BREAKING
Top Ad
අපලෝකන

අපලෝකන 03 : අද නං ජස්ටිං අයිය කාමරේට ම බට්ටෙක් අරගෙන ඇවිත් - (ජයසිරිගේ අලුත්ම නවකතාව)

T

The Leader

October 6, 2023 • 1:15 AM

අපලෝකන 03 : අද නං ජස්ටිං අයිය කාමරේට ම බට්ටෙක් අරගෙන ඇවිත් - (ජයසිරිගේ අලුත්ම නවකතාව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙම අහපු කොල්ල ඊට පස්සෙ ‘‘හරිනෙ එහෙනං... දැං මට මගේ පාඩුවෙ ඉන්න දීල ඔහේ යනවයි...?’’ කියල ඇහුවෙ ලොකු හපන්කමක් කරා වගේ. ඇත්තටමත් ඉතිං ඒක හපංකමක් තමයි.
  • ඒ කතාව ඇහුවට පස්සෙනං කොල්ල ගැන මට ඇතිවුණේ අනුකම්පාවක්.
  • ඇත්තට ම මට ඒක කරන්න පුළුවන්.
  • *          *          * ඒ තීරණේ නිසා වෙන්න ඇති ඒ මාමා මාව එයා වැඩ කරන හෝටලේට එක්කරගෙන ගියේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මූ නං එසේ මෙසේ එකෙක් නෙවෙයි කියල මට හොඳට ම විස්වාසයි. ඒ නිසා ම මං ඌත් එක්ක පුළුවන් තරම් යාප්පුවෙන් ම කතා කරා.

ඒ කතාව ඇහුවට පස්සෙනං කොල්ල ගැන මට ඇතිවුණේ අනුකම්පාවක්. ඒ නිසා ම මං තීරණය කරා කොල්ලට රස්සාවක් හොයල දෙන්න. ඇත්තට ම මට ඒක කරන්න පුළුවන්. හැබැයි කොල්ලගෙ ඉගෙනීමෙ තරමට හරියන එකක් නම් බැරිවෙයි කියලත් මම ඌට කිව්ව. මොකද මට පුළුවන්කම තියෙන්නෙ හෝටලේක රස්සාවක් අරන් දෙන එක විතරයි. ඒකත් මම වැඩ කරන හෝටලේ මේ කොල්ලට සුදුසු නෑ. මොකද අපේ බොසා මේ වගේ පොඩි කොල්ලෙක් රස්සාවට ගන්නව නම් ගන්නෙ ඉස්සෙල්ලම පිඟන් හෝදන රස්සාවට. ඒත් මට තේරුණා මේ කොල්ල ඒ රස්සාව කරන්න ඕනෙ කොල්ලෙක් නෙවෙයි කියල. ඒ නිසා මං තීරණයක් ගත්ත.

*          *          *

ඒ තීරණේ නිසා වෙන්න ඇති ඒ මාමා මාව එයා වැඩ කරන හෝටලේට එක්කරගෙන ගියේ. ඒ මාමා මාව එක්කරගෙන ගියේ පුංචි ගේට්ටුවකින්. ඒත් එතනින් ඇතුළට ගියා ම ලොකු ඉඩක් තියෙන තැනකට ඇතුල් වුණා. ඒක හෝටලයක් කිව්වට බේකරියකුත් එක්ක ම තියෙන හෝටලයක්. මමයි ඒ මාමායි ගියේ: පාන්, බනිස්, මාළුපාන්, රොස්පාන්, කිඹුල බනිස්, ජැම් පාන්, තව මොනවද මංදා මම නම නොදන්න ගොඩක් කැම ජාති ලොකු දුඹුරු පාටට හුරු තැටිවල දාල බිම පුරාම තැත් තැන්වල තියෙන තැනකින්. එතනින් එන සුවඳ දරාගන්න බැරි තරම්. මට ඒ වෙලාවෙ හිතුණෙ ඒ හැම ජාතියකින් ම එක එක කන්න තියෙනවනම් කියල. ඒත් ඒ ගැන මොනවත්ම කියන්න මට හිතුණෙ නෑ.

b22f0b2b620e7e45f83a410722921b10
කොහොම හරි ඔය කියපු කෑම ජාති අතුරපු තැන පහු කරගෙන ඇතුළට ගිහින් පුංචි කොරිඩෝවක් වගේ එකක් දිගෙත් ටික දුරක් ගියා. ඒ කොරිඩෝවෙ දෙපැත්තෙම පුංචි පුංචි කාමර තිබුණ. එක පාරට ම ඒ කාමරයකින් ඔළුව එළියට දාපු කවුද මන්දා මිනිහෙක් ‘‘ආ... අදනං ජස්ටිං අයිය කාමරේට ම බට්ටෙක් අරගෙන ඇවිත් වගේ. හා හා... අපිට කොහෙන්ද ඉතිං එච්චර පිනක්...’’ කියල කියද්දි ම ඒ මාම නතරවුණේ වාහනයක බ්‍රේක් ගැහුව වගේ.

‘‘අනෙහ් මේහ්... මගෙං කුණුහරුප අහගන්නැතුව ඉන්නව ද චන්දරේ... මේ මගේ ඥාති සහෝදරයෙක්ගෙ පුතෙක්. මිනිහ ගෙදරින් පැනල ඇවිල්ල. මට මේ අහම්බෙන් හෝල් එකේදි හම්බ උණේ. මිනිහ ගෙදර යන්න බැහැයි කියනව. ඒ හිංදයි මං මේ එක්කරගෙන ආවෙ,’’ කියල ඒ මාම කිව්වෙ කටේ දිගේ ගෑවෙන්නෙ නැති ගානට. එහෙම කියන ගමන් ම ‘‘ඔහේ ඇගපත හෝදනවයි...?’’ කියල මගෙන් ඇහුව. ඒ රෑ ජාමෙ මොන ඇඟපත හේදිල්ලක් ද අප්පා. ‘‘නෑ මාමෙ ඕනෙ නෑ. හෙට උදේම හෝදගමු,’’ කියල මං කිව්වෙ ඇත්තට ම ඒ වෙලාවෙ මට ඒ වැඩේ කරන්න බැරි නිසා. අනික මට ඕනෙ කරල තිබුණෙ කොතනක හරි වැටිල ටිකක් නිදාගන්න.

‘‘ආ... හරි... එහෙනං මෙන්න මේ බූරු ඇඳෙං නිදාගන්නකො...’’ කියල එතන තිබුණ කාමරයක් පෙන්නුව. මං කාමරේ ඇතුළට එබිල බැලුව. ඒ කාමරේ බූරු ඇඳං දෙකක් තිබුණ. පොඩි මේසෙකුත් තිබුණ. ඒ මේසෙ උඩ: ගිනි පෙට්ටියක්, බීඩි මිටියක්, රේසර් පෙට්ටියක්, වතුර බෝතලයක් තිබුණ. තව මේ යකඩ වගේ පෙට්ටි දෙකක් තිබුණ. පුටු දෙකකුත් තිබුණ. බිත්තියෙ බෝල කුඩුවකුත් තිබුණ. ඒකෙ සරං දෙකක්, ෂර්ට් දෙකක්, ලංකට් දෙකක් එල්ලල තිබුණ. එක බිත්තියක ක කෙළවරක ඉඳල අනිත් කෙළවරට ලණුවක් ඇදල තිබුණෙ බිත්තියට ගහපු ඇණ දෙකක් අතරෙ. ඒකෙ තුවා දෙකක්, සරං දෙකක් වනල තිබුණ.

base 8678876
‘‘දැං වෙලාව එකයි දහයයි. කොහොමටත් පැය තුන හතරකට වැඩිය බුදියගන්න හම්බෙන්නෙ නෑ. මං කෝකටත් අපේ එවුන් ඇහැරෙන කලියෙං ඔහේට කූද්දන්නං. ඊට පස්සෙ ගිහිං ඇඟපත හෝදගන්න. නැහ්නං අපේ එවුං ටැංකිය ගාව පිරුණට පස්සෙ ඔහේට ඇඟ හෝදන්න වෙන්නෑ.’’

මං කාමරේ පුරාම ඇස් කරකවද්දි ඒ මාම මගේ ළඟට ම ඇවිත් එහෙම කියල එයා ඇඳගෙන හිටපු ෂර්ට් එක ගලවල බෝල කූඩුවෙ එල්ලුව. ඊට පස්සෙ වැල ළඟට ගිහිං ‘‘ඔහේ සරමක් ගෙනාවයි...?’’ කියල මගෙන් අහද්දි මං මොකුකත් ම නොකිය ඔළුව වැනුවෙ මං සරං අදින්නෙ නැති නිසා.

‘‘එහෙනං ඔහේ මේ සරම ඇඳගෙන බුදියගන්න,’’ කියල කියන ගමං ඒ මාම, වැලේ වනල තිබුණ සරමක් මගේ දිහාට විසි කරා.

‘‘එපා එපා... මං සරං අදින් නෑ... මං මෙහම්ම බුදියගන්නං,’’ කියන ගමන් ම මං ඒ සරම ආපහු ඒ මාමා ගාවට ම වීසි කරා.

‘‘සරං අඳින් නෑ...! එතකොට ගෙදෙද්දි බුදියගන්නෙත් කොට කලිසං ඇඳගෙනෙයි...?’’

මං ඒකටත් උත්තර දුන්නෙ වචනවලින් නෙවෙයි. ඔළුවෙන්.

‘‘ආ... හරි හරි කමක් නෑ... දැං එහෙනං බුදියගන්නකො... මං කතා කරනකං කොහෙවත් යන්නෙපා. කක්කුස්සියට යන්න එහෙම ඕනෙනං මට කියන්න හරිය. මේ ඉන්න එවුංගෙන් එහෙම මුකුත් අහන්නෙපා හරිය...’’

එහෙම කියපු ඒ මාම එයා මා ගාවට විසි කරපු දීපු, මං ආයෙ එයා ගාවටට විසි කරපු සරම ඇඳගෙන එයා ඇඳගෙන හිටපු සරම වැලෙන් දාල අනිත් බුරු ඇදේ හාන්සි වුණා.

අපලෝකන (02) : මං මක්කෙටයි කලිසම බුරුල් කරන්නෙ...?- ජයසිරිගේ අලුත්ම නවකතාව

දැන්නං පාං සුවඳ ඉවසන්න බැරි තරං. ඒ සුවඳට බඩගිනියිත් වගේ. ඒත් මං ඒ සුවඳයි ගින්නයි දෙක ම ඉවසගෙන බූරු ඇඳේ හාන්සි වෙලා ඇස් දෙක තදින් ම පියාගත්තෙ වෙන ඕන මගුලක් වෙද්දෙන් කියල හිතාගෙන.

*          *          *

මගේ පස්ස පැත්තට කවුරුහරි ටිකක් තදින් ගහනව වගේ මට දැනුණෙ හීනෙන් ද මන්දා... මං කෝකටත් කියල ඇස් දෙක ඇරල හැරිල බලද්දි මගේ ළග හිටගෙන හිටියෙ ඒ මාම.

‘‘හම්ම්ම් හම්ම්ම්... නැගිටිනව නැගිටිනව...’’

ඒක හරියට තාත්තගෙ අණ වගේමයි. මං කිසිම හා හූවක් නැතුව ටක් ගාල නැගිට්ට.

‘‘ඔය බෑග් එක අර මේසෙ අද්දර ම තියෙන පෙට්ටියෙං දාල ඇඳගන්න කලිසමකුත් අරගෙන, ඔය නිල්පාට තුවායත් අරගෙන එනවකො මාත්තෙක්ක...’’

ඒ මාම එහෙම කියන ගමන් ම කාමරෙන් එළියට බැස්සෙ මට ඉක්මනට එන්න කියන එක නොකිය. මං කාමරෙන් එළියට බැහැපු ගමන් ම ඒ මාමා කාමරේ දොර වහල ඉබ්බෙකුත් දැම්ම.

‘‘හම්ම්ම්... යං යං...’’ කියන ගමන් ම මාම ඉස්සරහට ගියා. මාත් ඒ පස්සෙන් ම ගියා. ඒ යද්දි අපි ආයෙත් පටු කොරිඩෝවකට වැටුණ. ඒ කොරිඩෝව දිගේ ටික දුරක් ගියාම වතුර ටැංකි තුනක් තියෙන තැනකට ආව. ඒ ටැංකිවලින් දෙකක් ටකරං තහඩුවලින් වහල තිබුණ. එකක් තිබුණෙ ඇරල.

‘‘දැං හීතලයි කියන්නෙ නැතුව ඇඟ හෝදගන්න. ඕනෙ නං නාන්නත් පුළුවං... ආ... දත්මැද්දෙ නෑ නේද...?’’ කියල කියන අතර ම ඒ මාම එක ටැංකියක පිටිපස්සට ගිහින් දත් බෙහෙත් ටියුබ් එකක් ගෙනල්ල දුන්න. ඒක අතට දීල ‘‘බ්‍රෂ් එකක් නැතිඋනාට කමක් නෑ. ඔය ටිකක් ඇඟිල්ලට අරගෙන දත් මැදගන්න,’’ කියල කිව්ව.

430167 b7f7d515299d5b44d27c1cd4f36f8a72
පොඩිකාලෙ ඉඳං වැඩිපුර ම දත් මැද්දෙ අඟුරුවලින්. එහෙමත් නැත්නම් දහයිය අළුවලින්. සිග්නල් කියන මේ දත් බෙහෙත් පාවිච්චි කරේ ලොකු නැන්නදලගෙ ගෙදර ඉන්න කාලෙ විතරයි. ඊට පස්සෙ බ්‍රෂ් එකකින් දත් මැද්ද කාලයක්වත් මතක නෑ.

‘‘හා හා... බල බල ඉන්න කාලයක් නෑ. දැන් අපේ එවුන් ආවොත් ඔහේට ඇඟ හෝදගන්න වෙන්නෑ. ඒ හිංද ඉක්මනට අන්න අර සරම දවටගෙන ඇඟ හෝදගන්න. මං මෙහෙන් ඉන්නං,’’ කියපු ඒ මාම එතනත් වැලක එල්ලල තිබුණ ටිකක් පරණ සරමක් පෙන්නල ටිකක් එහාට ගියා. කොච්චර හීතල වුනත් මට ඒ වෙලාවෙ ඇඟ නොසෝද ඉන්න බැරි වුණා.

ඉක්මනට ම ඇඟ හෝදගෙන ආයෙත් අර කාමරේට ආවෙ සීතලේ ගැහැ ගැහී. මාව කාමරේට දාපු ඒ මාමා දොර එළියෙන් වහන ගමන් ‘‘ඔහේ ඔහොම ඉන්න. මං විගහට එන්නං’’ කිව්ව. මං ටක් ගාල පෙට්ටිය ඇරල මගේ බෑග් එකේ තිබුණ ෂර්ට් එකක් අරගෙන ඇඳගත්ත. ඒච්චර වෙලා ඇඳගෙන හිටපු කොට කලිසමත් ගලවල වෙන කොට කලිසමක් ඇදගත්ත. කිලිටු කොට කලිසමයි ෂර්ට් එකයි ඇරුණම තව තියෙන්නෙ එක කොට කලිසමකුයි ෂර්ට් එකකුයි විතරයි.

මේ වෙද්දි කාමරේ ඉස්සරහින් මිනිස්සු යනව එනව දැනුණ. එයාල කතා කරනවත් ඇහුණ. ඒ කතා අතරෙ වැඩියෙන් ම කියවුණේ කුණු හරුප. මං කල්පනා කරේ කතුණුහරුප නැතුව එයාලට කතා කරන්න වෙන වචන ඇත්තෙම නැද්ද කියල. ඔන්න ඔය කල්පනාවෙ ඉද්දි තමයි ඒ මාම ඇවිත් දොර ඇරියෙ. එතකන් ම මං කල්පනා කරේ ඉස්සරහට මොනව වෙයි ද කියල.

‘‘ආ... මේක කාල මේ තේක බොන්න. බීල සද්ද නැතුව ඉන්න. කවුරු ඇවිල්ල කතා කරත් දොර අරින්නෙපා හරිය.’’ කියන ගමන් ම ඒ මාමා මගේ අතට මාළුපාන් ගෙඩි දෙකක් දුන්න. තේ එක මේසෙ උඩින් තිබ්බ.

‘‘ මං දැං පැන්ට්‍රියට යනෝ. අපි හතට විතර යං... එතකං සද්ද නැතුව ඉන්නෝනෙ හරිය...’’ කියපු ඒ මාම බෝල කුඩුවෙ එල්ලල තිබුණු ෂර්ට් එකකුත් ඇඳගෙන කාමරෙන් එළියට ගියා.

COFFEE SHOP
ඊයෙ රෑ... රෑ කිව්වට රෑමත් නෙවෙයි... දැන් පැය තුන හතරකට කලිං එද්දි දැකපු කැම වර්ග හැම එකක් කන්න තියෙනවනම් කියල ඒ වෙලාවෙ හිතුවට මේ වෙද්දිත් මට එහෙමට කියල බඩගින්නක් තිබුණෙ නෑ. මොකද මං පිචර් එක බලල ඉවර වෙලා බස් ස්ටෑන්ඩ් එක එහා පැත්තෙ තිබුණ දුවනගිරියකින් පාන් කාල කිරි තේත් බීල හිටපු නිසා. ඒ වුනාට මාළුපාන් දෙක ඉක්මනට ම කාල කිරි තේ එක බොන්න මට මහ ලොකු වෙලාවක් ගියේ නෑ. ඊට පස්සෙ මගේ ඔළුවෙ වැඩ කරේ ම ‘දැං මොනව වෙයි ද...?’ කියන ප්‍රශ්නෙ.

හැව්ලොක් හෝටලයේ මැනේජර්

‘‘කිසි ප්‍රශ්නයක් නෑ... තමුසෙ කොල්ලව නවත්තල යනව,’’ කියල මං ජස්ටින්ට කිව්වට කොල්ලට සරම් අඳින්නත් බැරි නිසා මොනවද ඌට දෙන වැඩ කියල මං කල්පනා කරා. මොකද කොට කලිසම ඇඳල වේටර් වැඩේට දාන්නත් බෑ. ජස්ටින්ගෙ නෑයෙක් කියපු නිසා පිඟන් හෝදන්න දාන්නත් බෑ. ඌ ඉගෙනගෙන තියෙන තරමට දෙන්න තරම් රස්සාවකුත් නෑ. එහෙම දෙනවනං ඉතිං අඩුම ගානෙ බිල් ලියන්නවත් දාන්න ඕන නෙ... එහෙම දාන්නත් බෑ. ඒකට එක හේතුවක් තමයි දැනට ඉන්න කෙනා; අනික පළපුරුද්දක් නැති එක. කොහොම වුනත් ජස්ටින් ටී මේකර්ගෙ ඉල්ලීමට පිටුපාන්න බැරි නිසා මං අපේ බොස් එනකං කොල්ලව තියාගත්ත

market day paris 1200x1200.jpg‘‘මොකද්ද තමුසෙගෙ නම කිව්වෙ... මේ...?’’

‘‘යසසිරි... රොහාන් යසසිරි...’’

‘‘ආ... රොහාන්... එහෙනං තමුසෙ උඩට ගිහිං මං පණිවිඩයක් එවනකං ඉන්නව. බොස් තව ටිකකිං එයි. ඒ ආවම මං පණිවිඩයක් එවන්නං.’’

කොල්ලට මං එහෙම කිව්වෙ ඌට දෙන රස්සාව මොකද්ද කියල මට තනි තීරණයක් ගන්න බැරි නිසා.

*          *          *

මැනේජර් මහත්තය වේටර් කෙනෙකුට කතා කරල ‘‘රංජිත්... මෙන්න මේ හාදය උඩට එක්කරගෙන යනව,’’ කියල කිව්වට පස්සෙ සාමාන්‍යයෙන් මගේ වයසෙ ම වගේ රතු, ලස්සන කොල්ලෙක් මාත් එක්ක ම පඩිපෙළ දිගේ උඩට නගින ගමන් ‘‘ඔහේගෙ ගම කොහේද...?’’ කියල ඇහුව. මං උත්තර දෙන්නැතුව හිටියෙ එක එකාට මොකට ද මගේ ගම කොහේද කියල කියන්නෙ කියල හිතාගෙන. පස්සෙ මිනිහ ආයෙ ‘‘මං ඇහුවෙ ඔහේගෙ ගම කොහේද කියල,’’ ටිකක් සැරෙන් වැගේ ඇහුව. මට ටිකක් බයත් හිතුණ. මං පඩිපෙළේ නතර වුණා. මිනිහ පස්ස හැරිල බැලුව. මං මිනිහගෙ මූණ දිහා ම බලාගෙන හිටිය මිසක් වචනයක්වත් කතා කරේ නෑ.

‘‘ඇයි... ඔහේට ගමක් නැතෙයි...’’ කියල ඇහුවම මට ටිකක් විතර කේන්ති ආව.

‘‘තියෙනව... දැනගන්න ම ඕනෙද...?’’ කියල මං ඇහුවෙ ඒ කේන්තිය පෙන්නන ගමන් මයි.

ඒකට මිනිහට කේන්ති ආව. ඒ නිසා ම ද කොහෙද ‘‘මොකෝ තමුසෙගෙ ඔච්චර ගනං...’’ කියල මගෙන් අහන අතර ම දෙවෙනි පඩිපෙළටත් නැග්ග. නැගල ‘‘හරි හරි... දැං බැරිනං පස්සෙ කියනවකො... ආං අරෙහෙං වාඩිවෙලා ඉන්නව’’ කියල හෝටලේ පළවෙනි තට්ටුවෙ ඉස්සරහ පැත්ත පෙන්නුව.


වීරයා ගෙදර ඇවිත්' හෙළිදරව් කළේ මොනවා ද? - ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2023/10/06  

අපලෝකන - පසුගිය ලිපි 

අපලෝකන (02) : මං මක්කෙටයි කලිසම බුරුල් කරන්නෙ...?- ජයසිරිගේ අලුත්ම නවකතාව

අපලෝකන (01): මුවන් පැලැස්සේ හිඟන කොල්ලා - ජයසිරිගේ අලුත්ම නවකතාව

වජ්ජා’වජ්ජ අවසන් වුව ද..'අපලෝකන' එළඹෙන සිකුරාදා සිට - (ජයසිරි අලවත්ත)


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...