මණ්ඩලයට කිසිදු සේවයක් නොකර ලොතරැයි අරමුදල් නාස්ති කිරීම ගැන 'දූෂණය' යටතේ නඩු
විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට; සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප අවලංගු වන බවට දැඩි අවවාද
ජාතික ලොතරැයි මණ්ඩලයේ (NLB) ප්‍රතිපාදන අවභාවිත කරමින්, එහි අනුමත ධූරාවලියට පරිබාහිරව පත්කළ නිලධාරීන් තිදෙනෙකු එවකට මුදල් අමාත්‍ය රවි කරුණානායක ගේ පුද්ගලික කාර්ය මණ්ඩල සේවය සඳහා අනුයුක්ත කර රජයට මූල්‍ය අලාභයක් සිදුකිරීමේ දූෂණ චෝදනාව මත එහි හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අද අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණි.
අනුමත ක්‍රමවේදයෙන් බැහැරව කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීම් සිදුකරමින් රාජ්‍ය ආයතන සතු අරමුදල් මඟින් වැටුප් හා දීමනා ගෙවීම 'දූෂණය' නමැති වරද යටතට වැටෙන බව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ අවධාරණය කළේය.
අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ විමර්ශන කරුණු
නීති විරෝධී බඳවාගැනීම්:
ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුමත ධූරාවලියේ නොමැති තනතුරක් සඳහා සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙකු සහ අනුමත ධූරාවලියේ පුරප්පාඩු නොමැතිව එක් කළමනාකරණ සහකාර නිලධාරියෙකු වශයෙන් තිදෙනෙකු කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන තිබේ.
ඇමති කාර්ය මණ්ඩලයට සේවය:
මෙලෙස පත්කළ නිලධාරීන් තිදෙනා මණ්ඩලය වෙත කිසිදු සේවයක් ඉටු කර නොමැති අතර, ඔවුන්ව ඍජුවම යොමු කර ඇත්තේ එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක ගේ කාර්ය මණ්ඩල සේවයටයි.
රාජ්‍ය දේපළ අවභාවිතය:
ලොතරැයි මණ්ඩලයට කිසිදු ශ්‍රම දායකත්වයක් නොදුන් මෙම පුද්ගලයන් තිදෙනා වෙනුවෙන් මාසික වැටුප් සහ සියලු දීමනා ගෙවා ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලයේ රාජ්‍ය ප්‍රතිපාදන භාවිත කරමිනි.
අත්අඩංගුවට ගැනීම සහ ඇප කොන්දේසි
පැලවත්තේදී අත්අඩංගුවට:
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විශේෂ විමර්ශන අංශය විසින් අද (30) පෙරවරුවේ ජයන්ති මාවත, විජිතපුර, පැලවත්ත ලිපිනයේදී හිටපු සභාපතිනිය අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
ඇප නියෝගය:
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම, සැකකාරිය රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.
විදේශ ගමන් තහනම:
සැකකාරියගේ විදේශ ගමන් වහාම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා, ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණ භාරයට ගැනීමට නියෝග කළ අතර, ඇප මත සිටින කාලය තුළ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසට දැඩි ලෙස අවවාද කළේය.




