ජනතාව නමැති හිස් හැඟවුම්කාරකය
"මේ වගේ වෙලාවකදී තමයි මිනිස්සු වෙනදාට වඩා වැඩියෙන් සිතන්න පෙළඹෙන්නේ. මානව සංහතිය තමන් අභිමුව ප්‍රශ්න පත්‍ර මාලාවක් නිර්මාණය කරන කාලවලදී තමයි, ඉතිහාසය සුදුසු විසඳුම්, සුදුසු මාවත් නිර්මාණය කර ගන්නේ. මම විශ්වාස කරනවා අපි මේ පසුකරමින් සිටින්නේ එවැනි වෙලාවක්. මේක ලංකාවේ අපට පමණක් නොවෙයි මුළුමහත් ලෝකවාසීන්ගේ පැත්තෙන් බැලුවත් හැමෝටම හිතන්න බල කරලා, සාමූහික විඥානය පාදාගන්නත් බල කෙරුණු වේලාවක්."
ඉහත ප්‍රකාශය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේය. ඔහු ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ආණ්ඩු පක්ෂ සන්ධානයේ විමතිකයන්ගේ කණ්ඩායම යුගදනවි ගිවිසුමට එරෙහිව පසුගිය 29 වනදා ඒකාබද්ධ රැස්වීමක් පැවැත්වීය.
පක්ෂ සන්ධානයේ අභ්‍යන්තරයෙන් එල්ල වන විරෝධය අවසන් මොහොතේ හෝ සමනය කරගැනීමට රාජපක්ෂ බලාධිකාරය දැරූ ප්‍රයත්නය සාර්ථක වී නොමැති බව පැහැදිලිය. විමතික පක්ෂ එකොළහේ එකතුවේ දෘෂ්ටිවාදී නායකත්වය ලෙස සැලකිය හැකි විමල් වීරවංශගේ ප්‍රකාශ දෙස බැලූ විට පෙනී යන්නේ යුගදනවි බලාගාරය පිළිබඳ සුවිශේෂී ප්‍රශ්නයට සීමා නොවූ කිසියම් ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ගොඩ නගා ගන්නට ඔවුන් උත්සාහ දරමින් සිටින බවය.
දැනට එය ඉදිරිපත් වෙමින් ඇත්තේ "මහජන මන්ත්‍රණ සභාව" යන තේමාව යටතේය. ටෝනි බ්ලෙයාර්ගේ ඊනියා නව-කම්කරු පක්ෂයේ නව-ලිබරල් සම්මුතිවාදය සිහියට නංවන "තෙවන මග" යන නමින් සඟරාවක්ද ඔවුන් එළිදක්වා තිබේ.
ජනවාර්ගික බහුතරවාදයේ සීමා :
සිංහල-බෞද්ධ ජාතිකවාදී බුද්ධි ශ්‍රේණීන්ගේ වැඩි සහයෝගයක් හිමිව ඇත්තේ මෙම තෙවන මග ප්‍රවණතාවටය. මෙම එකතුව විසින් ප්‍රයත්න දරනු ඇත්තේ වර්ධනය වෙමින් පවතින පාලනාධිකාර විරෝධය බහුතරවාදී ජාතිකවාදී රාමුවක් තුළ සංවිධානය කිරීමටය.
ඉහත උපුටනය තුළ වීරවංශ "සකල ලෝකවාසීන්" ගැන කතා කළද, ඔහු නියෝජනය කරන ජනවාර්ගික ජාතිකවාදී කතිකාවේ සීමා නිර්ණයන් සකස්ව ඇත්තේ ගුණදාස අමරසේකරගේ "සභ්‍යත්ව රාජ්‍යය" නමැති ෆැසිස්ට් ගම්‍යයන් සහිත කෘතියේ දැක්මට අනුවය.
එසේම, එම කතිකාව තුළ අධිරාජ්‍ය විරෝධය ජනප්‍රිය බටහිර විරෝධයක් බවට ඌනනය කෙරෙන අතර, අහිමි වූ යුක්තිය වෙනුවෙන් ගෝලීය මානව හිමිකම් ආයතනවලට අයැදුම් කරන සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් අධිරාජ්‍යවාදීන්ගේ ස්වදේශික ඒජන්තයින් ලෙස නාමකරණය කෙරේ.
මෙම බහුතරවාදී ජාතිකවාදය විසින් වීරවංශ පෙරමුණේ හෙජමොනික ශක්‍යතාවන්ට විශාල සීමාවක්ද පැනවේ. එනම්, සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ ඉල්ලීම් සහ අභිලාෂයන් තම ව්‍යාපෘතිය වටා ගොණු කර ගැනීමට එය අසමත් වීමයි.
නමුත්, වත්මන් පාලනාධිකාරයට එරෙහි විපාක්ෂික අවකාශය අත්පත් කර ගත හැක්කේ බහුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවේ සැලකිය යුතු තරම් ප්‍රමාණයක සහයෝගය දිනා ගන්නා අතරම දෙමළ, මුස්ලිම්, කිතුණු සහ වතුකරයේ ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම්ද සුසම්බන්ධ කරගත හැකි නායකත්වයකට පමණි.
සිංහල-බෞද්ධ ප්‍රා-චීනවාදය :
වීරවංශ පෙරමුණේ හෙජමොනික ශක්‍යතාවන් සීමා කරන තවත් වැදගත් සාධකයක් තිබේ. එය වත්මන් ලාංකීය දේශපාලන හැඩ ගැසීම් සමග අත්‍යන්තයෙන් බැඳී තිබෙන භූ-දේශපාලනික සාධක හා සම්බන්ධය.
තිසරණී ගුණසේකර නිවැරදිව නිරීක්ෂණය කොට තිබෙන පරිදි, වීරවංශ ඇතුළු ආණ්ඩු පක්ෂ සන්ධානයේ විමතික කණ්ඩායම එක්සත් ජනපද සහ ඉන්දීය අධිපතිවාදයට එක හෙළා එරෙහි වන අතර චීන ආධිපත්‍ය කෙරෙහි සෞම්‍ය ස්ථාවරයක් දරයි.
මහජන මන්ත්‍රණ සභාවේ රැස්වීමේදී ලංකාවේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් චීන පාලනාධිකාරය මෑතකදී දැක් වූ අධිපතිවාදී ප්‍රතිචාරය සෘජුව විවේචනයට ලක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පමණි. (කෙසේ වුවත්, ජයසේකරගේ මේ වෙනස් ප්‍රවේශය සටහන් කර ගැනීම ප්‍රයෝජනවත්ය).
ඊනියා කාබනික පොහොර ආනයනය පිළිබඳ ගැටළුවේදී චීන පාලනාධිකාරය ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධන සේවාවේ පරීක්ෂණ වාර්තා නොතකා හරිමින්ද මහජන බැංකුව අසාදු ලේඛණගත කරමින්ද ක්‍රියා කළ ආකාරය අතිශයින්ම අධිපතිවාදී වූවක් බැව් කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය.
විදේශීය ආධිපත්‍යයට එරෙහි ශ්‍රී ලාංකීය පොදු ජන දේශපාලන අවිඥානය හුදෙක් බටහිර විරෝධයකට පමණක් ලඝු කළ නොහැක. එබැවින්, සියළු ආකාරයේ විදේශීය ආධිපත්‍යයන්ට එරෙහි ස්වදේශික ජනරජවාදී සහ ජන සම්මතවාදී සම්ප්‍රදායන්ට ආමන්ත්‍රණය කිරීමට මෙදා පොටේ ප්‍රා-චීනවාදී වීරවංශ භාෂාව ප්‍රමාණවත් වෙතැයි සිතිය නොහැකිය.
ආර්ථික සටන් පෙරමුණ :
මේ සියල්ලටම වඩා වීරවංශ පෙරමුණේ හෙජමොනික ශක්‍යතාවට ඇති ප්‍රධානතම සීමාව වන්නේ මේ දිනවල වේගයෙන් වර්ධනය වෙමින් පවතින ආර්ථිකමය සහ සමාජමය පීඩනයන්ට එරෙහිවත් අහිමි වෙමින් යන ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වෙනුවෙනුත් පැන නගින මහජන ඉල්ලීම්වලට ආමන්ත්‍රණය කරන්නට එය අසමත් වීමයි.
වත්මන් ආර්ථික සහ සමාජමය අර්බුදයේ තීව්‍රතාව සැලකූ විට, තෝරා ගත් විදේශීය ආධිපත්‍යයකට එරෙහිව ගොඩ නගන බහුතරවාදී ජාතිකවාදී ව්‍යාපාරයක් මගින් පමණක් මේ ජනතා විරෝධය සංවිධානය කිරීමට නොහැකිය. නිශ්චිතවම ආර්ථිකය දේශපාලනීකරණය කිරීමත් ප්‍රජාතාන්ත්‍රික අයිතීන් දිනා ගැනීමත් මේ මොහොතේ රාජපක්ෂ හෙජමොනියට එරෙහි ප්‍රති-හෙජමොනික දේශපාලනයේ කේන්ද්‍රස්ථානයට පත් වීම වැලැක්විය නොහැක.
ගොවි ජනයා කබලෙන් ලිපට ඇද දැමීමට හේතු වන ආකාරයෙන් ක්‍රියාත්මක කරන ලද ඊනියා කාබනික පොහොර වැඩ පිළිවෙළට එරෙහිව ගොඩ නැගෙමින් පවතින පොදුජන විරෝධය දැන් ආර්ථික සටන් පෙරමුණේ තීරණාත්මක සාධකයකි.
ආණ්ඩුවේ විමතික කණ්ඩායමේ සිටින ජනවාර්ගික ජාතිකවාදී කොටස් ආරම්භයේදී මෙම කාබනික පොහොර වැඩ පිළිවෙළට සහාය දැක්වීය. ජාතික සංවිධාන එකතුව එය හැඳින්වූයේ ගෝඨාභය පාලනාධිකාරය විසින් කිසිසේත්ම රිවර්ස් නොකළ යුතු තීරණයක් ලෙසිනි. දැන් තම වැරදි දේශපාලන තක්සේරුව රිවර්ස් කිරීමට ඔවුනටද දුෂ්කර වනු ඇත.
මේ අනුව, වර්ධනය වෙමින් පවතින ජනතා විරෝධය වාමාංශික අලංකාරෝක්තීන් සහිත බහුතරවාදී ජාතිකවාදයක් සමග සුසම්බන්ධ කිරීමේ වීරවංශ ව්‍යාපෘතිය මතුපිටින් පෙනෙන තරම් ශක්තිමත් වූවක් නොවේ. නමුත්, ඉදිරි ප්‍රති-හෙජමොනික දේශපාලනයේ හැඩ ගැසීම් සම්බන්ධයෙන් කිසියම් නිශේධනාත්මක බලපෑමක් ඇති කිරීමට එයට හැකිය.
එනම්, මෙම ජනතා විරෝධය පුළුල් වාම-ප්‍රජාතාන්ත්‍රික අක්ෂයක් ඔස්සේ සංවිධානය කිරීමේ ප්‍රයත්නයන්ට බාධා ඇති කරමින්, රාජපක්ෂ හෙජමොනියට සංකීර්ණ ලෙස සහාය දක්වන පටු ජනවර්ගවාදී සහ ප්‍රා-චීනවාදී හවුලක් නිර්මාණය කිරීමය.
නිදසුනක් ලෙස, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රීලනිපයේ ජනරජවාදී උරුමය නියෝජනය කරන කොටස් වාම-ප්‍රජාතාන්ත්‍රික පෙරමුණක් වෙත දිනා ගැනීමේ ප්‍රයත්නයකට වීරවංශ ව්‍යාපෘතිය සෘජුවම බාධා කරනු ඇත.
ජනතාව ගොඩ නැගීමේ වෙනස් ප්‍රවේශ :
ආණ්ඩු පක්ෂ විමතිකයන්ගේ සම්මන්ත්‍රණයට පසුවදා, එනම් ඔක්තෝබර් 30 වනදා, චම්පික රණවකගේ නායකත්වයෙන් දියත් වන "43 සේනාංකය" පළමු වරට මහජන තලයේ ක්‍රියාත්මක වීම නිවේදනය කළේය.

ජන අරගල දේශපාලනයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය සතු හැකියාව කිසිසේත්ම අවතක්සේරු නොකළ යුතුය.
පසුගිය කාලයේදී ඔවුන්ගේ සක්‍රීය සහභාගීත්වයෙන් දියත් කළ "අසිරි හදවත" ව්‍යාපාරය සහ ඔවුන් වෙනත් වාමාංශික පක්ෂ සමග පොදු ක්‍රියාකාරීත්වයන් සඳහා දැක්වූ උනන්දුව සාක්ෂි දරන පරිදි පෙසප දැන් ප්‍රති-හෙජමොනික දේශපාලනයට දැනුවත්ව මැදිහත් වෙමින් සිටී.
මෙයින් පෙනී යන්නේ විපාක්ෂික නායකත්වයන් ගණනාවක්ම "ජනතාව" ආමන්ත්‍රණය කිරීමේ තරඟයක යෙදී සිටින බව පමණක් නොවේ. කාරණය ඊට වඩා සංකීර්ණය. සැබවින්ම මේ එකිනෙක නායකත්වයන් දකින්නට කැමති වන ජනතාව එකිනෙකින් වෙනස්ය.
තවමත් තමන් දකින්නට කැමති ආකාරයෙන් ජනතාව නමැති දෙය ගොඩ නැගී නොමැති බව වීරවංශ, චම්පික, අනුර, සජිත්, සුමන්තිරන් සේම කුමාර් ගුණරත්නම්ද කල්පනා කරනවා විය යුතුය. "ජනතාව" යනු දැනටමත් පවතින දෙයක් නොව ගොඩ නැගිය යුතු දෙයකි. සැබවින්ම දැන් පවතින්නේ "ජනතාව" වෙනස් ආකාරවලට ගොඩ නැංවීම සඳහා විවිධ හෙජමොනික නායකත්වයන් අතර නිර්මාණය වන අරගලයකි.
එම අරගලයේදී බුද්ධිමය සහ දෘෂ්ටිවාදීමය තලයේ ක්‍රියාකාරීත්වයන්ට විශාල වැදගත්කමක් ලැබේ. "43 සේනාංකය" සේම "ගමෙන් පටන් ගන්නා" ජවිපෙද අත් පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයකින් වැඩ පටන් ගත්තේ ඒ අවබෝධය නිසා විය යුතුය.
ජනතාව යනු නොපවතින දෙයක් නම් කිරීමකි :
මෙලෙස "ජනතාව" වෙනස් ආකාරවලට ගොඩ නැංවීමේ හැකියාවක් ලැබී ඇත්තේ ජනතාව යන්නෙහි නිශ්චිත අරුතක් නොමැති නිසාය. න්‍යායික භාෂාවෙන් කිව හොත්, ජනතාව යනු හිස් හැඟවුම්කාරකයකි (empty signifier). එයට නිශ්චිත තේරුමක් නොමැති නිසාම එයට වෙනස් තේරුම් ලබා දීම සඳහා වූ අරගලයක් පැවතිය හැකි වේ.

යානීස් ස්ටව්රකාකිස්
යානීස් ස්ටව්රකාකිස් "ජනතාවගේ" මෙම ගොඩ නංවන ලද ස්වභාවය කදිමට පැහැදිලි කරමින් මෙසේ පවසයි;
"ක්‍රියාකාරී බලවේගයක් විදියට පවතින ජනතාව කියන්නේ මේ ක්‍රියාවලියේ ආරම්භක අවස්ථාව නෙමෙයි. ඒක තමයි අවසාන අවස්ථාව. ජනතාව කියන්නේ මේ එකිනෙකට වෙනස් කියා පෑම්, එකිනෙකට වෙනස් ඉල්ලීම්, එකිනෙකට වෙනස් අභියෝග එකතු කරලා නිර්මාණය කරන දේ. පවතින තත්ත්වය අභියෝගයට ලක් කරන්න උපාය මාර්ගික එක්සත්කමක් ඇති කර ගැනීමේ ක්‍රියාවලියක් මගින් නිර්මාණය වෙන දේ තමයි ජනතාව. හරියට චිලියේ වගේ.
දැන් මිලියනයක් මිනිස්සු පාරට බැහැල ඉන්නවා. එයාල මීට කලින් කොහෙද හිටියේ? එයාල කොහෙවත් හොයා ගන්න හිටියේ නැහැ. ඊට පස්සේ මේ ජනතාව සාමූහික විෂයක් විදියට නිර්මාණය කිරීමේ, ජනතාවගේ පෙනී සිටීම දැනෙන දෙයක් බවට පත් කිරීමේ ක්‍රියාවලියක් පටන් ගත්තා." (ස්ටව්රකාකිස්, 2020).
සමාජ විස්ථාපනය :

අර්නෙස්ටෝ ලැක්ලාවූ
එවිට, අර්බුදයට පත් වන්නේ සමාජ ආයතන පමණක් නොවේ. රාජ්‍ය ව්‍යුහයන් පමණක් නොවේ. මිනිසුන් එතෙක් හුරු පුරුදු වී සිටි සමාජ ක්‍රියාපාටීන් පමණක් නොවේ. එකී ආයතන, ව්‍යුහයන් සහ භාවිතයන් සමග සම්බන්ධ වීමෙන් මිනිසුන් ගොඩ නගාගෙන සිටි සමාජ සහ පුද්ගල අනන්‍යතාවන්ද අර්බුදයට පත් වේ. කොටින්ම මිනිසුන් කුමක් කරන්නදැයි නොදන්නා, කොහේ යන්නේදැයි නොදන්නා අන්ද මන්ද වූ තත්ත්වයකට පත් වේ. එතෙක් කලක් තම ජීවිතවලට කිසියම් තේරුමක් ලබා දුන් මහා කතන්දර තවදුරටත් විශ්වාස කළ නොහැකි මං මුලා වූ තත්ත්වයකට ඔවුන් ඇද වැටේ. දේශපාලන අර්බුදය අනන්‍යතා අර්බුදයක් ලෙස ප්‍රකාශයට පත් වන්නේ මෙනිසාය.

මාවෝ සේතුං
ජාතිය සහ ජනතාව :
වීරවංශට කියන්නට ඇති කතන්දරය පැරණි එකක් වන්නේ මන්ද? මේ කාරණය පැහැදිලි කිරීම සඳහා යුරෝපීය සංධර්භය තුළ ස්ටව්රකාකිස්ගේ තවත් නිරීක්ෂණයක් සැලකිල්ලට ගැනීම වටී. ඔහු මෙසේ පවසයි;
"ඔයා දක්ෂිණාංශික ජනතාවාදියෙකුගෙන් ඇහුවොත් එයාල කතා කරන ජනතාව කවුද කියල, එයාල ජාතිය, ලේ, වර්ගය වගේ දේවල් ගැන කියයි. එතන ඉතාම තද හැඟවුම්කරණ ක්‍රියාවලියක් තියෙනවා. ඒක "ජනතාව" කියන මේ අයැදුමේ විවෘතභාවයට සීමා පණවනවා."
පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජයගොඩගේ වචනයෙන් කිව හොත්, "වසංගතය වසන්තයක් වූ පන්තිය" ට එරෙහිව "වසංගතය ව්‍යසනයක් වූ පන්තිය" යනු එයයි. (ඇතැම් ඓතිහාසික සංධර්භයන් තුළ, නිදසුනක් ලෙස ආජන්ටිනාවේ පෙරොන්වාදය තුළ, "කම්කරුවන්" යන්න "ජනතාව" හඳුන්වන නාමයක් ලෙසින් යොදනු ලැබී යැයි ලැක්ලාවූ පෙන්වා දෙයි). (ලැක්ලාවූ, 2005:87). කෙසේ වෙතත්, එය දැනටමත් පවතින්නක් නොව දේශපාලනිකව ගොඩ නැංවිය යුත්තකි.
සාම්‍යතා දාමයක අවශ්‍යතාව:
මේ මොහොතේ අප ඉදිරියේ ජනතා අරගල රාශියක් පවතී. තම වෘත්තීය අයිතීන් උදෙසා සටන් වදින ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්, අධ්‍යාපනික අයිතීන් වෙනුවෙන් සහ රාජ්‍ය මර්දනයට එරෙහිව අරගලයේ නියුතු ශිෂ්‍යයින්, මහා සමාගම්වලට පමණක් වාසි ගෙනදෙන ඊනියා කාබනික පොහොර වැඩ පිළිවෙලට එරෙහිව අරගල කරන ගොවීන්, තම ආර්ථික අයිතීන් වෙනුවෙන් හඬ නගන රාජ්‍ය සහ පුද්ගලික අංශයේ කම්කරුවන්, ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන්, පොදු දේපළ පුද්ගලීකරණයට එරෙහි වෘත්තීය සමිති, ස්වදේශික සම්පත් එක්සත් ජනපද, ඉන්දීය හෝ චීන සමාගම්වලට පැවරීමට එරෙහි දේශප්‍රේමීන් යනාදී කණ්ඩායම් රාශියක් ඒ අතර වෙයි. ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට වුවමනාවක් තිබෙන සියලු දෙනා ඉදිරියේ දැන් පවතින ගැටළුව වන්නේ මේ වෙනස් ජනතා නැගී සිටීම් අතර පොදු එක්සත් බවක් ගොඩ නගන්නේ කෙසේද යන්නයි.
මේ අරගලයේ නියුතු සියළු දෙනාට එක් දේශපාලන පක්ෂයක් යටතේ සංවිධානය වන ලෙස ඉල්ලා සිටීම දැන් කෙසේවත් ප්‍රායෝගික නැත. සියළු කණ්ඩායම් අතර වෙනස්කම් මකා දමා පොදු තැනකට පැමිණෙන්නැයි ආරාධනා කිරීමෙන්ද පලක් වන්නේ නැත. විවිධ කණ්ඩායම්වලට ඇත්තේ එකිනෙකට වෙනස් සහ සුවිශේෂී වූ ඉල්ලීම්ය.
එම විවිධත්වය සහ වෙනස්කම් මුළුමනින්ම අහෝසි කර දැමීමට දරන ප්‍රයත්නයක ප්‍රතිපලය වනු ඇත්තේ වඩා භයානක සමස්තතාවාදයකි. නමුත්, මේ සියළු දෙනාට කිසියම් "පොදු සතුරෙකුට" එරෙහිව එක් විය හැකිය.
ජනතාවාදී දේශපාලනයේදී පොදු සතුරා වන්නේ ප්‍රජා-පීඩක ප්‍රභූ පාලක අතලොස්සයි. නමුත්, වීරවංශගේ වැනි ජාතිකවාදී නායකත්වයන් ප්‍රයත්න දරනු ඇත්තේ ජනතාවගේ සතුරාගේ තැනට "බටහිර බලවතුන්" ලෙස පාර්ශවීයව නිර්වචනය කරන ලද විදේශික බලවේග පත් කොට, සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් සහ ලිබරල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන් එම සතුරු කඳවුරට ගාල් කිරීමටය; ඒ අතරම වත්මන් පාලනාධිකාරයේ කිසියම් කොටසක් ජනතාවගේ මිතුරන් ලෙස නැවත භෞතීස්ම කිරීමටය. මේ අනුව, සමාජය බෙදනු ලබන්නේ කුමන පසමිතුරුතා අක්ෂය ඔස්සේද යන්න තීරණය වන්නේ හෙජමොනික අරගලය මගිනි.
ජනතාවගේ කඳවුර තුළ සිටින විවිධ කණ්ඩායම් එකිනෙකින් වෙනස් වන අතරම ඔවුන් අතර කිසියම් සාම්‍යතාවක්ද ගොඩ නැගිය හැකි බවය, මෙයින් කියැවෙන්නේ. අරගලයේ යෙදෙන බලවේග තුළ මෙලෙස "වෙනස්භාවයේ තර්කනය" සේම "සාම්‍යතාවයේ" තර්කනයද ක්‍රියාත්මක වේ. මේ මොහොතේ ලාංකීය වාම-ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය ඉදිරියේ තිබෙන ප්‍රධානතම අභියෝගය වන්නේ විවිධ කණ්ඩායම් අතර සාම්‍යතා තර්කනය වැඩි වර්ධනය කරන්නේ කෙසේද යන්නයි.
ගුරු අරගලයේ පාඩම් :

ගුරු අරගලය නිදසුනක් ලෙස ගනිමු. අරගලයේ නිරත ගුරු විදුහල්පති ප්‍රජාව ඉතාම බුද්ධිමත් ලෙස තමන්ව සෙසු ප්‍රජාවන්ගෙන් හුදෙකලා කිරීමට පාලනාධිකාරය දැරූ ප්‍රයත්නය පරාජය කරන්නට සමත් වී තිබේ. ඒ, දෙමාපියන්, ආදී සිසු සිසුවියන්, සෙසු වෘත්තීය සමිති ඇතුළු පුළුල් සහයෝගීතා ජාලයක් ගොඩ නගා ගන්නට සමත් වීමෙනි.
නමුත්, එය තවමත් ඇත්තේ සාම්‍යතා දාමයක් ගොඩ නැගීමේ ආරම්භක අවස්ථාවේ පමණි. විවිධ කණ්ඩායම් අතර සහයෝගීතාව ගොඩ නැගීම පමණක් ජනතාවාදී දේශපාලනයේදී කොහෙත්ම ප්‍රමාණවත් වන්නේ නැත. එයින් ඔබ්බට යන්නට නම්, තම සුවිශේෂී වෘත්තීය ඉල්ලීම්වල සීමාව තරණය කරන්නට ගුරු-විදුහල්පති ප්‍රජාව සමත් විය යුතුව තිබේ.
සරලව කිව හොත්, ගුරු අරගලය බහුජන අරගලයක් බවට පරිවර්තනය කිරීමට නම්, මින් පෙර විශ්වවිද්‍යාල ආචාර්ය සමිති අරගලයේදී ඉදිරිපත් කරන ලද "අධ්‍යාපනයට 6%" වැනි සටන් පාඨයක් වුවමනා වේ.
ජනතාව වෙනස් ආකාරයකට ගොඩ නැගීමේ දේශපාලනයකදී සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් මානයක් අපට ඉහත සාකච්ජාව තුළින් මතු කර ගත හැකිය. එනම්, සුවිශේෂී අරගලයක් විසින් "විශ්වීයත්වයේ ස්ථානය" අත්පත් කරගන්නේ කෙසේද යන්නයි. ජනතාව එක්සත් කරන "විශ්වීය ආමන්ත්‍රණයක්" නිර්මාණය කරන්නේ කෙසේද යන්නයි. දැනටමත් මේ ලිපිය බොහෝ දීර්ඝ වී පවතින බැවින් එය මීළඟ කොටසින් සාකච්ජා කරන්නට බලාපොරොත්තු වෙමි.

පරිශීලන
Gunasekara, Tisaranee, 24th October, 2021, The Two year Crash Course, in https://www.colombotelegraph.
Laclau, Ernesto, 1990, New Reflections on the Revolution of Our Time, Verso: New York and London.
Laclau, Ernesto, 2005, On Populist Reason, Verso: New York and London.
Stavrakakis, Yanis and Zamponi, Lorenzo, 2020, The People is an Empty Signifier, In The Populismus, No. 06.
ලේඛකයාගේ වෙනත් ලිපි :
වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? (තෙවන කොටස) -සුමිත් චාමින්ද
වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? (දෙවන කොටස) -සුමිත් චාමින්ද
වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? - සුමිත් චාමින්ද
කොරෝනා ව්‍යසනය ලෝකයම වෙනස් කරන කේන්ද්‍රීය මොහොතක්! - කථිකාචාර්ය සුමිත් චාමින්ද
ඔස්ට්‍රියාවෙන් වාමාංශයට පාඩමක්
ලන්සාට ගොඩහේවගෙන් සැර රිටන් එකක්!