කොරෝනා ව්‍යසනෙයන් පසු එළඹෙන ලෝකය කවරාකාර ද යන්න

සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශයේ කථිකාචාර්ය සුමිත් චාමින්ද සමඟ Lankatarget.com වෙබ් අඩවිය විසින් සිදුකළ සාකච්ඡාවේදී අනාවරණය කරයි. 
 
සම්පූර්ණ සාකච්ඡා සටහන මෙසේය...

කොරෝනා අර්බුදය හමුවේ ලෝක මට්ටමේ සියලූ රාජ්‍යයන් අඩපනව පවතිනවා. ආර්ථික මෙන්ම සමාජයීය දේශපාලනබල තුලනයක් බිඳ වැටෙමින් පැවතීම ලොව තුළ නව ආර්ථික හෝ දේශපාලනික ගොඩනැගීමක් වීම සම්බන්ධයෙන් නැඹුරුවක් පවතිනවද?

මුලින්ම කියන්න  ඕන කොරෝනා අර්බුදය ගෝලීය තලයේ අර්බුදයක්. ඒ වගේම ඒක බහුවිධ අර්බුදයක් බවත් අපි වටහා ගන්න  ඕන. මේ අර්බුදය මහජන සෞඛ්‍ය පිළිබඳ අර්බුදයක් විතරක් නෙවෙයි. මෙහි ආර්ථික, දේශපාලනික, සමාජ විද්‍යාත්මක වගේම සමාජ මනෝ විද්‍යාත්මක පැතිමාන දෙසත් අපි බලන්න  ඕන.  ඒ වගේම මේ අර්බුදය මගින් අද පවතින ජාත්‍යන්තර පර්යාය බරපතළ වෙනසකට ලක් වෙන්න පුළුවන්. මෙහි ඓතිහාසික පැතිමානයකුත් තිබෙනවා. කොටින්ම මේ අපි ජීවත් වෙන්නේ ඉතිහාසයේ ඉතාමත් වැදගත් ඛණ්ඩනීය නිමේෂයක වෙන්න පුළුවන්.

කොරෝනා අර්බුදයෙන් පසුව ගොඩනැගෙන ලෝකය මොන වගේ එකක් වෙයිද කියන එක දැන්ම කියන්න බැහැ. අනාගතය ඉතාම අවිනිශ්චිතයි. ඇත්තෙන්ම මේක අවිනිශ්චිතතාවේ මොහොතක්. මේ මොහොත තුළ කෙරෙන මානවීය මැදිහත්වීම්වලින් තමයි අනාගත ලෝකය හැඩගැසෙන්නේ. ඒ අරුතින්, අර්නෙස්ටෝ ලැක්ලාවුගේ යෙදුමක් භාවිතා කළොත් මේ දේශපාලනිකයේ ( the political) මොහොතක් කියන්න පුළුවන්.

මේ අර්බුදයේ පරිමාව තේරුම් ගන්න ගොඩක් දත්ත ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. අපි මූලික ආර්ථික දත්ත කීපයක් සලකලා බලමු. Dow Jones කොටස් වෙළෙඳ පොළ දර්ශකයේ 1987 වර්ෂයට පස්සේ එක දවසක් තුළ ඇති වුණු විශාලතම බිඳ වැටීම පසුගියදා වාර්තා වුණා. මේ දර්ශකයෙන් පෙන්වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ විශාලතම සමාගම් 30ක කොටස් වෙළෙඳපොළ තත්වයයි. එක්සත් රාජධානියේ විශාලතම සමාගම් 100ක කොටස් වෙළෙඳ පොල තත්වය පෙන්වන FTSE දර්ශකයටත් සිදු වූයේ එයමයි. මෙයින් හැඟවෙන තවත් කාරණයක් තමයි විරැකියා අනුපාතයේ සීඝ‍්‍ර ඉහළ යාම. The Guardian  සඟරාව පසුගිය අප්‍රේල් දෙවනදා වාර්තා කරපු විදියට ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 3.3ක ජනතාවක් එක සතියක් තුළ විරැකියා සහතික පුරවලා තියෙනවා.

images

මම කැමතියි ස්ලේවොයි ශීෂෙක් නමැති සමකාලීන ජීවමාන දාර්ශනිකයා කියන දෙයක් මෙතනට එකතු කරන්න. ශීෂෙක් කියනවා
 
ගොඩක් දෙනෙක් මේ කොරෝනා අර්බුදයෙන් පස්සේ ආපහු තමන්ට පුරුදු ‘සාමාන්‍ය තත්වයට’ යන්න හිතාගෙන හිටියත් ඇත්තෙන්ම ඒ සාමාන්‍ය තත්වය තවදුරටත් පවතින එකක් නැහැ කියලා. ලංකාවේ අපිත් මේ දීර්ඝ නිරෝධායන කාල පරිච්ඡේදයකට පස්සේ ගෙවල්වලින් එළියට යන කොට ආයිමත් අර සුපුරුදු පරණ සාමාන්‍ය තත්වය හමු වෙයි කියලා හිතනවා නම්, ඒක ලොකු මායාවක්.
 
(ඇත්තෙන්ම ලංකාවේ පැවතුණු සාමාන්‍ය තත්වය වෙනස් වෙන්න ගත්තේ පහුගිය ජනාධිපතිවරණයත් එක්ක. කොරෝනා අර්බුදය මගින් සිදු වෙමින් තියෙන්නේ ඒ ක‍්‍රියාවලිය වේගවත් වීමක්)

බලවතුන් යැයි උදම් අනමින් සිටි පිරිස් ඇද වැටීම සම්බන්ධයෙන් කවර කියවා ගැනීමක්ද පවතින්නේ ?

ඇත්තෙන්ම ගෝලීය බලවතුන් අතර සමතුලිතතාව කොහොමටත් බිඳ වැටෙමින් තිබුණේ. විශේෂයෙන්ම ආර්ථිකමය වශයෙන් චීනයේ නැගීමත් එක්ක ලෝකයේ බලවත් රාජ්‍ය වශයෙන් සිටි එක්සත් ජනපදයේ තත්ත්වය කිසියම් අභියෝගයකට ලක් වෙමින් තිබුණා. නමුත් ඇත්තෙන්ම ඒ අභියෝගය පැවතුනේ මූලික වශයෙන් ආර්ථිකමය තලයේ. එය දේශපාලන බලය පිළිබඳ කාරණයකට මාරු වුණා නම් ඒ වක‍්‍රාකාර විදියට.  උදාහරණයක් විදියට දකුණු චීන මුහුදේ චීනය ගොඩ නගමින් සිටින උපාය මාර්ගික මිලිටරිමය දූපත් සම්බන්ධ ප‍්‍රශ්නය ගන්න පුළුවන්. එක්සත් ජනපදය ඒ කලාපයේ තමන්ගේ නාවික බලයත් ප‍්‍රවර්ධනය කරමින් ඉන්නවා.
 
විශේෂයෙන්ම නිදහස් වෙළඳපොල ක්‍රමය ආදානග්‍රාහීව ගත් එක්සත් ජනපද ධනවාදය තුළ පොදු පහසුකමක් විදියට සෞඛ්‍ය සේවය  තියෙන්නේ දුර්වල අඩියක. අද කොරෝනා වසංගතයේ  විශාලම බලපෑම තියෙන්නේ  එය දිගින් දිගටම නොතකා හැරිය එක්සත් ජනපදයටයි. පරිපාලනමය ලෙස ෆෙඩරල් ආණ්ඩුව සහ ප්‍රාන්ත  රාජ්‍යයන් අතර සම්බන්ධීකරණයේ  බරපතල ගැටළු ඇති වී තියෙනවා. මේ තමයි ( ඇතැම් විට ) ” පැරණි ලෝකයේ ”  මහා බලවතාගේ තත්වය.

Kuttner 031720 Wall Streetඅනිත් අතින් යුරෝපා සංගමයේ එක්සත් භාවය බිඳ වැටීමත් කොරෝනා අර්බුදයට කලින්ම ආරම්භ වෙලා තිබුණු දෙයක්.  එක්සත් රාජධානිය ” බ්‍රෙක්සිට් ”  තමන්ගේ විශාල  ජයග්‍රහණයක් විදියට සමරලා වැඩි කාලයක් නැහැ.  දැන් අර්බුදයට පත් වෙලා ඉන්න ඔවුන්ට යුරෝපා සංගමයෙන් ආධාර ඉල්ලන්නත් අසීරුයි. ඒක කලිසම් ඇඳගෙන කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ වගෙම බොරිස් ජොන්සන් කොරෝනා  සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු “සාමූහ – ප්‍රතිශක්තීකරණය ”  (herd immurity )  පිළිබඳ  ප්‍රවේශය ඉතාම විනාශකාරී තැනකට ගිහින් තියෙනවා. අන්තිමේදී  ජොන්සන්ටත් කොරෝනාවේ පීඩනයට ලක් වන්නට සිදු වුනා. ඒ වගේම  යුරෝපා සංගමය මේ අර්බුදයේදී ප්‍රමාණවත් තරමින් පොදු උපාය මාර්ගයක් ඇති කර ගන්නට අසමත් වෙලා තියෙනව.

 
ඉතා පැහැදිලියි පැරණි ලෝකය වේගයෙන් මිය යමින් පවතිනවා. එක්සත් ජනපදය මුල් කරගත් ලිබරල් ජාත්‍යන්තර පර්යාය බිඳ වැටීම වේගවත් වෙලා. යුරෝපීය ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතියේ අර්බුදය අන් කවරදාටත් වඩා පැහැදිලිව පේන්න තියෙනවා.
මහජනයාගේ පොදු යහපත වෙනුවට  පුද්ගලික ලාභය මුල් කරගත් ධනවාදයේ භයංකර ප්‍රතිඵල අද සමස්ත මිනිස් වර්ගයාම  ඉදිරියේ පැහැදිලි වෙමින් තියෙනවා. නමුත් ප්‍රශ්නය තමයි මේ සියල්ල වෙනුවට ආදේශ වන්නේ කුමක්ද කියන එක.  එවැන්නක් ගොඩ නැගිලා නෑ තවමත්. විවිධ අදහස් තියෙනවා.

2007 -2008  මුල්‍ය අර්බුදයේදී චීනය ඉතාම දැනුවත්ව එය විසදීමට මැදිහත් වුනා. සමස්ත ගෝලීය ධනවාදී ක්‍රමයේම  අර්බුදයක් යනු පැහැදිලිවම චීනයේත් අර්බුදයක්. ඒ අතරම ඔවුන් ගෝලීය හෙජමොනියේ තැන අත්පත් කරගන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන් . 1980 දී චීන අගමැති ඩෙං ෂියා වෝ පිං කියපු දෙයක් තමයි චීනය ලෝක දේශපාලනය තුළ අත්පත් කර ගන්නා තැන තීරණය වෙන්නේ චීනයේ ආර්ථික දියුණුව මත කියල.

china proposed belt road initiative copy
මේ පාඩම ඉතාම හොඳින් ජියෑන්ග් සෙමිං සහ ෂි ජින් පිං ඉගෙන ගෙන තියෙනවා.  ” තීරු සහ මාර්ග  ව්‍යාපෘතිය “, ( “Belt and Road Initiative ) ට දැන් විවිධ මට්ටම්වලින් රටවල් 136ක් සම්බන්ධ වෙලා තියෙනවා. චීනය සහ රුසියාව දැන්  “කොරෝනා වෛරස් රාජ්‍ය තාන්ත්‍රිකත්වය ” ( Corona Virus Diplomacy )  තුළ ඉතාම සක්‍රීයයි. නමුත්, මේ පෙනෙන්නේ ගෝලීය  පර්යාය නැවත සකස් කරන්නේ කෙසේද කියන කාරණයට අදාළ බල ව්‍යපෘතින් පමණයි. චීණය සතුව ආර්ථික බලය තියෙනව බව පැහැදිලියි. නමුත් ඔවුනට ගෝලීය ආධිපත්‍යය සදහා අවශ්‍ය කරන හෙජමොනික යාන්ත්‍රණ තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. මම හිතන්නේ නව ලෝකය ගොඩ නැගෙන්නේ  කවර ටිනාකම් සහ කවර ආයතන හා සම්මුතීන් පදනම් කරගෙනද කියන ප්‍රශ්නය තවමත් විවෘතව පවතින බවයි.

 සාකච්ඡා කළේ  – තුසිත පතිරණ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්