BREAKING
Top Ad
Red Alert

ඉන්දීය සමාගමකට පැවරූ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ විසඳා ගත යුතු ගැටලු 22 ක් ; e–NIC ව්‍යාපෘතියේ වැ.බ. අධ්‍යක්ෂගෙන් ඩිජිටල් ආර්ථික ලේකම්ට ලිපියක්

T

The Leader

August 4, 2025 • 12:34 AM

ඉන්දීය සමාගමකට පැවරූ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ විසඳා ගත යුතු ගැටලු 22 ක් ;  e–NIC ව්‍යාපෘතියේ වැ.බ. අධ්‍යක්ෂගෙන් ඩිජිටල් ආර්ථික ලේකම්ට ලිපියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ සුහුරු රාජ්‍යකරණය සඳහා වන ජාතික ආයතනය (NIGS) හරහා මේ වනවිට කළමනාකරණය කෙරෙන ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත (SL – UDI) ව්‍යාපෘතිය සඳහා වන ටෙන්ඩර් ක්‍රියාවලිය හේතුවෙන් නිරාකරණය කරගත යුතු වැදගත් කරුණු 22 ක් පිළිබඳව විමසා e – NIC ව්‍යාපෘතියේ වැඩබලන අධ්‍යක්ෂ පී.ටී.ජී. පෙරේරා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර ඇත.
  • මෙය තවත් මූලික පියවරේ පවතින බව ද ඔහු කීය.
  • මෙම කොන්ත්‍රාත්තුවට අදාළ සියලුම ගැටලු සහ ආරවුල් විසඳනු ලබන්නේ ඉන්දියාවේ නවදිල්ලියේ ක්‍රියාත්මක වන “UNCITRAL” බේරුම්කරණ නීති යටතේ වන බව දක්වා ඇත.
  • එමගින් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය මගින් සිදුකරනු ලබන බේරුම්කරණ ක්‍රියාවලිය පසෙක දමා ඇති අතර, ශ්‍රී ලංකාවේ නීතිය මගින් පාලනය වන බව පවසමින් ගිවිසුම් කරුණු අතර නීතිමය නොගැළපීමක් ඇති කර තිබෙන බව පෙන්වා දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල්වරිය හරහා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ප්‍රධාන පද්ධති ඒකාබද්ධකරුවකු (Master system Integrator – MSI) තෝරාගැනීම සඳහා මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇති ටෙන්ඩර් කැඳවීමේ (IFB) නිවේදනය මගින් පැනනැඟී ඇති ගැටලු නිරාකරණය කරගැනීමේ අරමුණින් මෙම ලිපිය යොමු කළ බව පෙරේරා ඊයේ (03දා) පැවැසීය.

රටේ ඩිජිටල් ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය අංගයක් වන නෛතික, ආරක්ෂක හා රාජ්‍යතාන්ත්‍රික ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමුකර නිරාකරණය කරගත යුතු බව අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බව ද ඔහු කීය. මෙය තවත් මූලික පියවරේ පවතින බව ද ඔහු කීය.

අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ ලිපිය මගින් මෙම කරුණු අවධාරණයට යොමුකර තිබේ.

මෙම කොන්ත්‍රාත්තුවට අදාළ සියලුම ගැටලු සහ ආරවුල් විසඳනු ලබන්නේ ඉන්දියාවේ නවදිල්ලියේ ක්‍රියාත්මක වන “UNCITRAL” බේරුම්කරණ නීති යටතේ වන බව දක්වා ඇත. එමගින් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය මගින් සිදුකරනු ලබන බේරුම්කරණ ක්‍රියාවලිය පසෙක දමා ඇති අතර, ශ්‍රී ලංකාවේ නීතිය මගින් පාලනය වන බව පවසමින් ගිවිසුම් කරුණු අතර නීතිමය නොගැළපීමක් ඇති කර තිබෙන බව පෙන්වා දී ඇත.

ලංසු තැබීමේ නිවේදනය මගින් මෙරට ජාතික මට්ටමේ ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලාංකික සමාගම් හෝ වෙනත් රටක සමාගම් සඳහා ලංසු තැබීමට ඇති අවස්ථාව අහිමි කර ඇති අතර, ඉන්දීය සමාගම් සඳහා පමණක් එම කටයුතු පූර්ණ වශයෙන් හැසිරවීම සඳහා අවස්ථාවක් නිර්මාණය කර තිබෙන බව පෙන්වා දී ඇත.

මෙම ක්‍රියාවලිය මගින් තෝරා ගනු ලබන විදේශීය ප්‍රධාන පද්ධති ඒකාබද්ධකරුට (MSI) ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතියේ සම්පූර්ණ පාලනය පවත්වාගෙන යෑමට හැකියාව ලබාදී ඇති බව පෙන්වාදී ඇති අතර මෙරට ජනතාවගේ ජෛවමිතික දත්ත, ජනතාවගේ පෞද්ගලික තොරතුරු සහ වැදගත් තාක්ෂණ යටිතල පහසුකම් සඳහා පූර්ණ අවකාශය පවතින බව පෙන්වා දී ඇත. එය මෙරට දිගුකාලීන ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ කුමන ආකාරයෙන් බලපෑමක් සිදුකරයි ද යන්න සොයා බලන ලෙස ද පෙන්වා දී ඇත.

දත්ත රැගෙන යෑම හා මෘදුකාංග සඳහා බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් පවතින විධිවිධාන අපැහැදිලි වන අතර, මෙරට ජනතාවගේ පුද්ගලික දත්ත සම්බන්ධයෙන් වන ගැටලුවකදී එය ශ්‍රී ලාංකීය අධිකරණ බලසීමාව තුළ හෝ ශ්‍රී ලංකා රජයේ පූර්ණ පාලනය යටතේ විසඳා ගැනීමේ හැකියාවක් නොමැති තත්ත්වයක් මේ හරහා උද්ගත වන බව පෙන්වා දී තිබේ.

කොන්ත්‍රාත්කරුගේ වගකීමේ වටිනාකම මුළු කොන්ත්‍රාත් වටිනාකමෙන් 10%ක් වැනි සුළු අගයකට තක්සේරු කර දක්වා ඇති බවත්, බරපතළ වගකීම් පැහැර හැරීමකදී හෝ සයිබර් ප්‍රහාරයක් වැනි තත්ත්වයකදී වැඩි අවදානමක් සහ වැඩි මූල්‍යමය අවාසියක් ශ්‍රී ලංකා රජය වෙත පටවා ඇති බවත් පෙන්වාදී ඇත.

මෙම ව්‍යාපෘතියේ සැලැස්ම මගින් ප්‍රධාන වගකීම් අධීක්ෂණය කිරීම, පද්ධති කළමනාකරණය, වත්කම් පාලනය, සංකේතාත්මක ප්‍රතිපත්ති සහ ගිනිපුවරු (firewall) යෙදවීම ප්‍රධාන පද්ධති ඒකාබද්ධකරු (MSI) වෙත පවරා ඇති බව ලිපිය මගින් පෙන්වාදී ඇති අධ්‍යක්ෂවරයා, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ (DRP) තොරතුරු තාක්ෂණ අංශය ඇතුළු රාජ්‍ය ආයතන හරහා මෙම පද්ධතිය හැසිරවීමට ඇති අවකාශය අවහිර කර ඇති බව පෙන්වා දී ඇත.

තවද තාක්ෂණික සහ නීතිමය අවදානම්වලට අමතරව, මෙම ලිපිය මගින් ටෙන්ඩර් ව්‍යුහය සහ අධීක්ෂණ යාන්ත්‍රණය නිසා රාජ්‍යතාන්ත්‍රික ගැටලු ඇතිවිය හැකි බව පෙන්වා දී ඇත.

මෙරට ජාතික මට්ටමේ වැදගත් යටිතල පහසුකමක් වන මෙම ව්‍යාපෘතිය සම්බන්ධ ආරවුල් නිරාකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉන්දීය බේරුම්කරණ නීති භාවිත කිරීමට කටයුතු කර තිබීම මගින් මෙරට අධිකරණයේ ස්වාධිපත්‍යයට බාහිර බලපෑම් එල්ල වන බව පෙන්වා දී තිබේ.

ඉන්දීය සමාගම් සඳහා පමණක් කොන්ත්‍රාත්තුව සඳහා ලංසු තැබීමට අවකාශය සලසා දීම සහ එම සම්පූර්ණ පද්ධතියේ පාලනය එම සමාගම සතුව පවත්වාගෙන යෑමට ඉඩහැරීම මගින් මෙරට උපායමාර්ගික වශයෙන් වැදගත් අංගයක් පූර්ණ වශයෙන් විදේශ රාජ්‍යයක පාලනයට යටත්විය හැකි ය යන්න.

ශ්‍රී ලංකාවෙන් පිටතට මෙරට ජනතාවගේ පුද්ගලික දත්ත යැවිය හැකි හෝ පිටපත් කිරීමේ අවදානමක් පවතින අතර, මෙම ව්‍යාපෘතිය සඳහා නිසි පරිදි නීතිමය ආරක්ෂාවක් නොමැති බැවින්, මෙය ජාත්‍යන්තර දත්ත නීති රීති බිඳ දමා අනාගතයේදී ශ්‍රී ලංකාව සහ විදෙස් රාජ්‍යයන් අතර පවත්වනු ලබන රාජ්‍යතාන්ත්‍රික සබඳතා සඳහා ගැටලු ඇති කළ හැකි බව පෙන්වා දී තිබේ.

ශක්තිමත් දේශීය අධීක්ෂණයක් නොමැති තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා රජයේ ආයතනවලට පාලනය සඳහා ඇති අයිතිය නොසලකා හරිමින් විදේශීය සමාගමකට වැදගත් පෞද්ගලික දත්ත නිසි ලෙස පාලනය සඳහා ලබාදීම මගින් රාජ්‍ය ආයතන කෙරෙහි මෙරට මහජන විශ්වාසය බිඳවැටෙන අතර මෙම තත්ත්වය ශ්‍රී ලංකාව සහ වෙනත් රටවල් සමග ඇති සම්බන්ධතාවන්ට හානි සිදුවීමේ අවදානමක් ඇති බව.

මෙම ගැටලු පිළිබිඹු කරන්නේ තාක්ෂණික නොසලකාහැරීම් පමණක් නොව, ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ විදේශීය බලපෑම පිළිබඳ සලකා බැලිය යුතු බව ද පෙන්වා දී ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑමට පෙර දැඩි අවධානයක් යොමුකර වහාම ජාතික වශයෙන් තර්ජනයක් වන මෙම ගැටලු නිරාකරණය කිරීම සඳහා මෙරට ස්වෛරීභාවයට හානියක් නොවන කඩිනම් හා නිවැරදි පියවර ගන්නා ලෙස e-NIC ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.

අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යෙමු කළ නිරාකරණය කරගත යුතු (අවධානය යොමු කළ යුතු) ගැටලු දැනට පත්කර ඇති කමිටුව වෙත යොමුකර අවශ්‍ය පියවර ගනු ඇතැයි ද පෙරේරා වැඩිදුරටත් කියා සිටියේය.

(divaina | චමින්ද සිල්වා)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...