ලොව අටවැනි පුදුමය ලෙසත්, විශ්මයජනක නිර්මාණයක් ලෙසත් ලොව පුරා ප්‍රකටව පවතින සීගිරිය ලෝක උරුමයක් ලෙසත් හැඳින්වෙනවා.
මේ කතාව සීගිරියේ විශ්මිත බව ගැන නොව, සීගිරිය වටා ක්‍රියාත්මක වෙන බරපතල මාෆියාවක විශ්මිත බව ගැනයි.
කොටින්ම ලෝක උරුමය ලෝක කරුමයක් බවට පත් කරන ආකාරය ගැනයි.
දෙස්, විදෙස් සංචාරකයන් හූරාගෙන කන කාලකණ්ණි මාෆියාවක් සීගිරිය අවට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් අතිමහත් බහුතරයක් සීගිරිය නැරඹීමට ගියද, එම සංචාරකයින් ඒ අවට දින දෙක තුනක් රඳවා ගැනීමට හැකි කිසිදු සංචාරක වැඩපිළිවෙලක් එහි ක්‍රියාත්මක වන්නේ නැහැ.
සීගිරියට පැමිණෙන සංචාරකයන් දින දෙක, තුනක් නතර කර ගැනීමට සංචාරක ආකර්ශනීය වැඩසටහන් දියත් කිරීමට සැලසුම් කළ ද පරිසර සංවිධාන, වනජීවී, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ පොලිසිය අකුල් හෙළන බව ප්‍රදේශවාසීන් පවසනවා.
1983 වර්ෂයේදී සීගිරි ගලේ නැඟීමට විදේශීය සංචාරකයකුගෙන් අය කර ඇත්තේ රුපියල් 30යි. අද ඩොලර් 30යි.
විදේශිකයො මාස ගණනාවක් රස්සාව කර මුදල් එකතු කරගෙන දින දහහතරක් වැනි කෙටි කාලයක් සුන්දර රටක සංචාරයක නිරතවනුයේ විනෝද වීමට මිස වෙනත් කිසිවකට නොවේ.
සීගිරි ගල නැරඹීමට නිකුත් කරන ප්‍රවේශ පත්‍රවලින් පමණක් දිනකට කෝටියකට වැඩි ආදායමක් ඉපයූවද ඒ ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා කිසිදු දායකත්වයක් ලබාදෙන බවක් පෙනෙන්නට නැහැ.
අඩුම තරමේ මාර්ගෝපදේශයක් ලබාදෙන දැන්වීම් පුවරුවක් හෝ සීගිරියේ මාර්ග අද්දර නැහැ.
එපමණක් නොව සීගිරියට පැමිණෙන සංචාරකයන්ට ටොෆි කොළයක් බහාලීමට තරම් ලොව අට වන පුදුමය යට කසළ බඳුනක් හෝ නැහැ.
වාහන නැවතුමේ සිට සීගිරි ගල ළඟට ත්‍රීවීල් ගාස්තුව රුපියල් 700ක් වෙන අතර සීගිරි ගල වටේ යෑමට ත්‍රීවීල් ගාස්තුව රුපියල් 8000ක් අය කරනවා.
මේ අතර ත්‍රීවීල් රියැදුරන්ට, දේශීය සංචාරකයන්ව හූරගෙන කන්න ක්‍රමවේදය සකසා තියෙන්නෙ සීගිරිය පාලන අධිකාරියම බව ප්‍රකට රහසක් බවට පත්ව තිබෙනවා.
තමන් පැමිණෙන වාහනයකින් සීගිරිගල ආසන්නයටම යෑමට හැකියාව තිබියදී දැන හෝ නොදැන පාලනාධිකාරිය අවට සිටින ත්‍රීවිල් මාෆියාවට අවශ්‍ය පරිදි කටයුතු සිදු කරමින් තිබෙනවා.
සීගිරි ගල තරණය කිරීමට නොහැකි විදෙස් සංචාරකයින් ඒ ගල මුදුනට රැගෙන යාම සඳහා කිහිපදෙනෙක් සිටින අතර ඔවුන් ඒ සඳහා සංචාරකයින්ගෙන් රුපියල් දස දහසකට වැඩි මුදලක් අය කරනවා.
ඒ කටයුත්තට සංචාරක මග පෙන්වන්නන්ද සහයෝගය ලබා දෙනවා.
සහමුලින්ම සීගිරිය හා ඒ අවට තදාසන්න ප්‍රදේශ ත්‍රී රෝද රියදුරන්ගේ ග්‍රහණයට සහ මාෆියාවට හසුවී තිබෙන බව ප්‍රකට රහසක්.
මෙතරම් සංචාරකයින් පිරිසක් පැමිණියත්, ලෝක උරුම නිර්මාණයක් පිහිටා තිබෙන ගම අදටත් දුප්පත්කමේ කරවටක් ගිලී තිබෙනවා.
සංචාරක ව්‍යාපාරය හරහා මෙරටට කෝටි ප්‍රකෝටි ගණන් ආදායම එකතු කළ හැකි වුවත් ඒ සඳහා පුරවැසි විනයක් සහිත අණ පනත් සම්මත කර ගැනීම නොවළහාම කළ යුත්තක්.
එසේ නොවුනහොත් ලෝක උරුමය ලෝක කරුමයක් වනු නොවනුමානයි.
සංචාරක අමාත්‍යතුමනි, සංස්කෘතික අමාත්‍යතුමනි, මේ ඔබතුමන්ලාගේ අවධානයට.



