ඩඩ්ලිගේ රබර් - සහල් ගිවිසුමේ සිට පෝට් සිටිය දක්වා දිවෙන දශක 7ක නොබිඳුණු එජාප - චීන බැඳීම
'එකම චීනයක්' (One China Policy) ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව කිසිදු පැකිලීමකින් තොරව ආරක්ෂා කරන බවට යළිත් සහතිකයක්
ලෝකය දැවැන්ත භූ දේශපාලනික සහ ආර්ථික පරිවර්තනයකට ලක්වෙමින් පවතින පසුබිමක, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ පැහැදිලි සංඥාවක් එක්සත් ජාතික පක්ෂය (UNP) විසින් නිකුත් කර තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂය (CCP) පිහිටුවා වසර 105ක් සපිරීම නිමිත්තෙන් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී ඊයේ (01) පැවති විශේෂ සංවත්සර උළෙල අමතමින් එජාප සභාපති වජිර අබේවර්ධන මේ බව අවධාරණය කළේය.
පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නියෝජිතයා ලෙස ඔහු මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුවට එක්විය.
ඓතිහාසික මුල් සහ රබර්-සහල් ගිවිසුම
චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව හුදු මෑතකාලීන ආර්ථික ගනුදෙනුවක් නොවන බව වජිර අබේවර්ධන, සිය දේශනයේදී විශ්ලේෂණාත්මකව පෙන්වා දුන්නේය.
පාහියන් හිමිගේ සිට ඩඩ්ලි දක්වා:
බුදු දහම සොයා පාහියන් හිමියන් ලංකාවට පැමිණි යුගයේ සිට පැවතෙන මෙම මිත්‍රත්වය, නූතන දේශපාලන ඉතිහාසය තුළ ස්ථාවර වූයේ 1952 වසරේදී ය.
තීරණාත්මක මැදිහත්වීම:
වෙනත් කිසිදු බටහිර රාජ්‍යයක් චීනය සමඟ ගනුදෙනු කිරීමට මැළිවූ සීතල යුද වකවානුවක, එවකට අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගේ රජය විසින් අත්සන් කරන ලද ඓතිහාසික රබර්-සහල් ගිවිසුම, දශක හතකට වැඩි කාලයක් පුරා පවතින අන්‍යෝන්‍ය විශ්වාසයේ ප්‍රධානතම අඩිතාලම බව ඔහු සිහිපත් කළේය.
කොන්ක්‍රීට් ස්මාරක සහ ආර්ථික ගැලවුම්කරුවා
චීන රජයේ ත්‍යාගශීලීභාවය සහ ආයෝජන ශ්‍රී ලංකාවේ ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති හරහා සෘජුවම පිළිබිඹු වන බව එජාප සභාපතිවරයා පෙන්වා දුන්නේය. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH), ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, නෙළුම් පොකුණ මෙන්ම දකුණේ ජනතාව ගංවතුරෙන් බේරාගත් 'ගිං ගඟ' ව්‍යාපෘතිය ද චීන ත්‍යාගයන් ය.
මීට අමතරව, මෑතකාලීන ආර්ථික සහයෝගීතාවයේ සන්ධිස්ථාන කිහිපයක් ද මෙහිදී අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම සෘජු විදේශ ආයෝජනය වන කොළඹ වරාය නගරය (Port City) සහ 'එක් තීරයක්, එක් මාවතක්' (Belt and Road Initiative) වැඩපිළිවෙළේ මූලික හවුල්කරුවෙකු ලෙස ලංකාව එක්වීම.
2022 මූල්‍ය අර්බුදය: රට දැඩිම ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේදී, ආර්ථිකය යළි ගොඩනැගීමේ ක්‍රියාවලියට චීනය ලබාදුන් පෙරමුණේ සහාය.
භූ දේශපාලනික ස්ථාවරය: 'එකම චීනයක්'
වර්තමාන ගෝලීය අවිනිශ්චිතතාවයන් හමුවේ වුවද, ලෝකයෙන් හුදෙකලා වීම වෙනුවට විවෘතභාවය (Openness) තෝරාගත් ජනාධිපති ෂී ජින්පින්ගේ දැක්ම වජිර අබේවර්ධන ගේ දැඩි ප්‍රශංසාවට ලක්විය.
එහිදී ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාවේ නිල ස්ථාවරය නැවතත් තහවුරු කරමින් ඔහු අවධාරණය කළේ, 'එකම චීන ප්‍රතිපත්තිය' (One China Policy) වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකාව කිසිදු පැකිලීමකින් තොරව සැමවිටම පෙනී සිටින බවයි.




