1947 මෙරට පළමු මැතිවරණයෙන් තේරී පත්වූ අගමැති ඩී.එස්. සහ කැබිනට් මණ්ඩලයඅගමැති ඩී.එස්. සේනානායක මෙහිදී ගැටලු දෙකකට මැදි විය. වතුකරයේ දෙමළ ජනතාවගේ ඡන්ද මෙරට මන්ත්‍රී ආසන 20 ක් සඳහා සෘජුව මෙන්ම වක්‍රාකාරව ද බලපා තිබීම හේතුවෙන් මෙරට මධ්‍යම කඳුකරය දකුණු ඉන්දීය වතුකම්කරුවන්ගේ ආක්‍රමණයකට මතු ගොදුරු වේ යැයි දකුණේ සිංහල සමාජය තුළ බියක් ඇතිවීම පළමු ගැටලුව යි. ඊට වඩා අගමැති ඩී.එස් ට හිසරදයක් වූයේ වාමාංශික පක්ෂවල බලය ප්‍රබල වී එමගින් මතු තම දේශපාලන දිවියට විශාල අවදානමක් සහ අභියෝගයක් විය හැකි යැයි ඔහු තුළ ඇතිව තිබූ බියයි.
ඩී.එස්. සේනානායක
වතුකරයේ දෙමළ කම්කරු කාන්තාවක් සහ ඇගේ දරුවන්ඉන්දියානු සහ පාකිස්තාන පදිංචිකරුවන්ගේ පුරවැසි පනතට පසු පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනතක් ඉදිරිපත් කළ අගමැති ඩී එස්. එමගින් ලංකාවේ ඡන්ද බලය පරම්පරාවෙන් පුරවැසියන් බවට පත් වූ අයට සහ ලියාපදිංචියෙන් පුරවැසියන් බවට පත් වූ අයට පමණක් හිමිවන සේ නීතිමය ප්‍රතිපාදන ඇති කළේය. මෙවැනි පනත් සම්මත කර ගැනීම තුළින් ඔහු තම දේශපාලන ස්ථාවරභාවය ආරක්ෂා කර ගැනීම අපේක්ෂා කළත් එය මේ රටේ අනාගතයට බලපාන විශාල ගැටලු ගොඩක ආරම්භයක් බව එදා අගමැති ඩී. එස්. වත් නොසිතන්නට ඇත.
එකල පාර්ලිමේන්තුවමෙම දෙමළ ජාතික මන්ත්‍රීවරුන් වූයේ එස්.යූ. එදිරිමානසිංහම්, ටී. නල්ලයියා, ඒ.එල්. තම්බයියා, කේ. කනගරත්නම්, ටී. රාමලිංගම් යන අයයි. ඔවුන් ලංකා දෙමළ වශයෙන් හඳුන්වන අපේ රටේ උතුරු පළාත නියෝජනය කළ මන්ත්‍රීවරුන් ය. ජාතිය එකම වර්ගය වුවත් අපේ රටේ උතුරේ ජීවත් වූ සම්භාව්‍ය දෙමළ ජනතාව සහ දකුණු ඉන්දීය දෙමළ අතර කුල ප්‍රශ්න වැනි බොහෝ පරස්පරතා තිබිණි. ඔවුන් වතු දෙමළ ජනතාවගේ පුරවැසි අයිතිය නැතිකිරීම හෝ සීමා කිරීම වෙනුවෙන් ඡන්දය භාවිත කළේ මේ පරස්පරතා හේතුවෙන් බව පැහැදිලි ය.
රටේ උතුරේ ජීවත් වූ සම්භාව්‍ය දෙමළ ජනතාව සහ දකුණු ඉන්දීය දෙමළ අතර කුල ප්‍රශ්න වැනි බොහෝ පරස්පරතා තිබිණි.
ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා
එන්.එම්. පෙරේරාවතුකර දෙමළ ජනතාවගේ පුරවැසි අයිතියට සෘජුව බලපාන පනත් පාර්ලිමේන්තුවේ සම්මත වන විට, ඇතැම් දෙමළ මන්ත්‍රීවරුන් සහ අනෙකුත් සුළු ජාතික මන්ත්‍රීවරුන් පිරිසක් ඊට සහාය පළ කරද්දී, සිංහල මන්ත්‍රීවරු සෑහෙන පිරිසක් එම පනත්වලට විරුද්ධව සිය ඡන්දය භාවිත කළහ. ඒ ලංකාවේ ප්‍රධාන වාමාංශික පක්ෂවලිනි. ආචාර්ය එන්.එම්. පෙරේරාගේ නායකත්වයෙන් යුත් ලංකා සම සමාජ පක්ෂය, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ නායකත්වයෙන් යුත් බෝල්ෂෙවික් ලෙනින්ස් පක්ෂය, පීටර් කෙනමන්ගේ නායකත්වයෙන් යුත් කොමියුනිට්ස් පක්ෂය මීට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අතර මේ පක්ෂවල සිටි වැඩි දෙනෙක් සිංහල ජාතිකයෝ වූහ.
සමස්ත ලංකා දෙමළ සංගමයේ නායක ජී.ජී. පොන්නම්බලම්මේ කුමන බාධක පැමිණියත් ඒ කිසිවක් කෙරෙහි තැකීමක් නොකළ ඩී. එස්. සේනානායක අග්‍රාමාත්‍යවරයා මේ පනත් සියල්ල පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට සමත් විය. ඉන්පසු ඔහු තවත් විශේෂ දෙයක් කළේය. ඒ සමස්ත ලංකා දෙමළ සංගමයේ නායක ජී.ජී. පොන්නම්බලම් හට තම රජයෙහි ජෝර්ජ් ඊ.ද සිල්වාගෙන් හිස් ව තිබූ කර්මාන්ත අමාත්‍ය ධුරය ප්‍රදානය කිරීම ය. ඉන්පසු ජී. ජී. පොන්නම්බලම් එක්සත් ජාතික පක්ෂයට එකතු විය. පොන්නම්බලම්ගේ මෙම ක්‍රියාව කෙරෙහි සමස්ත ලංකා දෙමළ සංගමය තුළ හටගත්තේ ප්‍රබල විරෝධයකි. ඉන් එම පක්ෂය දෙකඩ වී ගිය අතර ඉන්පසු එම පක්ෂයේ එස්.ජේ.වී. චෙල්වනායගම්, සී. වන්නියසිංහම් සහ ඊ.එම්.වී. නාගනාදන් යන මන්ත්‍රීවරුන් තිදෙනා පක්ෂයෙන් ඉවත් වූහ. ඔවුන් අලුතින් දේශපාලන පක්ෂයක් නිර්මාණය කරගත් අතර ඉලංගෙයි තමිල් අරසු කච්චෙයි (ITAK) නම්වූයේ මෙම පක්ෂය යි. එය ප්‍රසිද්ධ වූයේ ෆෙඩරල් පක්ෂය යන නමිනි. ලංකාවේ දේශපාලනයට ෆෙඩරල් යන වචනය එක් වූයේ 1949 දෙසැම්බර් 18 දා පිහිටුවා ගත් මෙම පක්ෂයත් සමඟ ය.
චෙල්වනායගම් රැස්වීමක් අමතමින්
එස්.ජේ.වී. චෙල්වනායගම්එදා අපේ රටේ ෆෙඩරල් පාලන ක්‍රමයක් ඇති නොවූ මුත් ලංකාවේ දෙමළ බෙදුම්වාදයට ආරම්භක පියවරක් තැබූ අවස්ථාව ලෙස මෙම ITAK පක්ෂය හෙවත් ෆෙඩරල් පක්ෂය පිහිටුවීම දැක්විය හැකිය. එස්.ජේ.වී. චෙල්වනායගම් ලංකාවේ දෙමළ බෙදුම්වාදයේ පියා ලෙස සැලකේ. සබැඳි ලිපි :
නොරට සිට ආ මුතුන් මිත්තෝ (8) : වතු දෙමළ ජනතාවගෙන් ලක්ෂ 8කට පුරවැසිභාවය අහිමියි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (7) : දකුණු ඉන්දීය ශ්‍රමිකයන්ට ඩී. එස්. ගෙන් කෙනෙහිලි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (6) : අපෙන් බදු මුදල් ! සුද්දන්ගෙන් පාරවල් !! - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (5) : මාතලේ කුලදෙවියන් පිදූ තැන දේවතාවියක් - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (4) : සිලෝන් ටී වෙනුවෙන් ඔවුහු දිවි පිදූහ - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (2): සිංහලයන්ට කටඋත්තර නැති කළ සුද්දෝ (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන්මිත්තෝ : ලංකාවට කම්කරුවන් සොයා ඉන්දියාවේ පෝස්ටර් (ඉන්දු පෙරේරා)



