The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

නිදහස ලබා ගැනීමට නම් - (කාන්ති කාරියවසම්)

T

The Leader Desk

February 6, 2022 • 3:47 PM

නිදහස ලබා ගැනීමට නම් - (කාන්ති කාරියවසම්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය දා වසර 74 ක නිදහස මහත් උජාරුවෙන් සමරා, චිත්ත ප්‍රමෝදයේ ගිලී ඉපිලෙමින් සිටින විට අහම්බෙන් ඇස ගැටුනේ " #නිදහසක්නෑබන්! " යන ලිපියයි.
  • අරගල නොකොට, ලේ නොසොල්වා ලක්මව නිදහස ලබා ගත් ආකාරය ගැන මහත් අභිමානයෙන්, පාසැල් සිසුවියක ලෙස එදා ඉගෙන ගත් අයුරු අදටත් මතකයේ ඇත.
  • අද ඒ ගැන ගැඹුරින් සිතන විට අපට ඇත්තෙන්ම නියම නිදහසක් ලැබුණි දැයි සිතේ.
  • සම්පූර්ණ නිදහස යන්න ඉතාම පුළුල් පරාසයක පැතිරී ඇති දෙයකි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඇතිවූ කුතුහලය නිසා එය කියවා ගෙන යන විටදී එහි අන්තර්ගතය ගැන ප්‍රත්‍යවේක්‍ෂාවක යෙදෙන ලෙස විචාර බුද්ධිය කල කංකෙඳිරි ගෑමට පිටුපා සිටීම මට අපහසු විය.

අරගල නොකොට, ලේ නොසොල්වා ලක්මව නිදහස ලබා ගත් ආකාරය ගැන මහත් අභිමානයෙන්, පාසැල් සිසුවියක ලෙස එදා ඉගෙන ගත් අයුරු අදටත් මතකයේ ඇත. අද ඒ ගැන ගැඹුරින් සිතන විට අපට ඇත්තෙන්ම නියම නිදහසක් ලැබුණි දැයි සිතේ.

සම්පූර්ණ නිදහස යන්න ඉතාම පුළුල් පරාසයක පැතිරී ඇති දෙයකි. මේ අතරින් කරුණු දෙකක් බෙහෙවින් වැදගත්යැයි මට හැඟෙයි.

පරාදීන මානසිකත්වයක් තුල නිදහස යන සංකල්පය පැවතිය නොහැක.

එදා මෙදා තෙක් පැවති මැතිවරණයන්හි තේමාව වූයේ මොකක් හෝ "නිකන්" දීමය. එකල ජනප්‍රිය තේමා පාඨ වූයේ හාල් සේරු දෙක දෙනවා, ඇට අට දෙනවා වැනි "නිකන්" දීමේ ඡන්ද පොරොන්දුය. මිනිසුන්ගේ බුද්ධියට ආමන්ත්‍රණය කරනවාට වඩා උදරයට ආමන්ත්‍රණය කිරීම ඵලදායි මෙන්ම පහසුය.

පසුකාලීනව උදරයට පමණක් නොව මුළු ජීවිතයටම (බුද්ධියට හැර) ආමන්ත්‍රණය කිරීම ඇරඹුනේ මනාප පොරයත් සමගිනි. සිමෙන්ති, ටකරන්, කුඩ, මත්පැන්, සහල්, සිල් රෙදි වැනි නොයෙකුත් පාරිභෝගික භාණ්ඩ එම "නිකන්" දීමේ ලැයිස්තුවට අයත් විය.



එදා සිට අද දක්වාම ඡන්ද ලබාගැනීමේ උපක්‍රමයක් ලෙස යොදාගනු ලබන "නිකන්" දීමෙන් සිදුවූයේ පොදු ජනයා ක්‍රමක්‍රමයෙන් අබුද්ධික, පරාදීන මානසිකත්වයට පත්වී තමන්ගේ වටිනා ඡන්දයේ අගය බාල්දු කිරීමයි. "නිකන්" දෙන බව කිවූ සැණින්, "නිකන්" දෙන දෙයෙහි වටිනාකම අනුව පිලෙන් පිලට බොහෝ ජනයාගේ කතිරය මාරුවිය.



අවාසනාව වනුයේ බොහෝවිට ඔවුන්ට "නිකන්" ලැබෙන්නේ ඔවුන්ම ගෙවන බදු මුදල් වලින් මිස දෙනු ලබන්නාගේ පුද්ගලික ධනයෙන් නොවන බව තේරුම් ගැනීමටවත් සබුද්ධික ඥානයක් බොහෝ ජනයාට නැති වීමය. තමන්ගෙන් ලබාගත් බදු මුදලින් තමාටම "නිකන්" තෑගි දී, තමාගේම ඡන්දයෙන් බලයට පත්වූවන්ට වැඳ වැටීම එතැන් සිට ඇරඹේ. දෙදණින් වැටී නමස්කාර කල යුත්තේ කාහටදැයි කියා තේරුම් ගැනීමට තරම් ස්වාධීන, නිදහස් මනසක් ඔවුන්ට නැතිවීම මහත් අභාග්‍යයකි.

"නිකන්" ලබාදීම වෙනුවට මිනිසුන්ට ස්වශක්තියෙන්, ස්වෝත්සාහයෙන් නැගිටීමට අතහිත දෙන ව්‍යාපෘති ඇති කිරීම වෙනුවට සාමාන්‍ය ජනයා යදින්නන්, යැපෙන්නන් ලෙස පවත්වා ගැනීම පාලකයන්ට පහසුය. පරාදීන, හිඟන මානසිකත්වයක් ඇති මිනිසකු තුල නිදහසක් හෝ නිදහස් සිතිවිලි කෙසේ නම් පැවතිය හැකිද, ඇතිවන්නද?

"නිකන්" යන වචනයට (නිකන් ආවා, නිකන් ගියා, නිකන් ඉන්නවා) අපේ ශබ්දකෝෂයේ සුවිශේෂ ස්ථානයක් හිමිවේ. "නිකන් දීමේ" පොරොන්දුව හරහා බලය ලබාගත් පසු වසර පහෙන් පහට වෙනස් වූ ආණ්ඩු තුල ගනුදෙනු දේශපාලනය (transactional politics) හැර වෙනත් තිරසාර ප්‍රතිපත්තියක් තිබුණාදැයි සැක සහිතය.


පරාදීන මානසිකත්වය නැති කල හැක්කේ යල්පැනගිය අපේ අධ්‍යාපනය යාවත්කාලීන කිරීම තුලිනි.

nbjk

පැණි පෙරන, මුට්ටි අතහරින ව්‍යාජ විජ්ජා කාරයන්ටත්, නොයෙක් කට්ටඩියන්ටත්, මෑණිවරු , පියවරුන්ටත් මුලා නොවෙන අනාගත පරපුරක් බිහිකිරීමට නම් සිසුන්ට තාර්කික චින්තනය දියුණු විය හැකි අධ්‍යාපන ක්‍රමයක් ඇතිකිරීම අත්‍යාවශ්‍යවේ.

මෙහිදී මගේ මතකයට එන්නේ කුඩා කාලයේදී උගත් ඉතිහාස පාඩමකි.

අතිමහත් බලයෙන් මත්වූ ලංකාවේ අවසන් රජු ලෙස සිටි පුද්ගලයා, කෙනෙකු කලායැයි කියන වරදකට ඔහුගේ බිරියට සහ දරුවනට දුන් දඬුවම් ගැන අප ඉතිහාස පොත් වල අනේක වාරයක් කියවා ඇත.

මැරෙන සැටි මම පෙන්වන්නම් කිවූ කුඩා දරුවාගේ ප්‍රකාශයට දෙන වැදගත්කම, අවධානය විනා බලය එක් පුද්ගලයකුට කේන්ද්‍ර ගතවූවිට සිදුවිය හැකි භයානක අනිටු ප්‍රතිඵල ගැන සිතීමට තරම් විචාර බුද්ධියක් අපේ හිස් ගෙඩි තුල ඇති නොවුනේ මන්දැයි පැහැදිළි අවබෝධයක් මට නම් නැත.

අපේ අධ්‍යාපන ක්‍රමය අනුව සියයට අනූවකටත් වඩා දෙමාපියන්ට අවශ්‍ය වන්නේ සිය දරුවා ඉංජිනේරුවකු, දොස්තරයකු, ගණකාධිකාරීවරයකු කිරීමටයි. කිසිවකු තම දරුවා දේශපාලකයකු කිරීමට සැළසුම් කරනු ඇතැයි මට නම් නොසිතේ.



දේශපාලනය අද තරම් මඩ ගොහොරුවක් නොවූ, මා පාසැල් ශිෂ්‍යාවකව සිටි අවධියේදී වුවත් දේශපාලකයකු වීමට මා බලාපොරොත්තු වන්නේයැයි කීවානම් මගේ දෙමවුපියන් මහත් කම්පනයකට පත්වනවා නොඅනුමානය. වර්තමානයේ නම් සිහි මූර්ඡාවී ඇද වැටෙනු නියතය.



අපේ බොහොමයක් දේශපාලකයින් මෙන්ම, දේශපාලන උණ වැළඳුණ අයද තමන් සියල්ල දන්නේයැයි සිතන උද්ධච්ඡ කමින් පිරී ඇත. විවිධ ක්‍ෂේත්‍ර වල විශේෂඥතාවය සහ පළපුරුද්ද ඇතියවුන් ගෙන් උපදෙස් ගැනීම මදිකමක් ලෙස ඔවුන් සිතනවා වියහැක.

මෑතකදී දොස්තර කෙනෙකු පාංශු විද්‍යාව ගැනත්, වරක් චීවරයක් දරා ගත්තකු ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ගැනත් රූපවාහිණියේ විශේෂඥ අදහස් පලකලේ කිසිම හිරිකිතයකින් තොරවය.

එසේම කණ, නාසය සහ උගුර පිලිබඳ වෛද්‍යවරියක්, ඇමෙරිකානු හමුදා ආක්‍රමණයකින් පසු එම සෙබළුන් අපේ කාන්තාවන්ට අඩන්තේට්ටම් කරන අයුරු කඳුළු, සෙම්, සොටු පෙරමින් විස්තර කල අන්දම මතක් වනවිට අදටත් ඇඟේ හිරිගඩු පිපෙයි.

මෙවැනි සිද්ධීන් අනන්තය. මේ සියල්ලෙන් රටට සිදුවූ බලවත් ආර්ථික පාඩු මෙන්ම ඇතැමුන්ට සිදුවූ පුද්ගලික හානිද අපමණය.


අපේ රටේ තත්ත්වය එසේ වුවත් අනෙකුත් දියුණු රටවල තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස්ය. අනාගත දේශපාලනය උදෙසා ඒ රටවල ඒ සඳහා කැමැත්ත, නිපුණත්වය ඇත්තවුන් යොමු කරනු ලැබේ. ඔවුන් පාසැලේ, විශ්ව විද්‍යාලයේ සිටම අනාගත දේශපාලන භූමිකාව බාර ගැනීමට පුරුදු පුහුණු වන්නේ මනා දැක්මක් සහ දැණුමක් ඇතිවය. දක්‍ෂතාවය මිස පරම්පරාව හෝ පවුල් උරුමය එයට කිසිසේත් අදාළ වන්නේ නැත.



අප රටේ පවතින දේශපාලනයට පිවිසීමට අවශ්‍ය සුදුසුකම් සහ ඒ සඳහා යොදා ගන්නා ක්‍රම සහ විධි ගැන අටුවා ටීකා සහිතව විස්තර කිරීම අවශ්‍යයැයි මට නොසිතේ.

ඉතාම සරලව කිවහොත් යමෙකුට හොඳ ගුණාත්මක බැවින් යුත් පළතුරු සලාදයක අවශ්‍යතාවයක් ඇතිනම් ඒ සඳහා පිරිසිදු නැවුම් පළතුරු යොදාගත යුතුය. එසේ නැතිව මැනිං මාරකැට්ටුවෙන් කුණුකොල්ලයට ලබාගත් කාබයිඩ් ගැසූ ගස්ලබුත්, කුණුවී ගිය කෙසෙල් ගෙඩිත්, චොරවී ගිය අඹත් යොදා සලාදය සාදාගෙන එහි කුණු, පිළුණු රසය ගැන මැසිවිලි නැඟීමෙන් සලාදයේ ගුණාත්මක බවෙහි වෙනසක් ඇති කල හැකිද?

image(කාන්ති කාරියවසම්)
kariyawasamkek@gmail.com

 

 

 

සබැඳි ලිපි :

 # නිදහසක් නෑ බන්! - 74 වයසක්ද බං? (වීඩියෝ )


# නිදහසක් නෑ බන්! : නිදහසේ සිහිනය දකින්නට හෝ කෝ අපට නිදහසක් ? -ගයාත්‍රී නවරත්න


# නිදහසක් නෑ බන් ! - රන්දිම ලියයි


නිදහසක් නැති රටක උබ තාමත් නිදහස සමරනවද? : YVF - Youth Vote Force


# නිදහසක් නෑ බං : තරුණ තරුණියෝ 'නිදහස් දින සැමරුම' වර්ජනයකට සැරසේ !


කතා කරන්න නිදහස : නිදහස් දවස වෙනුවෙන් - (වීඩියෝ)


ලේඛිකාවගේ වෙනත් ලිපි :



නිදහස ලබා ගැනීමට නම් - (කාන්ති කාරියවසම්)


අණනසුඛ සූත්‍රය වන වැදුනාද? -කාන්ති කාරියවසම්


හැත්තෑ තුන් වසරක අපේ උරුමය - (කාන්ති කාරියවසම්)


ඊශ්වරී, ෆාතිමා අපි ආයෙත් යාළු වෙමුද? - කාන්ති කාරියවසම්


මතක මංගල : 'ඔහුගේ දර්ශනය මිය යායුතු නොවේ' - කාන්ති කාරියවසම්


Leader Whats app

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිදහස ලබා ගැනීමට නම් - (කාන්ති කාරියවසම්) | The Leader