The Leader News
BREAKING
Top Ad
Gossip

සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී සුජීව බාල්දියක් පෙරළයි

T

The Leader Desk

February 22, 2026 • 10:15 AM

සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී සුජීව බාල්දියක් පෙරළයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය සතියේ පැවැති සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සුජීව සේනසිංහ ගේ ප්‍රකාශයක් නිසා උණුසුම්කාරී තත්වය හටගෙන ඇත.
  • ආයේ බැලන්ස් කරන්න දෙයක් නෑ'' සජිත් එහිදී කියා සිටියේ, ‘අපි ඒ යෝජනාවට පක්ෂ වුණේ මේක ඇතුළේ බැලන්ස් එකක් තියෙන්න ඕනේ නිසයි.’ යැයි කියාය.
  • මුලින් එක තීන්දුවක් ගත්තා නම් ඒ ස්ථාවරයේම අපි දිගටම ඉන්න ඕනේ.
  • සාමාන්‍යයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සිදුවන සිදුවීම් පිළිබඳ එළියේ කතා නොකරන නිසා එම කරුණු එළියට ගියහොත් එහි වගකීම ගන්නේ කවුරුන්ද කියමින් මෙහිදී සජිත් අදහස් දැක්වීමත් සමග සුජීව පමණක් නොව මුජිබර්ද එය පිළිගැනීමට සූදානම් බවක් දැකගන්නට ලැබුණේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


'මව්රට' පුවත්පතේ රාජ්‍ය රහස් තිරයේ එය වාර්තා කර ඇත්තේ මෙසේය.

''කවුද මේ තීන්දු තීරණ ගන්නේ? කොහොමද මේ තීන්දු තීරණ ගන්නේ? කවුද මේවට වගකියන්නේ? ''

ව්‍යවස්ථාදායක සභාවේදී සජබය අනුගමනය කරන ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් සුජීව සේනසිංහ දැඩි විවේචනයක් එල්ල කිරීම විශේෂ සිදුවීමක් විය. එහිදී සජබය වෙනුවෙන් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන සජිත් සහ අජිත් පී. පෙරේරා යන දෙදෙනාම රැස්වීමේ සිටියදී සුජීව මෙම ප්‍රහාරය එල්ල කිරීම විශේෂ සිදුවීමක් විය.

එහිදී සුජීවගේ චෝදනාව වී තිබුණේ විගණකාධිපති ධුරය සඳහා සිවුවැනි වතාවට අනුර නම් කර එවූ නියෝජ්‍ය විගණකාධිපතිවරියක වූ ජයරත්න මහත්මියගේ නම සම්මත කිරීමට සජබය අත එසවීම වැරැදි පූර්වාදර්ශයක් යැයි කියාය.

‘ව්‍යවස්ථාදායක සභාව විගණකාධිපති ධුරයට ජයරත්න මහත්මිය පත්කිරීමට ගත්ත තීන්දුව කිසිසේත්ම අනුමත කරන්න බැහැ. මොකද මීට කලින් අනුර මේ නමම ව්‍යවස්ථාදායක සභාවට එව්වහම ඒ වෙලාවේ හිටපු සිවිල් සංවිධාන නියෝජිතයන් තුන්දෙනත්, සජබයත් ඒ නම ප්‍රතික්ෂේප කළා. එහෙම කළේ එතුමිය ඒ තනතුරට සුදුසු නෑ කියලයි. ඊට වඩා අත්දැකීම් තියෙන ජ්‍යෙෂ්ඨයෙක් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඉන්න නිසා කියලයි. ඉතින් මුලින් ප්‍රතික්ෂේප කරපු නමක් අනුර ආයෙමත් ව්‍යවස්ථාදායක සභාවට එව්වාම මේ පාර ඔබතුමාලා ඒ නම සම්මත කළේ කොහොමද? ඒක වැරැදි පූර්වාදර්ශයක්. වැරැදි තීන්දුවක්…’ යනුවෙන් සුජීව කියද්දී සුජීවගේ අදහස අනුමත කරමින් මුජිබර්ද එහිදී අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.

‘කවුද මේ තීන්දු තීරණ ගන්නේ? කොහොමද මේ තීන්දු තීරණ ගන්නේ? කවුද මේවට වගකියන්නේ? මෙහෙම දෙයක් වෙනවා කියලා අපේ මන්ත්‍රී කණ්ඩායමේ කවුරුත් දන්නේ නෑ. මේ විදියටම අග්‍රවිනිශ්චයකාරතුමා පත්කිරීමේදීත් ප්‍රශ්නයක් ආවා. පොලිස්පතිතුමා පත්කිරීමේදීත් ප්‍රශ්නයක් ආවා. මේවා ගැන තීන්දු තීරණ ගනිද්දී මීට වඩා විනිවිදභාවයක් තියෙන්න ඕනේ. එක ස්ථාවරයක් තියෙන්න ඕනේ.‘ යනුවෙන් මුජිබර් කියද්දී මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ චෝදනාවට පිළිතුරු ලබාදීමට සජිත් කටයුතු කළේය.

''මොනවද බැලන්ස් කරන්නේ? වැරැදි නම් ඒක වැරැදියි. ආයේ බැලන්ස් කරන්න දෙයක් නෑ''

සජිත් එහිදී කියා සිටියේ, ‘අපි ඒ යෝජනාවට පක්ෂ වුණේ මේක ඇතුළේ බැලන්ස් එකක් තියෙන්න ඕනේ නිසයි.’ යැයි කියාය. සජිත් එසේ බැලන්ස් කිරීමක් ගැන කියනවාත් සමගම ඊට ප්‍රතිචාර දැක්වීමට පියවර ගත්තේ සුජීවය.

‘බැලන්ස් වෙන්නේ කොහොමද? මොනවද බැලන්ස් කරන්නේ? වැරැදි නම් ඒක වැරැදියි. ආයේ බැලන්ස් කරන්න දෙයක් නෑ. එක එක්කෙනාගේ වුවමනාවන්වලට අපිට වැඩ කරන්න බෑ. මුලින් එක තීන්දුවක් ගත්තා නම් ඒ ස්ථාවරයේම අපි දිගටම ඉන්න ඕනේ. අපිටත් අල්ලස් කොමිසමේ පැමිණිලි තියෙනවා. අපේ පැමිණිලි විමර්ශනය වෙද්දී විගණකාධිපති වාර්තාව දවස් දෙකෙන් එනවා. හැබැයි වෙන අයගේ පැමිණිලි විභාග කරද්දී විගණකාධිපති වාර්තා මාස ගණන් පරක්කු කරනවා. කොහොමද එහෙම වෙන්නේ? ඒ නිසා මම කියන්නේ මේ උසස් තනතුරු ගැන තීන්දු තීරණ ගනිද්දී පක්ෂය ඇතුළේ එක ස්ථාවරයක් තියෙන්න ඕනේ කියලයි…’ යනුවෙන් සුජීව කියද්දී නැවත වතාවක් ඊට පිළිතුරු දුන් සජිත් කියා සිටියේ, ව්‍යවස්ථාදායක සභාව ඇතුළේ තීරණාත්මක බලය ඇත්තේ ආණ්ඩුවට හෝ සජබයට නොව, සිවිල් සමාජය නියෝජනය කරමින් පත්ව සිටින නියෝජිතයන් තිදෙනාට යැයි කියාය.

ඊටද සුජීව පිළිතුරු දීමට පැකිලුණේ නැත. එහිදී සුජීව කියා සිටියේ යම් තීන්දුවක් ගැනීමේදී සිවිල් සමාජය නියෝජනය කරන සාමාජිකයන් තිදෙනා එක් ස්ථාවරයකට ගැනීම සජබ නියෝජිතයන්ගේ වගකීමක් යැයි කියාය.

ඒ තුන්දෙනා ‘කන්වින්ස්’ කරන්න ඔබතුමාලා දැනගන්න ඕනේ.....

‘හරි, ව්‍යවස්ථාදායක සභාවේ තීරණාත්මක බලය තියෙන්නේ ඒ තුන්දෙනාට නම් ඒ තුන්දෙනා ‘කන්වින්ස්’ කරන්න ඔබතුමාලා දැනගන්න ඕනේ. එතකොට තමයි ඒ අයටත් හරි තීන්දුව ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ආණ්ඩුව එවන එවන එකට අත් උස්සන්න ගියොත් ඒ තුන්දෙනාටත් පාරේ බැහැලා යන්න බැරි වෙයි….’ යනුවෙන් සුජීව කියද්දී අජිත් පී. පෙරේරා අදහස් දැක්වීම ආරම්භ කළේය. ඒ අනුව තරමක් කේන්තියෙන් යුතුව උස් හඬින් අජිත් පී. පෙරේරා ඊට ප්‍රතිචාර දක්වද්දී සුජීවටද කේන්ති ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.

‘අජිත් මම මේ ඔයාට කරුණාකරලා කියන්නේ ඔය ‘ටෝන්‘ එකෙන් නම් කතා කරගෙන එන්න ලෑස්ති වෙන්න එපා. ඔයා මීට කලිනුත් මේ විදියට සද්දේ දාගෙන ආවා. හැබැයි අපිත් මෙතැන අතපල්ලෙන් වැටිලා ඉන්න අය නෙවෙයි. පක්ෂයක් වුණාම වැඩ කරන පිළිවෙළක් තියෙනවා. සාමූහිකව තීන්දු තීරණ ගන්න ඕනේ. ඒ නිසා ඔය විදියට කතා කරන්න ලෑස්ති වෙන්න එපා…’ යනුවෙන් කියමින් සුජීවද අජිත් පී. පෙරේරාට අභියෝග කරද්දී වහාම දෙදෙනාගේ වාදය මැද්දට ආ සජිත්, දෙදෙනා පසෙකට කොට සිද්ධිය සමතයකට පත්කිරීමට පියවර ගත්තේය.

''ව්‍යවස්ථාදායක සභාවේ වෙන්නේ මොනවද, කරන්නේ මොනවද කියලා මෙතන ඉන්න මන්ත්‍රිවරුත් දැනගන්න ඕනේ…''

එහිදී සජිත් කියා සිටියේ මින් ඉදිරියට ව්‍යවස්ථාදායක සභාවේ සිදුකරන සංවාද සහ සිදුවීම් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටද දැනුම් දෙනවා යැයි කියාය. සාමාන්‍යයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සිදුවන සිදුවීම් පිළිබඳ එළියේ කතා නොකරන නිසා එම කරුණු එළියට ගියහොත් එහි වගකීම ගන්නේ කවුරුන්ද කියමින් මෙහිදී සජිත් අදහස් දැක්වීමත් සමග සුජීව පමණක් නොව මුජිබර්ද එය පිළිගැනීමට සූදානම් බවක් දැකගන්නට ලැබුණේ නැත.

‘එහෙම දෙයක් නෑ. සාමාන්‍යයෙන් ඕනෙම පක්ෂයක කණ්ඩායම් රැස්වීමේදී කතාකරන දේවල් එළියට යනවා. ඒවා නවත්වන්න අපට බෑ. හැබැයි එහෙම වුණා කියලා ව්‍යවස්ථාදායක සභාවේ වෙන්නේ මොනවද, කරන්නේ මොනවද කියලා මෙතන ඉන්න මන්ත්‍රිවරුත් දැනගන්න ඕනේ…’ යනුවෙන් සුජීවත්, මුජිබරුත් කියද්දී, සජිත් ද ඊට එකඟතාව පළකරමින් ‘එහෙනම් අපි ඉස්සරහට ඒ ගැන මෙතැනදි කතා කරමු’ යැයි කියමින් එම මාතෘකාව අවසන් කිරීමට පියවර ගත්තේය.

(උපුටා ගැනීම : mawratanews.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...