛ පමණක්ම නොව අධිකරණ පුර්වාදර්ශද, නියෝග ද කිහිපයක්ම නිකුත්ව තිබෙන අතර, එයට අමතරව ළමා අපයෝජන සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් නිලධාරින් විසින් අනුගමනය කළ යුතු දැඩි ආචාරධාර්මික සහ බැඳියාවන්ට යටත් මාර්ගෝපදේශ මෙන්ම නියමයන් ද තිබෙන්නේ ය. නමුත්  නකල්ස් දැරිය සම්බන්ධ සිදුවීමේදි  ඒ සියල්ල නොතකා හැර ඇති බව පෙනෙන්නට තිබේ.

එය අමතරව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ද ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන විසින් නිකුත් කර ඇති නියමයන් සහ මාර්ගෝපදේශ මාලාවන් ගණනාවක් ද තිබෙන්නේ ය.ඒ කිසිවක් උඩුදුම්බර පොලිසියේ නිලධාරින් විසින් සැලකිල්ලට ගෙන ඇති බවක් නම් පෙනෙන්නට  නැත.

පොලිසියට වලංඟු නැති රටේ නීතී

ජාතක ළමා ආරක්ෂක අධිකාරියේ වර්තමාන සභාපතිනි, මහාධිකරණ විශ්‍රාමික විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ ප්‍රමුඛ විද්වත් මඩුල්ලක් විසින් සකසා ඇති "ළමයා සම්බන්ධ මාධ්‍ය වාර්තාකරණයේ දී ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය" නැමැති ලියැවිල්ලේ,

‘අභිමානයට සහ පෞද්ගලිකත්වයට ගරු කිරීම’ නම් පරිච්ඡේදයෙහි මෙසේ දැක්වෙයි.

(අ) වාර්තාකරණයේ දී ළමයාගේ අභිමතය , පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීම වැදගත් ලෙස සැලකිය යුතුය

(ආ) වාර්තාකරණයේ දී ළමයා අනන්‍යතාව  හෝ නින්දාවට හා පීඩාවට පත්විය හැකි පුද්ගලිකත්වයන් හෙළිදරව් කිරීමෙන් වැළකිය යුතුය

(ඇ) ළමයා සම්බන්ධයෙන්  තොරතුරු සකස්  කිරීමේ සම්පූර්ණ  ක්‍රියාවලියේදීම ළමා අයිතිවාසිකම් හා ආරක්ෂාව තහවුරු වන බවට සහතික විය යුතුය.

එමෙන්ම එහිම, අපයෝජන සහ අපරාධ වාර්තාකරණය නම්  දෙවැනි පරිච්ඡේදයේ

(අ) වාර්තාකරණයේ දී ළමයාගේ ගෞරවය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම අත්‍යාවශයෙන්ම කළ යුතුය. වින්දිතයන්, සාක්ෂිකරුවන්  හෝ චූදිතයන්ගේ නම්, ඡායාරූප, ලිපිනය, පවුල, පාසල හෝ වෙනත් හඳුනා ගැනීමේ තොරතුරු කිසිවක් හෙළි නොකිරීමට වග බලා ගත යුතුය.

එසේ නම් රටේ කාන්තා හා ළමා ආරක්ෂාව භාර ඇමැතිවරියගේ විෂය පථය යටතේම තිබෙන ආයතනයක් විසින් නිකුත්  කර ඇති එම නියමයන් සහිත මාර්ගෝපදේශ මාලවට අනුව පොලිසිය සහ ඔවුන්ගේ අනුදැනුම මත සිද්ධිය රූපගත කළ, වාර්තා කළ "මාධ්‍යවේදින් " ද  දඬුවම් ලැබිය හැකි වරදක් කර තිබෙන බව පැහැදිලිය. එයට ආධාර අනුබල දුන් පොලිස් නිලධාරින් ද වරදක් කර ඇති බව පැහැදිලි ය.  එම නියමයන් උල්ලංඝණය කිරීම, ළමුන් සම්බන්ධ නොසැලිකිලිමත් මාධ්‍ය වාර්තාකරණය එයට ආධාර අනුබල සැපයීම දණ්ඩ නීතී සංග්‍රහයේ 365 c ,වගන්තිය ප්‍රකාරව සිරදඬුවම් ලද හැකි වරදකි.

සාවිත්‍රි පෝල් රාජ් ඇමතිවරිය  රූපවාහිනි කැමරා ඉදිරියට පැමිණ පොලිසිය ට "ලකුණු" දමන්නේ පොලිසිය විසින් කරන ලද මේ සා අනීතික ක්‍රියාවන් නොදැන නම් එය ඇයගේ වරදකි. අනුරාධපුරය අටමස්ථානාධිපතිව සිටි පල්ලේගම හේමරතන නායක හිමියන් විසින් 15 වියැති බාලවයස්කාර දැරිවියක බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ සිදුවීමේදි ද  ඇය හැසිරුනේ මෙවැනිම ආකාරයට වන අතර, එහිදී ද මුල් අවස්ථාවේ විමර්ශන කටයුතු සිදුකළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රසිද්ධියේම අපහසුතාවයට පත්වන අයුරින් පොලිසියට සුදුහුණු ගෑමේ ක්‍රියාවලියක නිරත වූයේ රටම ඒ පිළිබඳව අප්‍රසාධය පළ කරන බවද තැකීමක් නොකරමිනි.

කොටහේන ප්‍රදේශයේ පාසල් දැරිවියක  සිය උපකාරක පන්ති ගුරුවරයාගේ අවමන් සහගත සැලකිලි දරාගත නොහැකිව සියදිවි නසා ගත් අවස්ථාවේදි ඇය හැසිරුනේ එයටත් අන්ත ආකාරයෙන් බව අප දන්නෙමු. සිය දේශපාලන මිතුරන් සහ පොලිසිය ආරක්ෂා කරමින් ප්‍රකාශ නිකුත් කළ  ඇමැතිනි සරෝජා පෝල් රාජ්, සිය දියණිය  අහිමිව වැළපෙමින් සිටි දෙමාපියන් කැඳවා දොස්මුර තැබුවේ තමන්ට සියළු විස්තර සහිත ලිපි ගොනුවක් භාර නොදුන් බවට ද චෝදනා කරමිනි.

අර්බුදයේ ගමන් මග

එහෙත් ඒ සියල්ල මෙම සිදුවීමේ එක් පාර්ශවයක, එක් පැතිකඩක් නියෝජනය  කරන්නක් පමණි. සැබෑ අර්බුදය වන්නේ එයම නොවේ. ඒ වනාහී ගැනිය නොහැකි තරමේ ඉතිහාසගත දැවැන්ත ඛේදවාචකයක නොඑසේ නම් ඔඩු දුවා ඇති ආයතනගත පිළීලයක එක් අංශු මාත්‍රයක් පමණි.

රටේ දිනපතා වාර්තාවන සහ වාර්තා නොවන,  නිල ලේඛනවල සටහන් නොකෙරෙන ළමා අපයෝජන සහ ළමුන්ට එරෙහි සියළු ආකාරයේ හිංසනයන් කෙතරම් ද? ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සංඛ්‍යා ලේඛන වලට අනුව 2026 වසරේ 01.01 සිට 30.09 දක්වා   පමණක් වාර්තා වී ඇති ළමා හිංසන සිදුවීම් සංඛ්‍යාව 7622 කි.එයට  බරපතල අපයෝජන සිදුවීම් 140 ක් සහ නිත්‍යාණුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ පැමිණිලි 146 ක් ඇතුලත් ය. එම කාල සීමාව තුළ මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙන මුළු පැමිණිලි සංඛ්‍යාව  දැක්වෙන්නේ 387 ක් ලෙසිනි.  2026 වසරේ මුල් කාර්තුව තුළදී  පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට වාර්තා වී ඇති සමස්ත ළමා හිංසන පැමිණිලිවලින් වයස අවුරුදු 16 ට අඩු ගැහැනු දරුවන්ව බරපතල ලිංගික හිංසනයට ලක් කිරීමේ සිදුවීම් සංඛ්‍යාව 673 කි. එයම 2025 මුල් මාස 6 තුළදි 1620 කි. ජාතික ළමා ආරක්ෂක  අධිකාරියේ සංඛ්‍යා ලේඛනවලට අනුව  ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන්දි වයින පුරා පිහිටි මහාධිකරණ 34 ක පවරා ඇසෙමින් තිබෙන නඩු සංඛ්‍යාව 4421 කි. නමුත් සැබෑවටම මේ සංඛ්‍යා  ලේඛන සහ ඉලක්කම් විජ්ජාවන්ට වඩා ලංකාවේ සිදුවන ළමා හිංසන විශේෂයෙන්ම ලිංගික අපයෝජන සිදුවීම් ප්‍රමාණය අතිමහත් බව සියල්ලන්ම දන්නා කරුණකි.

එනිසා සිදුවිය යුතු වන්නේ සිදුවීමෙන්, සිදුවීමට කඩුව අරගෙන දිවීම නොව යථාර්තවාදි විසඳුම් ඉදිරිපත් කිරීමය. ඒ්වා බලගැන්වීම ය.ඒ වෙනුවෙන්  පවතින නීති ඉතාම ප්‍රමාණවත් වන අතර, පළමු කොට සිදුවිය යුතු වන්නේ වරදවල් සහ නීතිය පිළිබඳව රටේ දරුවන් ද ඇතුළු සමස්ත පුරවැසි ප්‍රජාවම දැනුවත් කරන්ට කටයුතු යෙදීමයි.

රාජ්‍යයේ වගකීම

අවසානයට අපට පවසන්නට ඇත්තේ ශ්‍රි ලංකාවේ දශක ගණනාවක් පුරා ඔඩු දුවා තිබෙන ආයතනගත ගැටළුවක් වන යුක්තිය නිසි පරිදි ඉටුවීමේ ක්‍රමවේදයක් සැකසීමකින් තොරව මෙවන් ප්‍රශ්නවලට , සමාජ අර්බුදවලට විසඳුම් සෙවිය නොහැකි බවයි. දරුවන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්වන්නට ඇවැසි වටපිටාවක් හදන බවට දේශපාලන මැතිවරණ පොරොන්දු පොත්වලට දැමු පමණින් එය යථාර්තයක් වන්නේ නැති බව රටේ සියළු දෙනා තේරුම් ගත යුතුව ති‌බේ. ළමා හිංසන සහ අපයෝජන පිළිබඳව නඩු විමසන අධිකරණ මෙන්ම නීති පද්ධතියේ වෙනසක්, අධ්‍යාපන ක්‍රමවේද වල වෙනසක්, ලිංගික අධ්‍යාපනය ස්ථිරව විෂය මාලාවන්වලට ඇතුලත් කිරීමක්, දරුවකු හෝ බාලවයස්කාර දැරිවියක ලිංගික හිංසනයකට, අපයෝජනයකට ලක්වු පසුව කැලෑ වැදි සැඟිවීමට අවශ්‍ය නොවන සමාජ වටපිටාවක්, ඒ සඳහා ඇප උපකාරිවන දියුණු ආකල්ප සහිත නිලධාරින් සිටින රාජ්‍ය ආයතන පද්ධතියක් මේ රටට කඩිනමින් උවමනා කර තිබේ. එය කඳුළු පෙරන  වොයිස්කට් දේශපාලනයට වඩා  වැදගත් එකක් වනු ඇත.

එවිට කොටහේනේ දැරියන් උස්මහල්වලින් පැන සිය දිවි නසා නොගනු ඇත. අනුරාධපුරයේ දැරිවියන් බෞද්ධ භික්ෂුන්ගෙන් බේරී සිටිනු ඇත. ගල්කිස්සේ දැරියන් ඔන්ලයින් කාමතුරයන්ගෙන් බේරී සිටිනු  ඇත. රටපුරා පංසල්වල කුඩා පිරිමි දරුවන් නායක හිමිවරුන්ගේ ලිංගික සන්තර්පනයේ ගොදුරු බවට පත් නොවි සිටිනු ඇත. සරෝජා පෝල් රාජ් වැනි ඇමැතිවරියන්ට අගනගරයේ සිට රටපුරා දුවමින්,  කැළැ වදින අසරණ දැරිවියන් වෙනුවෙන් සානුකම්පිත ස්වරයෙන් වොයිස්කට් දෙන්නට ද සිදු නොවුණු ඇත.

(සටහන | කේ .විජේසිංහ)
මාධ්‍යවේදී

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...