ඒ අනුව මේ වනවිට පක්ෂ අභ්‍යන්තරය තුළ සාකච්ඡා කරමින් පවතින පැහැදිලි වෙනස්කම් සිදු කළ යුතු බවත් එය සිදු නොකර ඉදිරියට ගමන් කළ නොහැකි බවත් ඔහු සඳහන් කරයි.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මේ බව පැවසූවේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
පරාජයට හේතුව තමන් යැයි සිතනවා නම්, ජනතාවගේ අකමැත්ත ඇත්තේ තමන්ට යැයි හැඟෙනවා නම්, එයින් ඉවත් වී පක්ෂය ජයග්‍රහණය කළ හැකි දක්ෂයකුට හෝ හැකියාව ඇති කණ්ඩායමකට පක්ෂය භාරදිය යුතු බවද ඔහු අවධාරණය කරයි.
පක්ෂයේ ප්‍රතිසංවිධානය විය යුතු තැන් රැසක් ඇති බවත් ඉදිරියේදී එය නම් වශයෙන් හෙළි කිරීමට කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ යැයි කියාගත් පිරිසක් ඔවුන්ගේ තනතුරු වෙනුවෙන් මෙම කටයුතු සිදු කිරීමට ඉඩ නොදෙන බවත් ඔහු සඳහන් කරයි.
තනතුරුවලට පත් කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීට වඩා අවධානය යොමු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි වැඩිදුරටත් සඳහන් කරයි.
චමින්ද ගේ කනස්සල්ලට හේතුව පෞද්ගලික කාරණයක් ද ?
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඊයේ මාධ්‍ය හමුවකදී සිදුකළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසුයේ, පෞද්ගලික කාරණයක් මත බරපතල කනස්සල්ලක සිටින බවයි.
එම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා සඳහන් කළ පරිදි, චමින්ද විජේසිරිගේ සොයුරු ලක්ෂ්මන් විජේසිරි පසුගිය පළාත් පාලන මැතිවරණයට බදුල්ල දිස්ත්‍රීක්කයේ, බණ්ඩාරවෙල නගර සභාවට සජබ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව පරාජයකට ලක්ව ඇත.
එහෙත් තම සොයුරාව ලැයිස්තුවෙන් මන්ත්‍රී තනතුරකට පත්කරන්නැයි චමින්ද මන්ත්‍රීවරයා පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇති අතර පරාජිත අපේක්ෂකයින්ට මන්ත්‍රීධුර නොදීමට පක්ෂය විසින් ගෙන තිබු තීරණය මත ඊට අවස්ථාවක් නොමැතිබව පක්ෂ නායකත්වය විසින් පෙන්වාදී ඇත.
කෙසේවුවද චමින්ද මන්ත්‍රීවරයාගෙන් දිගින් දිගටම එල්ලවූ බලපෑම් හමුවේ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පක්ෂයේ කළමනාකරණ කමිටුවට පවරා ඇත.
වැඩිම මනාප ප්‍රතිශතය ලබාගත් අයට ප්‍රමුඛතා පදනමින් මන්ත්‍රීධුර ලබාදීමට පක්ෂය ඒවනවිට ගෙන තිබු තීරණයට අනුව අඩු මනාප ගෙන තිබු චමින්දගේ සොයුරාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර වැඩිම මනාප ප්‍රතිශතයක් ලබා ගෙන සිටි අපේක්ෂකයාට මන්ත්‍රී ධුරය ලබාදීමට කළමනාකරණ කමිටුව අවසානයේදී තීරණය කර ඇත.
ඒ සම්බන්ධයෙන් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා බලවත්සේ කනස්සල්ලකින් සිටිනබව අප වෙත තොරතුරු ලබාදුන් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසිය.
( මුලාශ්‍රය | mawbima )




