පළාත්බද වාර්තාකරුවන් පවසන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම ජුලි 6 වැනිදා සිට ජුලි 8 වැනිදා දක්වා වු දින තුන තුළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කරන බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් දෙමාපියන් කිහිප දෙනකු වෙත ලිඛිතව දන්වා ඇති බවයි.
OMP නමින් හදුන්වන 2017 සිට ක්‍රියාත්මක වන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිළිබඳ දැඩි අවිශ්වාසය පලකරමින් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් වෙනුවෙන් ජාත්‍යන්තර යුක්තිය ඉල්ලා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට අම්මාවරුන්ගේ විරෝධතාවට දෙමළ දේශපාලනඥයන් හා බහුජන ක්‍රියාකාරීන් ද සහාය පළ කර තිබුනි.

ජාත්‍යන්තර පරීක්ෂණයක් අපිට ඕන, අපේ ඥාතීන් අපිට ඕන, හමුදාව විශ්වාස කරලා බාර උනු අපේ දරුවන් අතුරුදහන් උනේ කොහොමද, නවත්වනු, නවත්වනු වර්ග සංහාරය නවත්වනු ආදී සටන් පාඨ එහිදී හඬ නැගුණි.
ශ්‍රී ලංකාව පුරා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට ලැබී ඇති විසි දෙදහසකට ආසන්න පැමිනිලි අතුරින් උතුරු නැගෙනහිර දෙපළාතෙන්ම ලැබී ඇත්තේ පැමිනිලි හය දහසත්, හත් දහසත් අතර ප්‍රමාණයක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා යුද වින්දිතයන් සමග පසුගියදා යාපනයේ දී පැවැති සාකච්චාවේදී දැනුම් දුන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) සභාපති නීතිඥ මහේෂ් කටුලන්ද එදින වැඩි දුරටත් ඉල්ලා සිටියේ තවමත් පැමිණිලි නොකළ පිරිසක් උතුරු නැගෙනහිර සිටීනම් ඒ සම්බන්ධයෙන් සිය ආයතනය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිටදී දියත් කළ විරෝධතාවයට නායකත්වය දුන් බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් නායිකා අමලනායගී අමල්රාජා මාධ්‍යවේදීන් හමුවේ සදහන් කළේ අතුරුදහන් කර ඇති සිය සමීපතමයන් සම්බන්ධයෙන් කොමිෂන් සභා 12 ක් වෙත ඥාතීන් සාක්ෂි ලබා දී ඇතත් ඔවුන්ට තවමත් යුක්තිය ඉටු වී නොමැති බවයි.
“ආරක්ෂක අංශවලට භාරදුන්න අපගේ ඥාතීන්, දරුවන්, කුඩා ළමුන්ට වගේම සුදු වෑන්වලින් පැහැරගෙන ගිය අපගේ ඥාතීන්ට මොනවාද වුණේ කියන ඇත්ත කියන්න ඕනේ. සාක්ෂිකරුවන් විදිහට අපි ඉඳලත්, මේ වෙනකම් අපගේ සාක්ෂි කොමිෂන් සභා 12කින් අරන් තියෙන්නේ, දත්තවලට විතරයි. ඒ දත්ත අරගෙන අපට යුක්තිය ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා. ඔවුන්ට මොනවාද වුණේ කියලා අපට දැනගන්න අවශ්‍යයි. ඊළඟ අදියරට යන්න අපගේ ඥාතීන්ට මොනවාද වුණේ කියන ඇත්ත දැනගන්න ඕනේ. වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන්න ඕනේ.එහෙම කළොත් තමයි අපගේ හිතට සැනසීමක් ලැබෙන්නේ. එහෙම කරන්නේ නැතිව මුදල් චෙක් දීලා 'අමතක කරමු.. සමාව දෙමු..' කියලා ඉන්න අපි නැති කරගත්තේ සත්තු, බඩුමුට්ටු, රන් ආභරණ නෙවෙයි. අපිට අහිමි වුණේ, වටිනාකමක් නැති මිනිස් ජීවිත.”


උතුරේ දියත් කළ සිවිල් යුද්ධය 2009 මැයි මාසයේ ලේ වැකී අවසන් වූ දා සිට තම ස්වාමිපුරුෂයන්, දියණියන්, පුතුන්, සහෝදරයන් ඇතුළු නෑසියන් සොයමින් 2017 වසරේ මුල් කාර්තුවේදී උතුරු නැගෙනහිර දෙපළාතේ දිස්ත්‍රික්ක අට පුරා විරෝධතා ආරම්භ කළ දෙමළ දෙමාපියන් අතුරින් අඩුම වශයෙන් 400 දෙනකු මේ වන විටත් යුක්තිය නොලබාම මිය ගොසිනි.
යුද්ධාවසානයේ රජයේ හමුදාවට භාරවීමෙන් පසු බලහත්කාරයෙන් අතුරුදහන් කර ඇති හා බලහත්කාරයෙන් පැහැර ගෙන ඇති සිය ඥාතීන්ට රටතුල යුක්තියක් ඉටුවී නැති බවට චෝදනා කරන බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමය ඉකුත් දාහත් වසරකට ආසන්න කාලයක් තිස්සේ එක් හඩින් ඉල්ලා සිටියේ සිය සමීපතමයන්ට යුක්තිය සදහා ජාත්‍යන්තර මැදිහත්වීමකි.




