නතාෂා නම් ප්‍රහසන කලා ශිල්පිනිය අත්අඩංගුවට ගැනීමට උසිගැන්වූ හා එය සාධාරණීකරණය කිරීමට කෙස් පළන බොහෝ දෙනෙක් ඇය කීවේ කුමක්දැයි අසා නැති බව පෙනේ.



අදාළ වීඩියෝව මේ වන විට ඉවත් කර ඇති නිසා, මෙම ආන්දෝලය ගැන සුල මුල සොයන පමාවූ බුකිවාසීන්ට සිදුව ඇත්තේ විවිධ අයගේ රචනා මත යැපීමටය. ඒ නිසා, අදාළ වීඩියෝව නැරඹූවකු ලෙස, ⁣එහි මේ ආන්දෝලනයට අදාළ කොටස ගැන සටහනක් තැබීම ⁣හුදී බුකි ජන පහන් සංවේගය පිණිස වැදගත් වනු ඇතැයි සිතමි.

ඇය කීවේ කුමක්ද? බුදුන්ට හෝ බුද්ධාගමට ඇය අපහාස කළාද? නොඑසේ නම් ඒ චෝදනාවට පාදක වූ ප්‍රකාශය හා එය පිහිටුවූ සන්දර්භය කුමක්ද?

 

ඇය  කතා කළේ අපේ සමාජයේ බොහෝ මව්වරුන් අතර පවතින සුලබ ව්‍යාධියක් වන, තම දරුවා අල්ලපු ගෙවල්වල දරුවන් සමඟ සංසන්දනය කරමින් හෙළා දැකීමේ ව්‍යාධියයි. මෙය දරුවා උපන් දා සිටම ඇරඹෙන්නකි. ඇවිදීම, කතා කිරීම, කෑම, ශාරීරික වර්ධනය, ඉගෙනීමේ දක්ෂතා යනාදී හැම තැනකදීම; කොටින්ම ජීවිත කාලය පුරාම මේ කන්දොස්කිරියාව සිදු වේ. ටානියා කතා කළේ, මේ ව්‍යාධිය නිසා දරුවන්ට එල්ලවන පීඩනය ගැනයි. සිද්ධාර්ථ ගැන උදාහරණය එන්නේ එතැනදීය. ඇය ඇසුවේ අසාමාන්‍ය දක්ෂතා ඇති දරුවකු වන සිද්ධාර්ථගේ අල්ලපු ගෙදර දරුවාට කොහොම පීඩනයක් එල්ල වන්නට ඇත්ද යන්නයි. "අර බලන්න සුද්ධෝදනගෙ දරුව නම් උපන් හැටියෙම ඇවිද්දා, කවියකුත් කිව්වා, ඒකට මේ ළමයා.." යනාදී වශයෙන් නිරන්තරයෙන් අවමානයට ලක් වන්නට ඇති බවයි. සිද්ධාර්ථ සමග හැදී වැඩුණු දේවදත්ත පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ ඇති කතන්දරයට මෙය සම්බන්ධ කර, පස්සෙ කාලෙක ගල් පෙරළන්න තරම් තරහක් එන්නට ඇත්තේ ඒ නිසා බවද පැවසුවාය! එපමණකි.

බෞද්ධ සාහිත්‍යයේ එන කතා, යම් යම් දේ පැහැදිලි කිරීමට යොදාගැනීම හාමුදුරුවරුන්ගේ බණවල සිට දේශපාලන කතා දක්වා හැම තැනකදීම, නිරන්තරයෙන්ම සිදුවන්නකි. එයට කිසිම තහනමක් නැත. නතාෂා කළේද තමන් කියන කරුණ අවධාරණය කිරීමට අදාළ තැනකින් උදාහරණයක් ගැනීමය. ඒ උදාහරණයෙන් අපහාසයක් වී නම්, ඒ බුදුන්ට හෝ සිද්ධාර්ථට නොව, දේවදත්තගේ මෑණියන්ටය!

ඇත්තෙන්ම ඇය කළේ හුදු සිල්ලර විහිළුවක් නොවේ. ඉතා ගැඹුරු විෂයයක් ගැන හාස්‍යෝත්පාදක විවරණයකි. ඒ කියූ කාරණය මනෝවිද්‍යාත්මක අර්ථයෙන් බැලුවත් සත්‍ය නොවේද?

කලාවේ අරමුණ සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාව කරා කැඳවීම නම්, ඇය එය මැනවින් කර තිබේ. කලා විහීන මුග්ධයින්ට එය නොතේරුණාට ඇය පළිද? බවතරණය ලියූ විට මාර්ටින් වික්‍රමසිංහ දංගෙඩියට දැක්කීමට වලිග කරේ තියාගෙන නැටුවේ, අද නටන අයගේ මුත්තලාය!

නතාෂා ප්‍රහසන කලා ශිල්පිනියක ලෙස කළේ නිර්මාණාත්මක කාර්යයකි. එය සැබැවින්ම අර්ථවත් කලාත්මක වෑයමකි. මෙහි සිටින ළිං මැඩියන්ට හහා දැමීමට කරුණක් වුවද පහත වාක්‍ය කිහිපය කල්තියා ලියා තබමි.

"ශිෂ්ට ලෝකය ඇගේ ප්‍රකාශනය කලාත්මක ප්‍රකාශනයක් ලෙස පිළිගනු ඇති අතර, කලාකාරිනියකට හිමි ගෞරවය හා රැකවරණය සලසනු ඇත! අදහස් පළ කිරීමේ නිදහස පුළුල් ලෙස අර්ථ දක්වා ඇති නීතියද ඇය නිදොස් කොට නිදහස් කරනු ඇත!"


jeewantha(ජීවන්ත ලියනගේ)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


Jeevantha Liyanage ගේ ෆේස්බුක් පිටුවෙන් ..


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්