BREAKING
Top Ad
Red Alert

X-Press Pearl අලාභය 'ඩොලර් කෝටි 640ට වඩා ගොඩක් වැඩියි' - හානිය වසර දෙකක් තක්සේරු කර නෑ (වීඩියෝ)

T

The Leader

November 30, 2024 • 10:48 AM

X-Press Pearl අලාභය 'ඩොලර් කෝටි 640ට වඩා ගොඩක් වැඩියි' - හානිය වසර දෙකක් තක්සේරු කර නෑ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්ස්ප්‍රස් පර්ල් නැවේ හටගත් ගින්න සහ විෂ ද්‍රව්‍ය කාන්දුව මගින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට සහ පුරවැසියන්ට කරන ලද අලාභය
  • "වන්දි තක්සේරු කිරීම කරලා තිබුණ අංශ 36ක් ඔස්සේ.
  • ඒ අංශ 36න් තක්සේරු කිරීම අවසන් කරලා තිබුණේ අංශ තුනක් විතරයි.
  • ඒ පදනම මත තමයි අපි කියා සිටින්නේ අපිට ලැබෙන්න ඕන වන්දි මුදල ඩොලර් බිලියන 6.4ට වඩා වැඩි විය යුතුයි කියල," යනුවෙන් ආචාර්ය දාබරේ 'Sandeshaya by Saroj' නාලිකාව සමග පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඩොලර් බිලියන 6.4 (කෝටි 640) කට වඩා ඉතා ඉහළ බව අගතියට පත් පාර්ශව පවසති.

නැවෙන් සිදු වූ හානිය අවසාන වරට තක්සේරු කරනු ලැබුවේ නැව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් ඉවත්කරගැනීමටත් ප්‍රථමයෙන් බැවින් සමස්ත හානිය මෙතෙක් තක්සේරු කර නොමැති බව ද අගතියට පත් පාර්ශව වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

නීතිවේදී ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ
ආචාර්ය දාබරේ ඒ බව කියා සිටියේ, අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගවෙමින් පවතින මූලික අයිතිවාසිකම් නඩුවක දී 'පරිසර යුක්ති කේන්ද්‍රය', එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ, සහ ධීවර නායකයින් වන හර්මන් කුමාර සහ අරුණ රොෂාන්ත ප්‍රනාන්දු යන පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දක්වමිනි.  


X-Press Pearl නෞකාව මගින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට, සමුද්‍ර ජීවීන්ට සහ ධීවර ප්‍රජාවට කරන ලද හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4ක් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA - මීපා ආයතනය) විසින් පත්කරන ලද 40 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවේ දෙවෙනි අන්තර්වාර වාර්තාවේ නිගමණය විය.


ආචාර්ය දාබරේ අධිකරණය හමුවේ පෙන්වා දුන් ආකාරයට, අදාළ හානිය සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ කොට සම්පූර්ණ හානිය නිගමණය කළ යුතු බව එම අන්තර්වාර වාර්තාවේම සඳහන් වන නමුත්, 2022 නොවැම්බර් 30 වෙනි දින එම වාර්තාව භාරදීමෙන් අනතුරුව තවදුරටත් හානිය තක්සේරු කිරීමට විශේෂඥ කමිටුවට බලය පවරා නැත.

"වන්දි තක්සේරු කිරීම කරලා තිබුණ අංශ 36ක් ඔස්සේ. ඒ අංශ 36න් තක්සේරු කිරීම අවසන් කරලා තිබුණේ අංශ තුනක් විතරයි. අනිත් අංශ ඔක්කොගෙම තවම තක්සේරු කිරීම සිදු කරමින් පවතිනවා එහෙම නැත්නම් සමහර අංශවල තක්සේරු කිරීම ආරම්භ කරල තිබුණෙත් නෑ. ඒ පදනම මත තමයි අපි කියා සිටින්නේ අපිට ලැබෙන්න ඕන වන්දි මුදල ඩොලර් බිලියන 6.4ට වඩා වැඩි විය යුතුයි කියල," යනුවෙන් ආචාර්ය දාබරේ 'Sandeshaya by Saroj' නාලිකාව සමග පැවසීය.


"ඒකෙ වරදකරුවන් රජය සහ මීපා ආයතනය මොකද ඒගොල්ලන්ට ඒ තක්සේරු කිරීම continue කරන්න ඉඩ දුන්නේ නෑ."

විශේෂඥයින් 40 දෙනා නිකුත්කළ දෙවෙනි අන්තර්වාර වාර්තාවේ ද දැක්වෙන්නේ, අදියර හතරකින් යුත් සිය තක්සේරු ක්‍රියාදාමයේ ඒ වනවිට අවසන් කොට තිබෙන්නේ අදියර දෙකක් පමණක් බවයි. නෞකාව විසින් කරන ලද සමස්ත හානිය තක්සේරු කළ හැක්කේ ඉතිරි අදියර දෙකත් අවසාන වීමෙන් පසුව බවත් එහි සඳහන් වේ.  


මේ වාර්තා රහසිගත ඇයි?  
මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න සහ විෂ කාන්දුව මගින් කරන ලද දැවැන්ත විනාශය සම්බන්ධයෙන් නඩු පැවරීම පිළිබඳව උපදෙස් සහිතව චන්දක ජයසුන්දර සහ රොනල්ඩ් පෙරේරා ජනාධිපති නීතිඥවරුන් සහ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර ගෙන් සමන්විත ත්‍රි පුද්ගල කමිටුවක් 2023 මාර්තු මස 12 වෙනි දින මීපා ආයතනය වෙත ලබාදුන් වාර්තාවක් අධිකරණය වෙත පසුගියදා ඉදිරිපත් කෙරිණ.

වාර්තාව භාර දී දෙවසරකට ආසන්න කාලයක් ගතව ගොස් ඇතත් මෙතෙක් එය ප්‍රකාශයට පත්කොට නොමැති බව ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර විවෘත අධිකරණය ඉදිරියේ පෙන්වා දීමෙන් අනතුරුව එම වාර්තාව අධිකරණය වෙත ලබාදෙන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය නොවැම්බර් 08 වෙනි දින මීපා ආයතනයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

නැව් හිමියන් සහ රක්ෂණ ආයතනය සමග තවදුරටත් සාකච්ඡා පැවැත්වීම ඵල රහිත බවත්, එබැවින් නැව් හිමියන්ට එරෙහිව ශ්‍රී ලංකාව තුළ නඩු පවරන ලෙසත් 2023 මාර්තු මාසයේ මීපා ආයතනය වෙත ලබාදුන් එම වාර්තාව මගින් නිර්දේශ කොට තිබේ.

xdfgtw45
කෙසේ වුවත්, 2023 අප්‍රේල් මාසය අග භාගයේ නීතිපති දෙපාර්තමේන්තුව මගින් නැව් සමාගමට එරෙහිව සිංගප්පූරුවේ නඩු පවරනු ලැබුවේ එම නීති විශේෂඥයින්ගේ මෙන්ම නැවෙන් සිදු වූ හානිය තක්සේරු කළ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විශේෂඥයින් ගේ ද උපදෙස් නොතකා හරිමිනි.

සමස්ත රටවැසියන්ගේ සෞඛ්‍යයට, පරිසරයට සහ රටේ ආර්ථිකයට ද දැවැන්ත බලපෑමක් එල්ල කරමින් සිදු වූ මේ ව්‍යසනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විශේෂඥ වාර්තා සහ සාක්ෂි රහසිගතව තබාගැනීමේ අවශ්‍යතාව කවරක් දැයි පැහැදිළි නැති වුවත් මීපා ආයතනය සහ නීතිපති දෙපාර්තමේන්තුව එවැනි වාර්තා කිහිපයක්ම රහසිගතව තබාගෙන සිටින බවත් අධිකරණය හමුවේ හෙළිදරවු කෙරිණ.

ඇතැම් වාර්තා අදාළ පාර්ශව වෙත නිකුත් කෙරුණේ අධිකරණය නියෝග කිරීමෙන් අනතුරුව නොවේ දැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී නෙරින් පුල්ලේ ගෙන් වරක් විමසීමක් ද කළේය.

මීපා ආයතනයේ හිටපු සභාපතිනි නීතිවේදිනී දර්ශනී ලහඳපුර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යොමු කළ වාර්තා දෙකක් ද ප්‍රකාශයට පත්කොට නැත. නීතිඥ ලහඳපුර එම වාර්තාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ සහ රනිල් වික්‍රමසිංහ පරිපාලනයේ ප්‍රශ්න සහගත ක්‍රියාකාරකම් සවිස්තරව සඳහන් කොට තිබේ. ඒ පිළිබඳව කාරක සභාවේ සභාපති, හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එම වාර්තා ප්‍රකාශයට පත්කොට නැතැයි තමන් දැන නොසිටි බවය. ඒ පිළිබඳව විමසා බලන බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
 

සිංගප්පූරුවේ නඩු පැවරීම
 
මීපා ආයතනයේ, නීති විශේෂඥයින්ගේ සහ විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින්ගේ උපදෙස් නොතකා සිංගප්පූරුවේ නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව ගත් තීරණය මහත් විවාදයට තුඩු දුන් කරුණකි. එවකට අධිකරණ අමාත්‍ය පදවිය හෙබැවූ විජයදාස රාජපක්ෂ ද නීතිපති දෙපාර්තමේන්තුවේ එම තීරණය අනුමත කළේය.

එමතු නොව, ඒ සම්බන්ධයෙන් දුන් විශේෂඥ උපදෙස් රහසිගතව තබාගැනීමට මීපා ආයතනය සහ නීතිපති දෙපාර්තමේන්තුව මහත් උත්සහයක් දරන හැඩක් දක්නට ලැබුණ බවද ඉහත සඳහන් කළෙමි.

තවත් මූලික හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කොට තිබෙන පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා පවසන්නේ එම නඩුව සිංගප්පූරුවේ පැවරීම හේතුවෙන් වින්දිතයින් බරපතල ගැටලුවකට මුහුණ පා සිටින බවය.

"මොකද අපි දන්නේ නෑ මොකද වෙන්නේ කියල. අපිට දැනගන්න විදියක් නෑ සිංගප්පූරුවේ කුමක්ද වෙන්නේ කියල. අනික අපිට තියන ගැටලුව තමා මේ වෙනකොට මේ රටේ මිනිස්සු මාළු අනුභව කරනවා. හැබැයි විෂ ද්‍රව්‍ය රාශියක් මේ මුහුද යට තියෙනව. හැබැයි අපිට වන්දියක්වත් ගන්න බැරි හේතුව තමයි මේ නඩුව තාමත් සිංගප්පූරුවේ පවතින එක," ඇය සඳහන් කළාය.
 
drt4


නීතිවේදී ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ "සරෝජ් සමග සංදේශය" නාලිකාව වෙත අදහස් දක්වමින් : "අනතුර සිද්ද වුණේ ලංකාවේ සාගර කලාපය තුළ. ඒ නිසා ඒ ගැන නඩු පවරන්න ඕන ලංකාව තුළ. උදාහරණයක් විදියට විදේශීය සමාගමක ලංකාවේ පරිසරය දූෂණය කළා නම් ඒකට නඩු පවරන්න අපි ඒ සමාගම ලියාපදිංචි කරපු රටට යනවද?" යනුවෙන් ප්‍රශ්න කළේය.

"ඔවුන් සිංගප්පූරුවේ නඩු පැවරුවේ ඇයි? ඇත්තටම ඒක අපිටත් ප්‍රහේලිකාවක්. අපිට ඒකට කිසිම සාධාරණ හේතුවක් හිතාගන්න බෑ. හිතාගන්න පුළුවන් එකම හේතුව, වන්දිය අඩු කර ගැනීම සහ සිංගප්පූරුවේ සිද්දවෙන දේවල් ගැන අපිට මැදිහත්වෙන්න බැරිවීම.
 
ඕස්ට්‍රේලියානු සමාගම
සිංගප්පූරුවේ නඩු පැවරීමට ප්‍රථම නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ Sparke Helmore සමාගමෙන් නීති උපදෙස් පතා තිබිණ.

එම සමාගමේ Michelle Taylor වරක් ශ්‍රී ලංකාවට ද පැමිණ නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙන අතර, X-Press Pearl නැවෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් නීති ප්‍රතිපාදන තිබෙන්නේ යයි ඒ අවස්ථාවේ ඇය තමන් සමග ප්‍රකාශ කළ බව මීපා ආයතනයේ හිටපු සභාපතිනි දර්ශනී ලහඳපුර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සඳහන් කළාය.

සිංගප්පූරුවේ හෝ ශ්‍රී ලංකාවේ නඩු පැවරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවට දුන් උපදෙස් කවරේ දැයි කළ විමසීමට පිළිතුරු දීම Sparke Helmore සමාගම ප්‍රතික්ෂේප කළේය. සමාගම පවසන්නේ, අදාළ කරුණ සම්බන්ධයෙන් තමන් ප්‍රසිද්ධියේ කිසිදු අදහසක් පළ නොකරන බවය.

එම සමාගම තෝරාගත්තේ කෙසේද, ඒ සඳහා වැය වූ මුදල කොපමණද ඇතුළු ප්‍රශ්න කිහිපයක් අප විසින් නොවැම්බර් 07 වෙනි දින තොරතුරු දැනගැනීමේ පනත යටතේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලදි.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව නීතිපති දෙපාර්තමේන්තුව විසින් තවත් විදේශීය විශේෂඥයින් පිරිසකගේ උපදෙස් ලබාගෙන තිබේ. එම විශේෂඥයින්ට ගෙවන ලද මුදල කවරක්ද සහ ඔවුන් කිසියම් වාර්තාවක් සකස් කොට තිබෙන්නේ ද යන්න තොරතුරු දැනගැනීමේ පනත යටතේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලද තවත් ප්‍රශ්නයකි.

තොරතුරු දැනගැනීමේ ඉල්ලීම ලැබුණ බව නීතිපති දෙපාර්තමේන්තුව එයට ප්‍රතිචාර වශයෙන් ලිපියකින් දැනුම් දී තිබේ.
 
xdrt4w 
 
පවුලකට මාසෙකටම රුපියල් 5850  
ධීවරයින් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කොට තිබෙන කාදිනල් මැල්කම් රන්ජිත් වෙනුවෙන් දින කිහිපයක් මුළුල්ලේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිවේදී නිල්ෂාන්ත සිරිමාන්න, නෞකා අනතුරෙන් ජීවිකාව අහිමි වූ ධීවරයින් වෙනුවෙන් ලැබී තිබෙන වන්දිය එක් පවුලකට මසකට රුපියල් 5850ක් පමණක් බව පෙන්වා දුන්නේය.

ධීවර පවුල් 19,920 කට මේ වනවිට රුපියල් මිලියන 2776ක් වන්දි වශයෙන් ලබා දී ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත  මීට ඉහතදී 'Sandeshaya by Saroj' නාලිකාව සමග පැවසීය.

එම වන්දි මුදල ධීවර පවුල් සහ ඔවුන්ට ජීවිකාව අහිමි වූ මාස ගණනින් බෙදූ විට එක් පවුලකට ලැබී තිබෙන්නේ රුපියල් 5850ක් බව පෙන්වා දුන් නීතිවේදී සිරිමාන්න, වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වාතාවරණය තුළ එක් පවුලක් රුපියල් 5850 කින් ජීවත් වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේය.

එමෙන්ම 2024 ජනවාරි මාසයේ විනාශ වූ නෞකාවේ සුන් බුන් ඉවත්කර ගනු ලැබූ නමුත් නෞකාවේ සුන්බුන් සියල්ල ඉවත්කර ගත්තේ දැයි තවමත් සනාථ වී නොමැති බව ද නීතිඥ සිරිමාන්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කළේය. ඔහු පවසන්නේ, එවැනි කටයුත්තකින් පසුව සුන්බුන් සියල්ල ඉවත්කරගනු ලැබූ බවට සහතිකයක් නිකුත් කළ යුතු වුවත් තවමත් එවැනි සහතිකයක් නිකුත් කොට නොමැති බවය.

dr6435ed
X Press Pearl නෞකාවෙන් සිදු වූ විනාශය සහ වන්දි ලබා ගැනීමේ දී සිදු වූ බව පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් අලුත් විමර්ශනයක් ආරම්භ කරන බව මහ මැතිවරණයට පෙර මා කළ විමසීමකදී එවකට කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේය.

ඒ බව නව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස ද තහවුරු කළේය.

"අපේ අලුත් ආණ්ඩුවේ අමාත්‍යවරුන් විසින් පසුගිය කාලේ ආන්දෝලනයට තුඩු දුන් ඒ ක්‍රියාවලීන් ගැන පසු විපරමක් කරලා බලනවා. අවශ්‍ය ආකාරයට නඩු පැවරීම සිද්ද කරාවි. කොහොමත් මීපා ඇතුළු ආයතනවලින් අවශ්‍ය කරන වාර්තා කැඳවල ඒ ගැන මැදිහත්වීමක් කරනවා," යනුවෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මා කළ විමසීමකදී සිටියේය.

ජාතික වැදගත්කමක් සහිත එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් ආණ්ඩුවට ලබා දුන් නීති උපදෙස් කවරේ දැයි විමසමින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ නමුත් එම තොරතුරු ලබාදීම නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කොට තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවට එල්ලවන චෝදනා පිළිබඳව විමසීම පිණිස හිටපු නීතිපති සංජේ රාජරත්නම් ද කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ කළ නොහැකි බවය.

සාගරයට, සමුද්‍ර ජීවීන්ට සහ සමස්ත ආර්ථිකයට දැවැන්ත විනාශයක් කළ මහා ව්‍යසනයකින් වසර තුනකට පසුවත් ඒ ව්‍යසනය සඳහා ප්‍රමාණවත් වන්දියක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වී තිබේ.

Saroj Pathirana(සරෝජ් පතිරණ)
[බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක)
 
(මෙම වාර්තාව, පුලිට්සර් සෙන්ටර් (Pulitzer Center) හි ඕෂන් රිපෝටින් නෙට්වර්ක් (Ocean Reporting Network) අනුග්‍රහය සහිතව වෝටර්ෂෙඩ් ඉන්වෙස්ටිගේෂන්ස් (Watershed Investigations) සංවිධානය සමග එක්ව වසරක් පුරා කෙරෙන ගවේෂණයක කොටසකි.)

 
 
සබැඳි ලිපි කිහිපයක් ...
එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන නියෝගයක්

එක්ස්ප්‍රස් පර්ල් අර්බුදය : ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලයි

එක්ස්ප්‍රස් පර්ල් නඩුව අද සිංගප්පූරුවේදී කැඳවයි

එදා ගිනිබත් වූ නැව මෙවර දියබත් වෙයි ද? -(ගාමිණී වියන්ගොඩ)

එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව : ජනාධිපති මාධ්‍ය අංශයෙන් වීඩියෝවක්

ගිනිගත් 'එක්ස්ප්‍රස් පර්ල්' නැවේ කප්පම්කරුගේ නම එළියට !

එක්ස්ප්‍රස් පර්ල් : 'වන්දි වෙනුවට පගා ගහලා' - විපක්ෂ නායක

'එක්ස්ප්‍රස් පර්ල්' නෞකා සමුද්‍ර දූෂණයට ලංකාවේ නඩු පවරන්න ජාත්‍යන්තර බාධාවක් නැහැ - (CENS)

ගිනිගත් නැවේ වන්දි වලක්වන්න කෝටි 25 පගාව ගත්තේ කව් ද ?

එක්ස්ප්‍රස් පර්ල් නැවේ අනතුරෙන් පගා ගැසීම පසුපස කුප්‍රකට අයෙක් ! - චම්පික කියයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකා වන්දි ගැටුම : අවසන් වාර්තාව ලබන සතියේ නීතිපතිට

සමාජ මාධ්‍යවේදී හදුන්ගොඩට එරෙහිව CID විමර්ශනයක්

එක්ස්ප්‍රස් පර්ල් : ගිනිගත් නැවෙන් වන්දි ගන්න සිංගප්පුරු යෑම ලංකාවට අවාසි ද?

මහ සයුරට වස විස එක් කළ 'එක්ස්ප්‍රස් පර්ල්' වන්දිය අහිමි වෙයි ද?

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි නඩුව සිංගප්පූරුවට ගෙනයාම සැක කටයුතුයි!

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි නඩුව : පාර්ලිමේන්තු කාරක සභාවක අවධානය

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැටුම : නඩුව සිංගප්පූරුවට

එක්ස්ප්‍රස් පර්ල් වන්දි අර්බුදය : නීතිපති සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ගැටුමක !

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් මහ සයුරට පිළිකා හදන වස විස එක්වෙලා

 
 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...