The Leader News
BREAKING
Top Ad
Gossip

කලම්බු රිපෝටර් ; සතියේ පොලිටිකල් ගොසිප්...

T

The Leader Desk

October 19, 2025 • 4:12 PM

කලම්බු රිපෝටර් ; සතියේ පොලිටිකල් ගොසිප්...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය සති අන්තයේ හවස කොළඹ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඔන්න විශේෂ සාකච්ඡාවක්.
  • ඒ අනුව අනුර යාපා, ටිරාන් අලස්, උදය ගම්මන්පිල, සංජීව ඉදිරිමාන්න ඇතුළු තවත් පිරිසක් ඇවිත්..
  • ඒ අතරතුර චාමර සම්පත් තනිවම පාර්ලිමේන්තුව ඇතුලේ ගහන ගේම් එක ගැනත් හිටපු මන්ත්‍රීවරු ඔහුට සුබ පැතුම් එකතු කරන්න පටන් ගත්තා..
  • ඇත්තම කියනවනම් මගේ අතින් වෙච්ච විශාල වැරැද්දක්.
අකුරු ප්‍රමාණය (Font Size):

නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, චාමර සම්පත්, දුමින්ද දිසානායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයෝ වැඩිපුර සහභාගි වී සිටි එම සාකච්ඡාවට වෙනත් පක්ෂවල නියෝජිතයන්ටද ආරාධනා කරලයි තිබුණේ. ඒ අනුව අනුර යාපා, ටිරාන් අලස්, උදය ගම්මන්පිල, සංජීව ඉදිරිමාන්න ඇතුළු තවත් පිරිසක් ඇවිත්..

සාකච්ඡාවට පෙර නිමල් සිරිපාල සියල්ලන්ටම තේ බොන්න ආරාධනා කළා.  බන්දේසි වල කෑම බීම තියලා වෙනම මේසයක් සූදානම්...

‘‘මට නම් කෑම එපා. ප්ලේන්ටියක් බොමු...’’ ගම්මන්පිල එහෙම කීවත් ඒ වන විටත් ඔක්කොටම කිරි තේ හදලා...  තේ බොන අතර සාකච්ඡාවත් ඇදිල ගියා...

ඉදිරියේදී වමේ කඳවුර දේශපාලනය කරන්නේ කොහොමද කියලා කතා බහ කර ගන්න තමයි සාකච්ඡාව. එක්සත් ජාතික පක්ෂයත් සමඟි ජන බලවේගයත් එකට එකතු වෙන්න මේ දවස්වල කතාබහ සාර්ථකව ඇදිල යද්දී අනිත් අයට ප්‍රශ්නයක් වුණේ වමේ කඳවුරේ දේශපාලනය ඒකට මුසු කරගන්නෙ කියන එක...

අයියෝ.... වෙච්චි දෙයක්... චාමරගේ පසුතැවීම...

xfgt454

ඒ අතරතුර චාමර සම්පත් තනිවම පාර්ලිමේන්තුව ඇතුලේ ගහන ගේම් එක ගැනත් හිටපු මන්ත්‍රීවරු ඔහුට සුබ පැතුම් එකතු කරන්න පටන් ගත්තා..

' ඔබතුමාලනේ එළියේ ඉඳගෙන මහා විශාල බෝම්බ පත්තු කරන්නේ... අර අල්ලස් කොමිසමේ ලොකු මනුස්සයා ඉවරෙටම ඉවරයි...''චාමර කිව්වා. ඔන්න එතකොට අනිත් අයත් කතා කරන්න පටන් ගත්තා .

''හැබැයි අර ලස්සන නෝනට රට යන්න නොදීපු එක නං කැත වැඩක්...''

''මට ඒකට නං හරි වේදනයි. ඇත්තම කියනවනම් මගේ අතින් වෙච්ච විශාල වැරැද්දක්. මගේ නෝනත් මට බැන්නා අහිංසක කුරුලු කූඩුවලට ගල් ගහන්න එපා කියලා...''  

''නාමල් නම් ඕනම අභියෝගයකට මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ''

xfrte4534

ඔය ආකාරයේ විහිළු තහළු මැද්දේ ඵලදායි දේශපාලන කරුණු කීපයක් ගැනත් කතාව...

නාමල් රාජපක්ෂ ගමින් ගමට ගොස් ගමේ ප්‍රතිසංවිධාන කටයුතු අරඹා තරුණ තරුණියන්ගේ ලොකු ප්‍රබෝධයක් ඇති කිරීම ගැන අනුර යාපා කතා කළේ ප්‍රශංසා මුඛයෙන්...

"අපේ ගමේ මිනිස්සු මගෙන් අහනවා නාමල් මහත්තයාගේ වැඩෙත් එක්ක සර්ලා ඉන්නේ නැත්තේ ඇයි කියලා..."

"අපි එකතුවෙලා ලොකු ලොකු වැඩවලට බහිනකොට පළිගන්න එකත් ආණ්ඩුව ටික ටික වැඩි කරයි. මම නම් ඇතුලට ගිහිල්ලාත් ආවා..." ඒ කීවේ දුමින්දය.

"අපි නං හිතුවේ දුමින්දලාටත් කලින් නාමල්ට ඒ ටිකට් එක ඇදෙයි කියලා.."

"නාමල් මොනවද මල්ලි ඒ ගැන කියන්නේ..."දුමින්ද ඇසුවේ සංජීව එදිරිමාන්නගෙන්...

"නාමල් නායකතුමා නම් ඕනම අභියෝගයකට මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. හැබැයි ඉතින් මේ ගොල්ලන්ගේ වැඩවලත් පිළිවෙලක් තියෙනවනේ. එකපාර ඔක්කොම සෙල්ලන් ටික දාන්නේ නෑ. සතියකට එක ගානේ තමයි මේගොල්ලෝ සමාජයට ආතල් දෙන්නේ..." සංජීව කිව්වා.

ඔය අතරේ විධිමත් සාකච්ඡාව අවසන් වුනා. ලබන මාසේ මැද නුගේගොඩදී පවත්වන්න ඉන්න විපක්ෂයේ රැලිය ගැන ඉතා වැදගත් කරුණු කිහිපයක්ම මෙම සාකච්ඡාවේදී කතාබහට අරගෙනයි තිබුනේ...

සාකච්ඡාව ඉවර වුන පසුවත් හිටපු මන්ත්‍රීවරු කතාබහ කළේ පාර්ලිමේන්තුවේ චාමර සම්පත්ගේ වික්‍රමයන් ගැන.

"හැබැයි කැත වැඩේ ඔයා කරේ...''

cgh5654

ඔන්න ඔය අස්සේ පසුගිය දවසක චාමර සම්පත්ට එක්තරා youtube නාලිකාවක සාකච්ඡාවක් සඳහා කැඳවීමක් ලැබුණා. ''බයි තක්සලාව'' තමයි නාලිකාවේ නම. සාකච්ඡාව පටන් ගන්න පෙර මිලින්ද රාජපක්ෂයි ඉරාජ් වීරරත්නයි චාමරගේ කට අවුස්සන්නට ආගිය තොරතුරු ගැන කතාව පටන් ගත්තා ...

"හැබැයි කැත වැඩේ ඔයා කරේ... ඒකෙන් අර ලස්සන ගෑණු මනුස්සයාට පිටරට පුංචි සවාරියක් ගිහිල්ලා ආතල් එකක් අරගෙන එන්න බැරි වුණා..."

" යකෝ ඒ ගැන උඹලට වඩා මට දුකයි. කෝ උඹල පස්සෙනේ ඔය මගුල් පින්තූරේ face book එකේ දැම්මේ. ඔය මූණ මම කලින් දැකල තිබුනනම් කීයෙයි කිව්වත් මම පාර්ලිමේන්තුවේ ඔය කතාව නම් කියන්නේ නෑ... මයේ අම්මපා"

"ඔබතුමාට දැන් දුකයි.."

"දුක නැතුව තියෙයිද බං. අහිංසක කුරුලු කූඩු වලට ගල් ගහන්න එපා කියලා අපේ නෝනත් මට බැන්නා. ඒක නෙවෙයි ඔයගොල්ලො දැක්කද facebook එකේ එව්වෝ මට ඕකට බැනලා එවලා තිබිච්ච කමෙන්ට්ස් ටික..."

"එකෙක් කියලා තියෙනවා උඹ තඩියෝ... ඔය කරපු පාප කර්මෙට ඊළඟ ආත්මේත් තඩියෙක්ම වෙලා ඉපදෙන්න ඕන කියලා.

තව එකෙක් දාලා තියෙනවා උඹට නං ඊළඟ ආත්මෙ චීත්ත කෑල්ලක්වත් ලැබෙන්න එපා කියලා... ඔන්න ඔය වගේ අසභ්‍ය දේවලුත් කියලා තිබුණා. මොනවා කරන්නද ඉතින්... මටත් ඕවා අහගන්න වුණා...

මෙන්න මේ ජෝක් කතා මැද ඉතුරු දේශපාලන කතාවත් ඇදිලා ගියා..

ඊළඟ වාරිකේ ගන්න කොන්දේසි පහක් ඉටුකරන්න...

dye5654645

පසුගිය මාසයේ දින ගණනාවක්ම ජනාධිපති අනුරත් එක්ක මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් එක්වෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ පැවැත් වූ සාකච්ඡා වට කීපය අවසන් වුණේ ධනාත්මක ප්‍රතිචාර ඇතිව.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රටවෙත ලබාදෙන ඊළඟ ණය වාරිකය වූ ඩොලර් මිලියන 347ක මුදල නිකන් අනුමත කරන්න ඒ ගොල්ලො සූදානම් නැහැලු... ඔන්න ඒකට කොන්දේසිත් කිහිපයක්....  

කොන්දේසි කිව්වම සැරයිනේ අපි කියමු ඒකට ඉලක්ක කියලා....  ඉලක්ක පහක් සම්පූර්ණ කළ යුතු බව පසුගිය 9 වනදා දක්වා සාකච්ඡාවේ වාඩි වෙලා සිටිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ආණ්ඩුවට දැනුම් දුන්නා.

ඒ අනුව පිරිවැය ප්‍රතිසාදනය, බලශක්ති ප්‍රමිතිකරණය, රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය, මහ බැංකුවේ ස්වාධීනත්වය රැක ගැනීම, දූෂණ විරෝධී ක්‍රියාමාර්ගවලට ප්‍රමුඛත්වය දීම, ණය හිමියන් සමඟ ගිවිසුම් කඩිනමින් අවසන් කිරීම, දුප්පතුන් හා ආර්ථික අවධානමට ලක්විය හැකි පිරිස ආරක්ෂා කිරීම ආදී කොන්දේසි කාරණා ගොඩයි. සමහර ඒවා නම් අපිට තේරෙන්නෙත් නෑ ඕන්...

විදේශීය දූත පිරිස එක්ක කරපු සාකච්ඡාව අවසන් කරලා ජනාධිපති අනුර ඊළඟට පටන් ගත්තේ ලංකාවේ මුදල් අමාත්‍යාංශයෙහි මහා භාණ්ඩාගාරයෙහි ලොක්කෝ ටික එකතු කරගෙන කරන සාකච්ඡාව..  දැන් ඊළඟට අලුත් අවුරුද්ද වෙනුවෙන් අයවැය හදන්නත් එපායැ... ගත්ත වගේ නෙවෙයි ආණ්ඩුව... මේවා කරන්නත් එපායැ...  

බලාගෙන ගියාම එකතුවෙන එකත් ලේසි නෑ...

fyhe565tt

පසුගිය දවස්වල දේශපාලන කතිකාවතේ විපක්ෂය පැත්තෙ ලොකුම කතාව තමයි විපක්ෂයේ එකමුතුවක් හදාගන්න එක. මේකට ඉතින් හැමතැනම විවිධ සාකච්ඡා.

මේ අතර පහුගිය සතියේ විපක්ෂයේ ප්‍රධානම පක්ෂය වන සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමත් කලමනාකරණ කමිටු රැස්වීමත් දෙකම පවත්වන්න පක්ෂ නායක සජිත් ප්‍රේමදාස කල්පනා කළා...

සාකච්ඡාවේ සලකා බැලූ පළමු කාරණාව වූයේ ''එක්සත් ජාතික පක්ෂය'' සමග එකමුතු වී ඉදිරි දේශපාලන ගමන යන්නේ කොහොමද කියලා කතා කරගන්න එක.

දෙවන කාරණාව ඉදිරියේදී එතැයි බලාපොරොත්තු වන පළාත් සභා මැතිවරණයේදී පක්ෂය ඊට මුහුණ දෙන්නෙ කොහොමද කියලා සාකච්ඡාව....

''එක්සත් ජාතික පක්ෂය එක්ක එකතු වෙන්න නම් නිවැරැදි වැඩපිළිවෙලක් හදන්න ඕන. මුලින්ම අපි ඒක හදල ඉමු. න්‍යායපත්‍රයක් අවශ්‍යයි..'' කීපදෙනෙක්ම ඔතනදි කිව්වා..

ඔන්න ඕක හදන්න හැමෝටම එකතුවෙලා බැරි හින්දා කමිටුවකට බාර දෙන්නයි කතාව.. කටුවකුත් පත් කළා කියන්නකෝ..

කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් නම් කරන ලද එම කමිටුවට ඉරාන් වික්‍රමරත්න, මුජිබර් රහුමාන්  හා මරික්කාර් ඇතුළත් වුනා. පළමුව ඒ සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නට ඔවුන්ට උපදෙස් ලබා දුන්නා. ලබන සඳුදා පක්ෂයේ කළමනාකාර කමිටුවට ඒ වැඩපිළිවෙළ භාරදෙන්නයි ඔවුන්ට පැවරුණේ...

සජිත් නම් කිව්වේ ඊළඟ පළාත් සභාවට අපි පක්ෂයෙන්ම හොඳම කණ්ඩායමක් දාන්න ඕන බව...

ඔන්න ඒකෙදි විවිධ අය අදහස් දක්වන්න පටන් ගත්තා... විශේෂයෙන්ම චමින්ද විජේසිරි...මිනිහට පොඩි ඇරියස් එකකුත් තිබුණා පහුගිය ඡන්දෙදි පළාත් පාලන මැතිවරණයට එයාගේ මල්ලිට ඉල්ලන්න නොදීපු ගැන... එයාගෙ කතාවෙන් ඒ ඇරියස් එක නිතරම මතුවෙන්න පටන් ගත්තා කියලයි ඔතන හිටපු අනිත් අය නම් කියන්නේ...

''පළාත් පාලන තරගයට හැම ආසන සංවිධායකයෙක්ම ඉල්ලන්න ඕන...''

''පාර්ලිමේන්තුවේ ඉන්න අයත්..?''

''නෑ නෑ මම කියන්නේ පාර්ලිමේන්තුවේ නැති අය...''    

''අපේ අය ඉල්ලාවි හැබැයි අපේ අයට ඒ පුරුදු පරණ ආසනම දෙන්න ඕන. තව එකක් තමයි අලුත් තරුණ මූණු තරඟයට දාන්න ඕන...''

චමින්ද විජේසිරි ඕනවට වඩා කතා කරනකොට අනිත් අයට ඒක ඇල්ලුවෙ නෑ...

 ''මෙයා තනිකරම ගේන්නෙ මෙයාගේ ඇරියස්... මෙයා මෙතන ඇවිල්ල නායකතුමාගේ වැඩපිළිවෙල හොඳයි එහෙම කරපු මෙහෙම කරමු කියලා යෝජනා කළාට එළියේ ගිහිල්ල කියන්නේ වෙන කතා.  එළිය කියන්නෙ මේ විදියට ගිහින් බෑ... නායකතුමාට පණ නෑ කියලා.... '' ඔන්න ඔහොම පිටිපස්සෙන් මන්ත්‍රීවරුත් චමින්දට විරුද්ධව කුටු කුටු ගාන හැටි සජිතුත් දැක්කා....    

රනිල්ගේ ලේකම්ගේ මළගෙදර අනුරත් ගිහින් ඉදලා...

cfh565ff

ශානුක කරුණාරත්න කියන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉතාමත්ම හිතවත් මාධ්‍යවේදියෙක්. පහුගිය දිනවල ඔහුට ලොකු කරදරයක් වුණා. ඔහුගේ දයාබර තරුණ බිරිඳ හදිසියේම මියගියා. ඉතින් ඒ මරණය එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනකුට තදින්ම දැනුණු සංවේදි මරණයක්...

ශානුක කියන්නේ කාලයක් රනිල්ගේ ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයෙක්. ඉතින් රනිල්ටත් තදින්ම සම්බන්ධයි. ඒ හින්දා එක්සත් ජාතික පක්ෂයේ හුඟක් අය මේ මළගෙදරට සහභාගී වන්න ජයරත්න වී අයි පී මල්ශාලාවට පැමිණ සිටියා....

ශානුක ජනාධිපති මාධ්‍ය ඒකකයේ වැඩ කරපු හින්දා එතනත් හිතවතුන් ගොඩයි. මළගෙදර යන්නත් ඔවුන්ට වුවමනායි.

හැබැයි ඉතින් ගිහිල්ල මාලිමාවෙ ලොක්කන්ට මාට්ටු උනොත් බෙල්ල කැපෙයිද දන්නෙත් නෑ... එහෙම උනත් සමහරුන් හොරෙන් හොරෙන් මේ මළගෙදරට ගොඩ වුණා...

අන්න එහෙම හොරෙන් ගියපු කණ්ඩායමක් ජයරත්න එකේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මූණට මුහුණ මුණගැහුනා කියලයි කියන්නේ...

ලොක්කත් මේකට ආවා නම් අපි ආවම මොකද... එහෙම හිතලත් තව බොහෝ දෙනෙක් ඊට පස්සේ මළගෙදරට ඇවිල්ල ගියා කියලත් අපට වාර්තා වුණා....

'' ශානුක එක්ක මොකක්ද අනුරට තියෙන හිතවත්කම....'' සමහරු එහෙම කතා බහකලා..

''ඇයි ඉතින් මතක නැද්ද... යහපාලන ආණ්ඩුව කාලෙ අනුරත් නිතරම අරලියගහ මන්දිරයේ ඇතුළෙමනෙ හිටියේ... ඒ කාලෙත් ඒ ගොල්ලො හොඳ යාළුවෝ. ''

ඒ මළ ගෙදර එක කතාවක්... ඔතන තව තවත් කතා ගොඩක්...

රනිලුයි මෛත්‍රී මැතිණියයි ඇවිල්ල මළගෙදර වාඩිවෙලා ඉන්න වෙලාවේ ඔන්න ආවා සජිත්ගේ ගෝලයෝ දෙන්නෙක්. එක්කෙනෙක් වරුණ රාජපක්ෂ. අනිත් එක්කෙනා මහේෂ් සේනානායක...

ඔන්න ඉතින් වාඩිවෙලා කට්ටියම ලොකු කතාවක්... ඉදිරියේදී රටේ දේශපාලනය කරන්නේ කොහොමද කියන එක ගැන හැමෝටම ලොකු ප්‍රශ්නයක්...

''ඕගොල්ලෝ විපක්ෂයේ කට්ටිය එකතු කරන් නුගේගොඩ ලොකු රැස්වීමක් කරනවා කියන්නේ... ''

''ඔව් සර්... එහෙම කතාවක් තියෙනවනේ..'' වර්ණ උත්තර දුන්නේ ටිකක් දෙගිඩියාවෙන්.

''මං දැන් රැස්වීම් කියලා සාකච්ඡා කරලා විපක්ෂයේ ඔක්කොම එකතු කරාට පස්සේ දැන් ඕගොල්ලන්ගේ ලොක්කට ලේසියි... එතනත් ලොක්කා වෙන්න පුළුවන්න්... ''

රනිල් එහෙම කිව්වේ ඇයිද කියල හුඟක් අයට තේරුනේ නම් නෑ...

''ඇයි ඉතින් එයත් ලොක්කෙක්නෙ.... එයාටත් ඒ වේදිකාවට ගොඩවදින්න විපක්ෂයේ තහනමක් නෑනේ... ඇයි එයා එහෙම කියන්නේ...''  ඔතන හිටපු හුඟක් අය ඒ ගැන හිතුවේ එහෙමයි...

හැබැයි රනිල් එහෙම කියන්නත් ලොකු හේතුවක් තිබුණා කියලා කවුරුවත් දැනගෙන ඉඳලා නෑ.... ඕන් නම් මං ඒ කතාවත් කියන්නම්...

නුගේගොඩ වේදිකාව රනිල්ට වැහිච්ච හැටි....

fhert6

විපක්ෂය එකතු කරගෙන නුගේගොඩ රැලියක් පවත්වනවයි කියන ආරංචිය කොහෙන් කොහෙන් පැතිරිලා ගියත් ඕක මුලින්ම සංවිධානය කරලා තිබුණේ පොහොට්ටුවෙන්.  පොහොට්ටුවෙන් කිව්වට පොහොට්ටුව වෙනුවෙන් සාගර කාරියවසමුයි උදය ගම්මන්පිලයි විමල් වීරවංශයි තමයි මේකට මුල් වෙලා සාකච්ඡා කරලා තියෙනවා කියන්නේ...

ඒ තුන්දෙනා මුල් උනාට ඕකට අනෙකුත් පක්ෂවලටත් ඔවුන් ආරාධනා කරල තියනවා නියෝජිතය එවන්න. ඔවුන් මේක සාකච්ඡා කරලා තියෙන්නේ හරියට අර මහින්ද සුළඟ පටන් ගත්තා වගේ ලොකු වැඩක් කරන්න...

''මේ වේදිකාවේ ඉන්න ඕන තරුණ ජවයක් තියෙන තරුණ පෙළක් විතරයි. මේක ටිකක් අමුතු විදිහකට අපි සංවිධානය කරන්න ඕනා..''

''ඔව් මේක විශ්‍රාමික දේශපාලනඥයින්ගේ වේදිකාවක් වෙන්න බෑ... ආවොත් අද රටේ ජනතාව ඒ වේදිකාව පිළිගන්නේ නෑ...''

''මහින්ද මහත්තයා එයි කියලද ඔය කියන්නේ...''

''නෑ නෑ... මහින්ද මහත්තයා විතරක් නෙවෙයි... විශ්‍රාමික ජනාධිපතිවරු කිසි කෙනෙකුට මේ වේදිකාවට ගොඩවෙන්න බෑ... එතකොට ඉවරනේ..''

ඔන්න ඔය කතාව කොහොමින් කොහොම හරි හිටපු ජනාධිපති රනිල්ගේ කනටත් ගියා... දැන් ඉතින් රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙලා ඉන්නේ රනිල් නායකත්වය අරගෙන රට කරවන්න නිසා රනිල්ට මේක ලොකු ෂොට් එකක්...

ඒ අනුව ගියොත් ඉතින් රනිල්ට නගින්න බෑ... හැබැයි සජිත්ට බාධාවක් නෑ... ඔන්න ඕක තමයි රනිල් අරවගේ කතාවක් ශානුකලගේ මළගෙදරදි වරුණ රාජපක්ෂට කියන්න ඇත්තේ...

උදය ගම්මන්පිලගෙන් ගයන්තට මල් මිටක්...

fy46346

එය අස්සේ පහුගිය දවසක උදය ගම්මන්පිළ ගියා රූපවාහිනී නාලිකාවක දේශපාලන සාකච්ඡාවකට... ඔන්න ඔය සාකච්ඡාවේදීත් උදය ගම්බමන්පිල වත්මන් කතානායක ජගත් වික්‍රමසූරියගේ පක්‍ෂක්ග්‍රාහීත්වය ගැනීම් හොඳ හෙළිදරව්වක් කලා...

පහුගිය දවස්වලු විපක්ෂයෙන් ඉදිරිපත් කරානේ පාර්ලිමේන්තුවට ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසූරිය ගැන විශ්වාස භංග යෝජනාවක්. කථානායකතුමා මේක එක හෙලාම ප්‍රතික්ෂේප කරල තිබුණා...

එතුමා කිව්වේ ඇමතිවරයෙකුට විරුද්ධව විශ්වාස බංගයක් ගේනවා මිසක් නියෝජ්‍ය ඇමතිවරයෙකුට විරුද්ධව විශ්වාස භංග ගේන සම්ප්‍රදායක් අපේ පාර්ලිමේන්තුවේ නෑ කියලා.

නීතියයි ස්ථාවර නියෝගයි ඔක්කොම අරගෙන එයා මහදැනමුත්තා වගේ මේක ප්‍රතික්ෂේප කරනකොට විපක්ෂයෙන් මේ ප්‍රශ්න කළා...

මේ ගැන ප්‍රශ්න කරන්න මුල් වුනේ ගයන්ත කරුණාතිලක. එතුමානේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක.
ප්‍රශ්න කරනකොට කතා නායකතුමා බය නැතුව උත්තර දෙකක් දුන්නා...

''මං මේ ගැන නීතිපතිතුමාගෙන් නිර්දේශයක් ගත්තා. ඒවගේම පාර්ලිමේන්තුවේ ලේකම් කමිටුවෙනුත් මම මේ ගැන විමසලා වාර්තාවක් ගත්තා. ඒ දෙකෙන්ම කියවෙනවා එහෙම සම්ප්‍රදායක් නැති බව.'' ඔන්න ඔහොම තමයි කනායකවරයා ඔය විශ්වාස භංගය ප්‍රතික්ෂේප කලේ...

''එහෙනම් කෝ  කතානායකතුමා සහ ලේකම් කමිටුව ලබාදීපු නිර්දේශ. ඔබතුමා ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.... ''ගයාන්ත කරුණාතිලක මේ ගැන දිගින් දිගටම ප්‍රශ්න කිරීම හා පෙනී සිටීම නිසා පහුවෙලා හරි කනායකතුමාටත් සිද්ධ වුණා ඒ දෙපැත්තෙන් මේ ගැන කරුණු දක්වලා ආපු නිර්දේශ ටික පාර්ලිමේන්තුව හමුවේ තබන්න...

බැලින්නන් ඇත්තටම නීතිපතිතුමාවත් ලේකම් කමිටුව වත් මේ විශ්වාසභංගය බාරගන්න බෑ කියලා නිර්දේශයක් කරල නෑ...

ඔන්න ඔය විදියට මේ වත්මන් කතානායකවරයාත් පාර්ලිමේන්තුව නොමඟ යවනවා කියලයි උදය ගම්මන්පිල එදා ඒ රූපවාහිනී වැඩසටහනේදී ඔප්පු කරලා පෙන්වල දුන්නෙ...      

චෝදනා යටකරන් පැමිණි සෙව්වන්දිය...

fghrt5y456

පසුගිය සතියට පෙර සතියේ ආණ්ඩුවට බරපතල චෝදනා පිට චෝදනා ගෙන එන්නට විපක්ෂය සමත් වෙලා තිබුණා කිව්වොත් වරදක් නෑ...

කන්ටේනර් 323 එළියට යැවීම පිළිබඳ චෝදනාවෙන් බිමල් රත්නායක ඇමතිතුමාට ගැලවීමක්ම නැතිවුණා... අන්තිමේ ඒ පටලැවිල්ල ඉවර වුනේ  බිමල් රත්නායකගේ වරාය ඇමතිකමත් ගැලවිලා...

අමාත්‍යාංශයට අදාල නැති තරුණ නෝනා කෙනෙක් එක්ක පිටරට සවාරියක් කියන්න හිටපු ඇමති කෙනෙකුටත් වැඩේ වැරදුනේ චාමර නිසා...  ඒක තව එකක්.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහත්තයාටත් චෝදනා පිට චෝදනා ආව. එතුමාගේ පත් කිරීම නීත්‍යානුකූල නොවෙයි කියලයි විපක්ෂයේ හිටපු ගම්මන්පිල, නන්දන ගුණතිලක වගේ අය කිහිපදෙනෙක්ම කිව්වේ...

ඊළඟට ඔන්න වත්මන් පොලිස්පතිතුමාටත් චෝදනා කිහිපයක් ඉදිරිපත් වෙලා තිබුණා... ඒ විතරකුත් නෙවෙයිනේ... ඇමැතිවරුයි නියෝජ්‍ය ඇමතිවරුයි රොත්තක්ම අයථා ආකාරයෙන් දෙපැත්තකින්ම ඉන්ධන වියදම් ලබා ගැනීම....

විපක්ෂය විසින් මෙන්න මේ වගේ චෝදනා රැසක් මතුකරල ආණ්ඩුවට බරපතළ අභියෝගයක් කරලා සමාජයේ කතාබහ ඒ පැත්තට යොමු කරලා ''ලොකු සමාජ ගින්නක්'' ඇතිකරල තියෙන වෙලාවක තමයි අර ''ගල්කිස්ස උසාවියේ හුටපටය'' පත්තු වුණෙ...

අර ඔක්කොම චෝදනා ටික යට ගියා. අන්තිමේ ගල්කිස්ස පොලිසියේම නීතිඥයාට පහර දුන්නයි කියන පොලිස් නිලධාරියා ජනතා කරමතින් ගෙදර ගියා.  පොලිසිය වීරයෝ වුණා. නීතිඥයෝ දුෂ්ටයෝ වුණා. සමාජය දෙකට බෙදිලා ඒ ගැනම වාද වෙන්න පටන් ගත්තා. ඒ උණුහුමෙන් ආණ්ඩුව අර චෝදනා ඔක්කොගෙන්ම ගොඩ ගියා...

හැබැයි ඔය කතා බහත් වැඩි වෙලාවක් පවතින්න ඉඩ ලැබුණේ නෑ... මෙන්න මේ වෙලාවේ තමයි ''හීනයක් වගේ පාවෙලා පාවෙලා'' සෙව්වන්දියක් කටුනායකින් කොළඹට ආවේ...

අන්තිමේ ඉතින් අපේ මාධ්‍යය ''සෙව්වන්දිය'' ලංකාවට වැඩැම්මවූ ''ඕලුගල සර්ගේ වීර කාව්‍යය'' එක එක විදියට වර නගන්නට පටන් ගත්තා...  

| කලම්බු රිපෝටර්    

උපුටා ගැනීම - colomboreport.lk 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කලම්බු රිපෝටර් ; සතියේ පොලිටිකල් ගොසිප්... | The Leader