BREAKING
Top Ad
ආලින්දයෙන් ඔබ්බට

ආලින්දයෙන් ඔබ්බට : දේශපාලන භූමියේ නරුමත්වය පිළිබිඹු කෙරෙන 'ගගන පියවර' - (ජයසිරි අලවත්ත)

T

The Leader

May 14, 2023 • 2:09 AM

ආලින්දයෙන් ඔබ්බට : දේශපාලන භූමියේ නරුමත්වය පිළිබිඹු කෙරෙන 'ගගන පියවර' - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘බලය’’ නමැති වදන අරුත් ගැන්වීමේ දී එහි පාර්ශ්ව කිහිපයක් පවතී. එනම්: විදුලි බලය, ජල බලය, වාෂ්ප බලය, සුළං බලය, තාප බලය සහ චුම්භක බලය යනාදි වශයෙනි.
  • මේ සියලු ක්‍රම තුළ අදාළ පාලක පෙළැන්තිය:  බලය ලබාගැනීම සඳහා මෙන් ම බලය ආරක්ෂා කරගැනීම සඳහා ජීවිත දස ලක්ෂ ගණනින් විනාශ කර ඇත.
  • දේපළ ගිණිය නොහැකි තරම් විනාශ කර ඇත.
  • එහෙත් ඒ සියල්ල තාවකාලික ජයග්‍රහණ බව එදා බලය හෙබවූවෝ ද, අද බලය හොබවන්නෝ ද බිඳකුදු වටහා නොගත්හ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ භෞතික විද්‍යා විෂයට අදාළ නාමකරණ වේ. මෙහි අනෙක් පාර්ශ්වය වන්නේ මිනිසුන් විසින් මිනිසුන් වෙත පවරනු ලබන බලය යි. එය ‘‘දේශපාලන බලය’’ යනුවෙන් හැඳින්වේ.


බලය ලබාගැනීම, පවත්වාගෙන යාම සහ රැක ගැනීම

ලෝකයේ බොහෝ මිනිස් ඝාතන, දේපළ විනාශ කිරීම් යනාදි බහුතරයක් විනාශ සිදුවී තිබෙන්නේ යට කී දේශපාලන බල අරගලය හේතුවෙනි. කිසියම් පුද්ගලයෙකු විසින් හෝ කණ්ඩායමක් විසින් කුමන හෝ ආකාරයෙන්, අසීරුවෙන් බලය ලබාගත් පසු ඉක්බිති යත්න දරන්නේ ලබාගත් බලය රැකගැනීම සඳහා ය. අදාළ පුද්ගලයා හෝ කණ්ඩායම බලය ලබා ගැනීම සඳහා කිසියම් අකටයුතු වැඩ කොටසක නියැළුණේ ද, ලබාගත් බලය රැක ගැනීම සඳහා පෙරටත් වඩා දරුණු අකටයුතුකම්වල යෙදීම වැළැක්විය නොහැකි කරුණකි.
 
poqer

මෙහි දී බලය රැකගැනීම උදෙසා අදාළ පුද්ගලයා හෝ කණ්ඩායම තම ආසන්නතම මිතුරාගේ සිට: සොයුරකු, සොයුරියක, ඥාතියෙකු මතු නොව සිය බිරිඳ හෝ දරුවකු වුව ද: බියගැන්වීමට, පැහැරගෙන යාමට, අතුරුදන් කිරීමට මතු නොව ඝාතනය කිරීමට වුව ද පසුබට නොවේ. සරලව ම පවසන්නේ නම් ‘‘බලය’’ යනු මානුෂිකත්වය අංශු මාත්‍රයකට නොසලකන සාධකයකි.
 
 
මේ සඳහා ලෝකයේ සජීවී අත්දැකීම් අනන්ත ය; අප්‍රමාණ ය. එය රාජාණ්ඩු ක්‍රමයේ ද, වැඩවසම් ක්‍රමයේ ද, ධනවාදී ක්‍රමයේ ද, සමාජවාදී ක්‍රමයේ ද මතු නොව නව ලිබරල්වාදී ක්‍රමයේ ද වෙනසක් නොමැත. මේ සියලු ක්‍රම තුළ අදාළ පාලක පෙළැන්තිය:  බලය ලබාගැනීම සඳහා මෙන් ම බලය ආරක්ෂා කරගැනීම සඳහා ජීවිත දස ලක්ෂ ගණනින් විනාශ කර ඇත. දේපළ ගිණිය නොහැකි තරම් විනාශ කර ඇත. එහෙත් ඒ සියල්ල තාවකාලික ජයග්‍රහණ බව එදා බලය හෙබවූවෝ ද, අද බලය හොබවන්නෝ ද බිඳකුදු වටහා නොගත්හ. අනාගතයේ ද එය එලෙසම සිදුවන බව සක් සුදක් සේ පැහැදිලි ය. දේශපාලන ක්ෂේත්‍රයේ නම් එය ඕනෑන පාලන ක්‍රමයකට සමපාත වනවා මිස අඩු වැඩි නොවන බව ලෝක දේශපාලන ව්‍යුහය මැනවින් ප්‍රකට කර ඇත. වර්තමානයේ ද එය ම ප්‍රකට කරමින් පවතී. අනාගතයේ ද එහි වෙනසක් නොවන බව සහතික ය.
 
දේශපාලන බලය සහ කලා නිර්මාණ

ResizeImageයට කී දේශපාලන බලය සම්බන්ධයෙන් වූ විවිධ සාහිත්‍ය නිර්මාණ අප කියවා ඇත. මෙය ඉතා සෞන්දර්යාත්මක ලෙස ප්‍රකට කළ සාහිත්‍ය කෘතියක් ලෙස මොහාන් රාජ් මඩවල විසින් රචිත ‘‘ලොවීනා’’ කෘතිය හැඳින්විය හැකි ය. දෙස් විදෙස් සිනමා නිර්මාණ ද අනන්තවත් පවතී. ටෙලි නිර්මාණ ද පවතී. ලාංකීය ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ ද මෙම අනුභූතිය පාදක කරගනිමින් බොහෝ නිර්මාණ බිහිවී තිබේ. එබඳු නිර්මාණ අතුරෙන් මෑතක වඩාත් කතාබහට ලක්වු නිර්මාණ ලෙස: ‘‘කුඹියෝ’’, ‘‘වීරයා ගෙදර ඇවිත්’’ සහ ‘‘වීදුරු මල්’’ යන නිර්මාණ අමතක කළ නොහැකි ය. ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ ඒ හා සමාන ම ටෙලි නිර්මාණයක් පසුගිය දිනෙක අවසන් විය. ඒ, චන්දික විජයසේන අධ්‍යක්ෂණය කළ ‘‘ගගන පියවර’’ ටෙලි නිර්මාණය යි.
 
 
telesdj

හතුරා ද මිතුරකු වන මිතුරා ද හතුරකු වන දේශපාලනය

මෙම ටෙලි නිර්මාණය පුරා ම විදාරණය වන්නේ ආර්ථික දියුණුව පමණක් ඉලක්ක කරගත් පුද්ගලයකුගේ නරුමත්වය යි; එම පුද්ගලයා ආයුධයක් ලෙස භාවිත කරමින් සිය ව්‍යාපාරික ජාලය වර්ධනය කරගැනීම සඳහා යත්න දරන කූට ව්‍යාපාරිකයකුගේ සටකපට භාවය යි; ඔහුගේ අමානුෂික ක්‍රියා පටිපාටිය යි.

දේශපාලන ක්ෂේත්‍රයේ අනුභූති ඇසුරෙන් නිර්මිත බොහෝ කලා නිර්මාණවල දී අප බොහෝ විට අත් දැක තිබෙන්නේ අදාළ දේශපාලකයාට ඉහළට ගමන් කිරීමට මාර්ගය පෑදූ පුද්ගලයන් හෝ කණ්ඩායම් අවසන අදාළ දේශපාලකයාගේ හෝ දේශපාලන ව්‍යාපාරයේ ගොදුරු බවට පත්වීම ය. පසුගිය වකවානුවේ සජීවී අත්දැකීම් කිහිපයක් සිහිපත් කරන්නේ නම්: බැද්දගාන සංජීව,: චණ්ඩි මල්ලි සහ වම්බොට්ටා යන නම්වලින් හැඳින්වූ පුද්ගලයන් නම් කළ හැකි ය. මීට අමතරව මෙම ව්‍යසනයේ ගොදුරු බවට පත්වූ පාතාල සාමාජික සාමාජිකාවෝ බොහෝ වෙති. මා මේ සඳහන් කළේ එකවර ම මතකයට එන තිදෙනෙක් පමණි.
 
 
අප මෙතෙක් ලද අත්දැකීම් එසේ වුව ද ‘‘ගගන පියවර’’ ටෙලි නිර්මාණයේ මෙම ව්‍යසනකාරි තත්ත්වය මීටත් වඩා ඛේද ජනක ලෙස ඉදිරිපත් කරයි. මෙහි ප්‍රධාන චරිතය වන ජාලිය (නිරෝෂන් විජේසිංහ) සිය බිරිඳ අත්හැර දමමින් අරඹන දේශපාලන ගමනේ දී ඔහුට අතහිත දුන් ආසන්නතම මිතුරා ද, ඒ මිතුරාට ජාතකව සිය පළමු බිරිඳගේ කුසින් වැදූ දියණිය ද ඝාතනයට ලක් කරයි. එමතු නොව ඔහුගේ පළමු විවාහයේ දරුවා පවා ඝාතනය කරන්නට පෙළඹේ. මේ සියල්ල මෙහෙයවන්නේ හපුආරච්චි නමැති ව්‍යාපාරිකයා වීම මෙම නිර්මාණයේ තවත් විශේෂත්වයකි.
gagana 1
 
යථා ලෝකයේ තත්ත්වය ද ඊට වෙනස් නොව බව ලාංකීය දේශපාලන භූමියේ රුව ගුණ හොඳින් හඳුනන පිරිස් නොදන්නවා නොවේ. දේශපාලකයන් ගෙඩනැගීම හෝ පොළොවට සමතලා කර දැමීම හොඳින් ම කළ හැකි වන්නේ ව්‍යාපාරික ප්‍රජාවට ය. ‘‘ගගන පියවර’’ නිර්මාණයේ හපුආරච්චි (මහේන්ද්‍ර වීරරත්න) ඊට කදිම නිදසුනකි.

ප්‍රධාන දේශපාලකයා වන ජාලිය සිය විවාහක බිරිඳ අත්හැර දැමීමේ සිට සිය ලෙයින් උපන් දරුවා තමාගේ දරුවකු නොවන බවට නීතිය ඉදිරියේ ඔප්පු කිරීම මෙන් ම තම දරුවා ඝාතනය කිරීමට උත්සාහ දක්වා අමානුෂික මෙහෙයුමක නිරත වන්නේ බලය දේශපාලකයාටත් වඩා වටින්නේ ව්‍යාපාරිකයාට යන මතය තහවුරු කරමිනි.

තවත් පසෙකින් ගත් විට මෙහි එන අනුවේදනිය තත්ත්වය වන්නේ මේ දේශපාලකයා තමාගේ ම පියා බව නොදැන, කුඩා කලසිට ම එම නිවසේ හැදී වැඩී, එම දේශපාලකයාගේ සියලු මැර ක්‍රියා සිදුකරන්නේ ඔහුගේ ම සුජාත පුත්‍රයා වීම ය.

ආරය නාමයෙන් නොකළ යුතු දෑ
 
maxresdefault

මෙහි දී ජාලිය නමැති නරුම දේශපාලකයාගේ පළමු බිරිඳ වන මාලනී (හිමාලි සිරිවර්ධන) ඇගේ ආදරයේ නාමයෙන් සියල්ල විඳ දරාගැනීම කෙතරම් දුරට සාධාරණ ද යන්න නිශ්චය කළ නොහැකි තත්ත්වයකි. ඇගේ දරුවා අවසන පාතාල නායකයෙකු වන්නේ ඇගේ ම වරදින් නොවේදැයි කිසිවකු ප්‍රශ්න කළහොත් එය අසාධාරණ නොවේ. මන්ද ඇය, ඇයට පමණක් නොව ඇගේ දෙවන විවාහයේ (නීත්‍යනුකුල නොවන) සැමියා සහ දරුවාගේ ජීවිත පවා අහිමි වන්නේ ද ඇය ජාලිය නමැති නරුමයා (ඇගේ නිත්‍යනුකුල සැමියා) කෙරෙහි දක්වන ආදරය හේතුවෙන් ම ය. ජාලිය සිය නරුමත්වය දිගින් දිගටම පවත්වාගෙන යන්නේ එකී ආදරය හේතුවෙන් ම ය. මගේ කියවීමට අනුව නම් ඇය ද අදාළ සිදුවීම් දාමයේ චූදිතාවකි. ඇය සියල්ල පසක් කරගන්නේ ජාලිය නමැති නරුම දේශපාලකයා නීතිය ඉදිරියේ ඇගේ පතිභක්තිය කෙලෙසා දැමීමෙන් ඉක්බිතිව ය. ඔබ අප අතර ද මෙවන් ගැහැනු සිටින්නට පිළිවන.

දේශපාලන සූදුවේ තුරුම්පු

දේශපාලනය යනු තනිකරම සූදු ක්‍රීඩාවක් බව ලාංකීය දේශපාලනය නිවැරැදිව කියවා ගන්නේ නම් ඉතා මැනවින් වටහාගත හැකි ය. මෙම නිර්මාණයේ එන පිලිප් ශාන්ත නමැති තරුණ දේශපාලකයා ද එකී සූදුවේ ම නිරතවන්නෙකි. ඔහු කල් යල් බලා වාසි සහිත තුරුම්පුව පිටියට දමන්නේ එබැවිනි. අනාගතයේ දී මාලනි ඔහුගේ ඉත්තෙක් විය නොහැකි යැයි කෙසේ නම් විශ්වාස කරන්න ද?
 
gagana 2

දෙමාපියන්ගේ වැරැදි හේතුවෙන් එකම පියෙකුගේ රුධිරයෙන් ජනිත වූ තරණයකු සහ තරුණියක අතර විරුද්ධ ලිංගික ආදරයක් හටගැනීම ද මෙම නිර්මාණයේ එක් පසෙකින් ප්‍රචලිත කරයි. මා යට සඳහන් කල පරිදි එයට ද මාලනී වගකිව යුතු නොවන්නේ ද යන්න විමසිය යුතු ය. ආදරයේ බොළඳත්වය ද මෙහි යම් පමණකට විදාරණය කෙරේ. ජාලිය, මිගාර ඔහුගේ පුතෙකු නොවන බව නීතිය ඉදිරියේ ඔප්පු කළ පමණින් ම එය සත්‍යයක් යැයි ජාලියගේ දියණිය පිළිගැනීම සහ ඇය නැවත සිය සහෝදරයාට ආදරය කිරීමට පෙලඹීම ඊට කදිම නිදසුනකි. එය එක් අතකට ආත්මාර්තකාමිත්වය යි. මන්ද ඇය ප්‍රාර්ථනා කරන්නේ ම මිගාර යනු සිය පියාගේ ම දරුවකු නොවන්නැයි යනුවෙනි. ඇගේ පාර්ශ්වයෙන් ගත් විට එහි වරදක් ඇතැයි පැවසිය නොහැකි ය. නමුදු මේ සියල්ල වසංකරන ජාලිය කෙතරම් නරුමයෙක් ද...?

නිර්මාණයේ නිෂේධනීය පාර්ශ්ව
 
නිර්මාණයේ සාධනීය පාර්ශ්වය මෙන්ම නිෂේධනීය පාර්ශවය පිළිබඳව ද යමක් පැවසිය යුතු ය. එහි දී මෙය ප්‍රබන්ධයක් ය යන්න කිසිසේත් ම අමතක නොකරන අතර ම ඇතැම් සිද්ධි කතාව දිගු කිරීම සඳහා අලවාගත් කොටස්දැයි සැක සිතෙන තරම් ය. එහි පළමුවැන්න නම් විහඟ නමැති චරිතය අතුරුදන් වීම ය. දෙවැන්න චාපාගේ මරණය යි. එය පළමු තිර පිටපතේ තිබුණා ද යන්න පවා සැක සහිත ය. මන්ද මෙම නිළිය ම රඟ පැ තවත් ටෙලි නිර්මාණයක ද ඇගේ චරිතය ඝාතනයට ලක් කෙරේ. මේ සිදුවීම් දෙක ම අදාළ පළමු තිර පිටපත්වල තිබුණේ ද එසේත් නොවේ නම් නිළියගේ ගැටලුවක් හේතුවෙන් තිර පිටපත් වෙනස් කළා ද යන්න සැක සහිත ය. මගේ අදහස ඇතැම් විට උපකල්පනයක් විය හැකි ය. ඒ වෙනුවෙන් අදාළ නිර්මාණකරුවන්ට පිළිතුරු සැපයිය හැකි ය.
 
 
ගගන පියවර අවසානයේ එක් දර්ශනයක ජාලියගේ පෝස්ටරයක් වසා මාලනිගේ පෝසරයක් ඇලවීම මගින් ජාලියගේ පරාජය සහ මාලනිගේ ජයග්‍රහණය සංකේතවත් කරන්නට තිර රචකයා බලාපොරොත්තු වූවා විය හැකි ය. නමුදු පවතින දේශපාලන ක්‍රමයට එරෙහි නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටින බව පුල පුලා පවසන දේශපාලන ව්‍යාපාරයක් එබදු දෑ කීරිම කෙතරම් දුරට සාධාරණ ද යන දේශපාලන පැනයක් මතු වේ. නමුදු වර්තමානයේ දේශපාලනයේ නිරත එබදු දේශපාලන පක්ෂ පවා එබඳු ක්‍රියාවල නිරතවීම පිළිබිඹු කරන්නට තිර රචකයාට වුවමනා වුවා ද යන්න ද සලකා බැලිය යුතු ය.
 
 
අනෙක් දුර්වලතාව වන්නේ එතරම් ප්‍රබල ඇමතිවරයෙක් එක් මැතිවරණයකින් පරාජය වු සැණින් යළි පරණ නාටාමි තත්වයට පත්වේ ද යන්න ය. එසේ වන්නට නම් ඔහු දේශපාලනයෙන් මුදල් සරි කරගත් පුද්ගලයෙකු නොවිය යුතු ය. නමුත් තිර රචනය පුරා ම විදාරණය කෙරෙන්නේ ඔහු සිය දේශපාලන දිවිය තුළ විශාල වශයෙන් මුදල් සරි කරගත් බවයි. එබඳු පුද්ගලයෙක් එක් මැතිවරණයකින් පරාජයට පත්වු සැනින් එතරම් අසරණත්වයට පත්වේ ද යන්න ගැටලු සහගත ය. තිර රචකයා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ අදාළ දේශපාලන පාර්ශ්වයේ ම කඩාවැටීම විය හැකි ය. ප්‍රබන්ධයක් වුව ද එය තරමක් අභව්‍ය බව මගේ පුද්ගලික හැඟීම ය.
 
gagana 3

තවත් පසෙකින් ගත් විට ප්‍රධාන චරිත හැර අනෙක් බොහෝ චරිත රංගනයේ යෙදෙන පිරිස් තම තමන්ගේ චරිතවලට සාධාරණය ඉටු කළා ද යන්න පවා ගැටලුවකි. මෙහි ප්‍රධාන චරිත වන: මාලනි, ජාලිය, හපුආරච්චි, ජාලියගේ දෙවන බිරිඳ, පුතා සහ දියණිය, ග්‍රේෂන් සහ කළු මහත්තයා යන චරිතවලට පණ පෙවු අය හැරුණ විට මිගාර ප්‍රමුඛ අනෙක් චරිත සඳහා පණපෙවූ කිසිවකු ප්‍රේක්ෂක අවධානයට ලක්වන්නට ඇතියි සිතිය නොහැකි ය.
 
 
කෙසේ වුව ද සමස්තයක් ලෙස ගත් විට ‘‘ගගන පියවර’’ ලාංකීය දේශපාලන භූමිකාවේ අභ්‍යන්තර ස්වරූපය කිසියම් දුරකට විවරණය කළ නිර්මාණයක් ලෙස සැලකිය හැකි ය; ලාංකිය දේශපාලකයා යනු මනුෂ්‍යත්වය බිඳකුදු නොතකා හරින නරුම පුද්ගල සාධකයක් වන බව ද මෙම නිර්මාණය තුළින් ප්‍රකට කෙරේ.


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
 

2023/05/14


ආලින්දයෙන් ඔබ්බට පසුගිය ලිපි :

ආලින්දයෙන් ඔබ්බට 14 : 'එයා දැන් බැඳලා' නාය ගියා ද...? - (ජයසිරි අලවත්ත)


ආලින්දයෙන් ඔබ්බට 13 : සබුද්ධික ඡන්ද දායක ප්‍රජාව වෙත තිළිණ කළ 'වීදුරු මල්' 

ආලින්දයෙන් ඔබ්බට : දශක ද්වයක දේශපාලන ඛේදවාචක ත්‍රිත්වයක් රැගෙන එන ‘‘අඳුන්ගිර’’

ආලින්දයෙන් ඔබ්බට : පිතු සෙනෙහේ ගැඹුර පිළිබිඹු කෙරෙන 'පීතෘ'

ආලින්දයෙන් ඔබ්බට 10 : 'නිරාවරණ' - ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට 09-' මහපොළොව' -ටෙලි නාට්‍ය නාමයෙන් සාහිත්‍ය කෘති සහ ඒවායේ චරිත ඝාතනය කිරීම

ආලින්දයෙන් ඔබ්බට 08 - මායාකරුවෝ රජයන ලොවක පිස්සකුගේ විනිශ්චය - 'දූවිලි අහස'

ආලින්දයෙන් ඔබ්බට 07 - 'හේලංකඩ'ට ගොඩවීමෙන් ඉක්බිති...- ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට 06 -ආදරයට ආදරය කළ තරුණයකුගේ - ‘‘ඉලන්දාරි හැන්දෑව’’

ආලින්දයෙන් ඔබ්බට 05 : දැකිය යුතු ම 'දැකපු නැති හීන'- ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට 04-‘‘තණමල්විල කොල්ලෙක්’’ අමුතු ජීවියෙක් ද...?

ආලින්දයෙන් ඔබ්බට 03- ‘‘ත්‍රෛලෝකා’’ තුළින් ජාතිවාදියෝ හඳුනාගනිමු

ආලින්දයෙන් ඔබ්බට 02- 'වීරයා ගෙදර ඇවිත්' හෙළිදරව් කළේ මොනවා ද?

ආලින්දයෙන් ඔබ්බට 01 : ගිනිඅවි සහ ගිනිකෙළි - ජයසිරි අලවත්ත


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...