1.1 ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා, ජනාධිපති නීතිඥ මෙන්දක ජයසුන්දර සහ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර ගෙන් සමන්විත එම නීති විශාරද කමිටුවේ ඇතැම් සාමාජිකයින් පසුව සිංගප්පූරුවේ නඩු පැවරීමට එකඟ වූ බවට එවකට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කරන ප්‍රකාශය සත්‍යද? එසේ නම්, ඔවුන් ඒ බව ඔබට ලිඛිතව දැනුම් දී තිබේද? ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර පවසන්නේ, කිසිදු අවස්තාවක සිය මුල් ස්ථාවරය වෙනස් නොකළ බවය.
1.2 නෞකා සමාගමට එරෙහි නීති කෘත්‍යයේ දී ඔබ දෙපාර්තමේන්තුවේ කිසියම් නිලධාරියෙකුට/ නිලධාරීන්ට නෞකා සමාගමෙන් විශේෂ වාසි සහ/හෝ අල්ලස් ලැබුණාද?
1.3 විෂය සම්බන්ධ ප්‍රවීණයින් ශ්‍රී ලංකාවේ සිටියදී ඕස්ට්‍රේලියාවේ Spark Helmore නීති සමාගමෙන් උපදෙස් ලබාගත්තේ ඇයි?
1.4 එම සමාගම තෝරාගත්තේ කෙසේද? එම සමාගම තෝරාගන්නා මෙන් කිසිවෙක් නිර්දේශ/බලපෑම් කළාද?
1.5 සිංගප්පූරුවේ නඩු පවරන මෙන් Spark Helmore සමාගම නිර්දේශ කළාද? එසේ නම්, ඔවුන් ඒ සඳහා දැක්වූ හේතු මොනවාද?
1.6 එම සමාගමට මෙතෙක් ගෙවන ලද සම්පූර්ණ මුදල කොපමණද?
1.7 සිංගප්පූරුවේ පවරන ලද නඩුව මගින් නීතිපති දෙපාර්තමේන්තුව නෞකා සමාගමෙන් ඉල්ලා සිටි වන්දිය කොපමණද?
1.8 නීතිඥ ගාස්තු, Spark Helmore සමාගමට ගෙවූ මුදල, ශ්‍රී ලංකා නිලධාරීන්ගේ සිංගප්පූරු සංචාර ඇතුළු සිංගප්පූරුවේ නඩු පැවරීමේ සමස්ත ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාව මෙතෙක් වියදම් කර තිබෙන සම්පූර්ණ මුදල කීයද?
1.9 වන්දි සහ වෙනත් වියදම් ඇමෙරිකානු ඩොලර්වලින් පමණක් ගෙවන බවට එකඟ වී තිබියදී, නෞකා සමාගමේ ඉල්ලීම පරිදි වන්දි මුදල් රුපියල්වලින් ලබාගන්නා මෙන් එවක නීතිපති සංජේ රාජරත්නම්, අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මීපා ආයතනයේ හිටපු සභාපතිනි දර්ශනී ලහඳපුරට බලපෑම් කළේ ඇයි?
1.10 එසේ රුපියල්වලින් වන්දිය ලබාගැනීම මගින් ශ්‍රී ලංකාවට අහිමි වූ ඩොලර් මිලියන 1.9කට ආසන්න මුදල පියවා ගත්තේ කෙසේද?
1.11 ශ්‍රී ලංකා විශේෂඥ කමිටුවේ දැඩි විරෝධය නොතකා, විශ්ලේෂණය නොකළ දත්ත (raw data) නෞකා සමාගම වෙත ලබාදෙන මෙන් නීතිපති දෙපාර්තමේන්තුව නාරා ආයතනයට බලපෑම් කළේ ඇයි?
2. සිංගප්පූරුවේ නඩු පැවරීමේ ක්‍රියාවලියට උපදෙස් ලබාගැනීම පිණිස නීතිපති දෙපාර්තමේන්තුව විසින් විදේශීය විශේෂඥයින් පිරිසකගේ සේවය ද ලබාගෙන තිබේ.
2.1 එම විදේශීය විශේෂඥයින් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව මෙතෙක් වැය කර තිබෙන මුදල කොපමණද?
2.2 ශ්‍රී ලංකාවේ විශේෂඥයින් 40කට අධික පිරිස විසින් සකස් කරන ලද දෙවැනි අන්තර්වාර වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව විසින් එම විදේශීය විශේෂඥයින් වෙත යවනු ලැබුවේ ඒ පිළිබඳ ඔවුන්ගේ නිර්දේශ ඉල්ලා සිටිමිනි. මේ වනවිට ඔවුන් එම නිර්දේශ ලබා දී තිබේද? එම නිර්දේශ කවරේද? ඔවුන් සිය නිර්දේශ මෙතෙක් ලබා දී නැත්නම්, ඒ ඇයි?
3. නෞකා සමාගම විසින් චාමර ගුණසේකර නම් පුද්ගලයෙකුට ඩොලර් මිලියන 250ක අල්ලසක් ලබා දී ඇති බවට හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ශන කොට්ටාශය පැවැත්වූ පරීක්ෂණයේ ප්‍රගතිය කුමක්ද?
3.1 එම චෝදනාව පිළිබඳව බ්‍රිතාන්‍ය ජාතික වංචා විමර්ශන අංශයෙන් පොලිසිය කළ විමසීමට පිළිතුරක් ලැබී තිබේද? පිළිතුරක් නොලැබුණේ නම්, ඒ ගැන පසු විපරමක් කළේද?
3.2 ඒ පිළිබඳ මූලික තොරතුර හෙළි කළ අජිත් මාන්නප්පෙරුම හිටපු මන්ත්‍රීවරයාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගෙන් කිසිදු විමසීමක් නොකරම ඒ සම්බන්ධ ගොනුව බහා තැබුවේ ඇයි?
3.3 ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් අනතුරුව ඒ පිළිබඳ පරීක්ෂණ යළි ආරම්භ කළාද?
4. විද්වතුන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥයින් ගේ ද විරෝධය නොතකා, රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටි අවස්ථාවක තවත් ඩොලර් මිලියන ගණනක් වැයකරමින් සිංගප්පූරුවේ නඩු පැවරීමට එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කළේ ඇයි?
අධිකරණ නියෝගයෙන් පස්සේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන පරීක්ෂණයක් ආරම්භ කළා නම්, ඒ පරීක්ෂණයේදී ඉහත මතුකරපු කරුණු ගැනත් විමසලා බැලුවොත් සුදුසුයි කියල මට හිතෙනවා.
Fellow, Pulitzer Centre's Ocean Reporting Network
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 සැප්තැම්බර් 22




