විශේෂ විමර්ශනයක් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ලංකා බැංකුවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුම එම බැංකුවේ ගනුදෙනු කරුවන්ව සිටින කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයන් වෙත අයුතු බලපෑම් කරමින් බැංකු පහසුකම් ලබා දීමට සංතෝසම් බලාපොරොත්තු වීම, එම ව්‍යාපාරයන් සඳහා මෙම නිලධාරීන්ගේ හිතමිතුරු අනෙක් ව්‍යාපාරිකයන් කොටස් කරුවන් ලෙස සම්බන්ධ කරවීමට, විදේශීය බහුජාතික සමාගම් සමඟ සම්බන්ධ කරවීම වැනි උත්සාහයන කිහිපයක් වාර්තා වී ඇත.
මෙම අයුතු බලහත්කාරී යෝජනා සඳහා එකඟ නොවුණු ව්‍යාපාරික ආයතන වලට ණය පහසුකම් ලබා දීම වැනි බැංකු කටයුතු සඳහා සහය නොදැක්වීම මෙන්ම එම ව්‍යාපාර කඩා ඉහිරවා දැමීමේ කුමන්ත්‍රණකාරී කටයුතු වල මෙම නිලධාරීන් යෙදෙමින් සිටින බවත් දැන ගැනීමට ඇත. මෙම ඉහළ නිලධාරීන් කල්ලි ගැසී සංවිධානාත්මකව මේ ජාවාරම්කාරී කටයුත්තෙහි යෙදෙන බවත් වැඩිදුරටත් දැන ගැනීමට තිබේ.
ලංකා බැංකු ඉතිහාසය තුළ මෙවැනි තත්වයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන බව අපට අදහස් දැක්වූ දේශීය ව්‍යාපාරිකයෝ සඳහන් කරති.
ප්‍රධාන විධායක නිලධාරි රසල් ෆොන්සේකා
මේ අතර වර්තමානයේ ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරන රසල් ෆොන්සේකා සම්බන්ධයෙන් ද චෝදනා රැසක් එල්ල වී ඇත. මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි ලෙස ඔහු 2023 ජනවාරි මාසයේ දී පත්වීම ලැබු අතර ඔහු තවදුරටත් එම තනතුරේ සිටින්නේ ඔහුට ලංකා බැංකු ඉතිහාසයේ මුල්ම වරට සේවා දිගුවක් ලැබ කොන්ත්‍රාත් පදනම මත සිටින නිලධාරියකු ලෙස බවට වාර්තා වේ. ඒ කෙසේ නමුත් සේවා දිගුව ලැබීමට පෙර මාසිකව රු ලක්ෂ 4 ක පමණ වැටුපකට හිමිකම් කිව් ඔහු සේවා දිගුවෙන් පසුව ලක්ෂ 20 ක පමණ දීමනාවකට හිමිකම් කියන බවත් පැවැසේ.
තමන් ලබා ගන්නා වැටුපේ තරමට ලංකා බැංකුවේ උන්නතිය සහ බැංකුවේ මෙහෙවර සම්බන්ධයෙන් ඔහුගෙන් නියමිත සේවාව ඉටු නොවෙන බවට එල්ල වී තිබෙන චෝදනා ද රැසකි. විශේෂයෙන්ම ලංකා බැංකුවේ පළපුරුදු ජේෂ්ඨ නිළධාරීන් ගනනාවක් සිටිය දී ඉහළ තනතුරු සඳහා තමන්ට හිතවත් කණිෂ්ඨ නිලධාරීන් පත් කිරීම ගැන මේ වන විටත් වෘත්තීය සමිති වල විරෝධය එල්ල වී ඇත. තම හිතවත් නිලධාරීන්ට නියමිත ක්‍රියා පටිපාටියෙන් ඔබ්බට ගොස් වසරක් පසා උසස්වීම් ලබා දෙමින් ඉහළ තනතුරුවලට පත් කිරීම් කිහිපයක්ම සිදු කර තිබේ.
මේ වන විට ලංකා බැංකුවේ ජේෂ්ඨතම නිලධාරීන් පස්දෙනා ලෙස සැලකෙන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (Branch Operations) පියල් සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( International, Treasury & Investment ) ජයශාන්ත ගොඩකන්ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (Product Development) ජේ. ඒ. ජයතිලක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (Dgm Branch Credit and Development Banking) ආර්. එම්. එන් ජීවන්ත, නිලන්ත මෙනේරිපිටිය (CRO) යන දක්ෂ නිලධාරීන්ට බරපතල අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බව වෘත්තීය සමිතිවල අදහසය.
ලංකා බැංකුවේ මහා කළමනාකරු රසල් ෆොන්සේකා ගේ මෙම අසාධාරණ ක්‍රියා කලාපයත් ඔහු විසින් ඉහළ තනතුරුවලට පත්ව සිටින ඇතැම් නිලධාරීන්ගේ නුසුදුසුකම් සහ දූෂණ අක්‍රමිකතාත් නිසා මේ වන විට ලංකා බැංකුව කෙරෙහි ගනුදෙනු කරුවන්ගේ විශ්වාසය පළදු වෙමින් තිබෙ.

ලංකා බැංකුව ඔවුන් විසින්ම හඳුන්වා ගන්නෙ ජාතියෙ පහන් ටැඹ ලෙසය. එයට සාධාරණ හේතු තිබේ. එය මෙරට විශාලම බැංකු සේවාව සපයයි. රට පුරා සහ විදේශයන් හී වැඩිම ශාඛා ප්‍රමාණයක් සහ ඉතුරුම් වැඩිම ප්‍රමාණයක්, ණය වැඩිම ප්‍රමාණයක් ලබා දෙමින් මෙරට ආර්ථිකයේ උන්නතියට දශක 8 ත් පුරා දායක වී ඇති බැවිනි.
ලංකා බැංකුව මේ තැනට පත් වූයේ විශිෂ්ට නිලධාරීන් වෙතින් එය මනාව කලමණාකරණය වූ නිසාය. ලංකා බංකුවෙහි අරමුණු වෙනුවෙන් අවංකව කැපවුන නිලධාරීන් සිය සේවය මනාව ඉටු කරමින් මෙරට ජනතාවට උපරිම සේවාවක් ලබා දීම සිදු නොවුනා නම් රජයෙ සෙසු බොහෝ ආයතන මෙන්ම මෙම රාජ්‍ය බැංකුවද පාඩු ලබමින් බංකොලොත් විය හැකිව තිබිණි.

කෙසේ නමුත් ඉතිහාසය පුරා දේශීය ව්‍යපාරිකයන් නංවාලීම වෙනුවෙන් අගනා මෙහෙවරක යෙදුනත් වර්තමානයේ ලංකා බැංකුවේ ඉහළ තනතුරු වල සිටින ඇතැම් නිලධාරීන් තමන්ගේ හිතවතුන්ට එක් ආකාරයකටත් අනෙක් පිරිසකට තවත් ආකාරයකටත් සලකමින් කටයුතු කිරීමත් සහ සහ ජාවාරම් වලට සම්බන්ධ වීම නිසා මේ වන විට දේශීය ව්‍යාපාරිකයන් රැසක් සිය ව්‍යාපාර කරගෙන යාමට නොහැකිව පීඩාවට පත්ව සිටී. ජාතියේ පහන් ටැඹ, ජාතියට වින කරන තැනට පත්වෙමින් තිබේ.
ලංකා බැංකුවේ මෙම දෙබිඩි සහ තුච්ච සැලකීම් හමුවේ ඇතැම් ව්‍යාපාරික ආයතනය ලංකා බැංකුව සමඟ වන ගනු දෙනු තාවකාලිකව අත් හිටුවීමට පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් මේ වන විටත් ජනාධිපතිවරයාට සහ අදාල බලධාරීන් වෙත මෙම දුෂිත නිලධාරීන් ගැන පැමිණිලි ගනනාවක් ලැබී තිබෙන අතර මේ සම්බන්ධයෙන් රජය නිසි ක්‍රියා මාර්ග ගැනීම සිදු වෙනු ඇත බව අප බලාපොරොත්තු වන අතර එහි වර්ධනයක් සලකා බලා මෙම දුෂිත නිලධාරීන්ගේ වතගොත සහ දූෂිත ක්‍රියාමාර්ග ගැන තොරතුරු සාක්ෂි සමඟ හෙළි කිරීමට අප බලාපොරොත්තු වෙමු.
ලංකා බැංකුවේ තමන්ගේ වෙබ් අඩවියෙහි සිය අරමුණු සහ මෙහෙවර ගැන සඳහන් කර ඇත්තේ , ''..අපි ආරම්භයේ සිට ම ගනුදෙනුකරුවන්ගේ වඩාත් කැමැත්ත දිනා ගත් මුල්‍ය සහකරු බවට පත් වීමේ අරමුණ ඇති ව අඛණ්ඩව ක්‍රියාත්මක වන්නෙමු. එමෙන්ම අපි අපගේ සියලු පාර්ශවකරුවන් සඳහා වටිනාකම් නිර්මාණය කරමින් සැමට තිරසාර ප්‍රතිඵල ලබාදීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන අතර, නව්‍ය අදහස් හා සියලු ශක්තීන් ඒකරාශී කරගනිමින්, සෑම තරාතිරමක ම ශ්‍රී ලාංකිකයින් වෙත සමානව සලකමින් ඔවුන්ගේ සියලු මූල්‍ය අවශ්‍යතා සඳහා අඛණ්ඩව හා සමානාත්මතාවයෙන් යුතුව සේවා සපයන්නෙමු...
....අපගේ ගනුදෙනුකරුවන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා පිළිබඳව ඉතා හොඳින් අවබෝධ කර ගනිමින්, එම අවශ්‍යතා සඳහා නිසි විසඳුම් ලබා දීම සඳහා අපි නව තාක්ෂණය වෙනුවෙන් නිරන්තරයෙන් ආයෝජනය කරන අතර, කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා දක්ෂ වෘත්තිකයින් සේවයේ පිහිටුවීමට කටයුතු කර ඇත්තෙමු...'' යනුවෙනි.
එහෙත් දූෂිත නිලධාරීන් තමන්ගේ කුමක් හෝ පෞද්ගලික වාසියක් තකා සිදුකරන ජාවාරම්කාරී කටයුතු වලින් සිදුව ඇත්තේ රටේ ප්‍රධානතම රාජ්‍ය බැංකුව කෙරෙහි ජනතාවගේ ඇති විශ්වාසය පළුදු වීමය. බැංකුව බංකොලොත් වන තැනට පත් කිරීමය.
ලංකා බංකුව මෙතරම් පහත් නින්දිත තැනට ඇද දැමීමට කටයුතු කරන මෙවැනි ඉහළ නිලධාරීන් නිසා හානි වන්නෙ බැංකුවේ කීර්තියට සහ විශ්වාසයට පමණක් නොවේ. මෙවැනි තුට්‍ටු දෙකේ වැඩ කරන නිලධාරින්ට රාජ්‍ය යාන්ත්‍රණය විනාශ කළ හැකිය. රාජ්‍ය යාන්ත්‍රණය දුෂණයට වංචාවට අකාර්යක්ෂමතවයට ගොදුරු වන්නේ මෙවැනි නිලධාරීන් නිසාය.

ලංකා බංකුවේ නිලධාරීන්ට මේ රටෙ ආර්ථික ක්‍රියාවලිය අඩපණ කිරීම ද කළ හැකිය. ලංකා බැංකුව මෙරට ආර්ථික ක්‍රියාකාරකම් වලින් සියයට 30 ක පමණ ප්‍රමාණයකට බලපෑමක් කළ හැකි මුල්‍ය ආයතනයක් ලෙස සැලකේ. මේ නිසා වත්මන් තත්වය අතිශය අනතුරු දායක තැනකට පත්ව ඇත.
වත්මන් රජය මෙරට අපනයන කර්මාන්තය, නවොත්පාදනය, කෘෂිකර්මාන්තය ආදී ක්ෂේත්‍ර වේගවත් දියුණුවක් කරා ගෙන යාම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් දියත් කරමින් වෙහෙස වුණත් ඒ වෙනුවෙන් ඉහළම සහයෝගයක් දැක්විය යුතු රටේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව මෙලෙස කටයුතු කරද්දී කවුරු ආණ්ඩු කළත් රට නම් දියුණු කළ නොහැක.




