කඳුකර දෙමළ ජනතාවගේ වගතුග සොයා ගිය ගමනක් - 6 කොටස
1831 වසර වන විට අපේ රටේ ප්‍රධාන මාර්ග බොහොමයක් ඉදිකර තිබිණි. කොළඹ මහනුවර මාතලේ දඹුල්ල මාර්ගය, අඹේපුස්ස කුරුණෑගල දඹුල්ල මාර්ගය, කුරුණෑගල මහනුවර මාර්ගය මේ අතර වේ.
එසේම සුද්දන්ගේ තේ ඇතුළු වතු වගාවන් ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය මාර්ග ද මේ වන විට ඉදිකර පැවතියේය. කොළඹ මහනුවර දුම්රිය මාර්ගය, මහනුවර මාතලේ දුම්රිය මාර්ගය, පේරාදෙණිය නාවලපිටිය දුම්රිය මාර්ගය, නාවලපිටිය නානුඔය බණ්ඩාරවෙල දුම්රිය මාර්ගය එම දුම්රිය මාර්ග යි.
කොළඹ මහනුවර දුම්රිය පාර
මෙලෙස දුම්රිය මාවත් සහ මංමාවත් ඉදිකිරීම තුළින් ඉංග්‍රීසින් අපට විශාල සේවයක් කළ බව සැබෑ ය. නමුත් සත්‍යය නම් ඔවුන් ඒ සඳහා යෙදවූයේ අපේම මුදල් ය. ඒ කාලයේ අපේ රටේ මිනිසුන් ඉතා අසීරුවෙන් මුදල් උපයා ගනිමින් ජීවත් වෙද්දී ඉංග්‍රීසීහු නොයෙකුත් ආකාරයට මිනිසුන්ගෙන් බදු අය කළහ. ඇඟ බද්ද මේ අතරින් එකකි. පිරිමි දරුවෙකු වැඩිහිටියකු බවට පත් වූ පසු මේ බද්ද ගෙවන්නට ඉංග්‍රීසීන් නියම කර තිබිණි. බද්ද ගෙවන්නට වත්කමක් නැත්නම් ඉංග්‍රීසි ආණ්ඩුව අපේ රටේ තනමින් සිටි පාරවල්වල දින හයක් වැඩ කළ යුතු විය. 1848 මාතලේ කැරැල්ල ඇතිවීම සඳහා මේ ඇඟ බද්ද ද ප්‍රබල හේතුවක් වී තිබිණි. මිනිසුන්ට බොහෝ සෙයින් පීඩාකාරී වන ආකාරයට තවත් බදු වර්ග ගණනාවක් එවකට ඉංග්‍රීසි ආණ්ඩුව මගින් පනවා තිබූ අතර එය කොතෙක් වීද යත් ගෙදර බල්ලෙක් ඇති කළේ නම් ඌටත් බද්දක් ගෙවිය යුතු විය. බද්ද නොගෙවන්නේ නම් බල්ලා දියේ ගිල්වා මරන්නටද නියම කර තිබූ බව පැවසේ. මෙම බදු නිසා අපේ රටේ මිනිසුන් කෙතරම් පීඩාවකට පත්ව සිටියේද යත් දරුවකු බිහිකළ මවට එරෙන මව්කිරිවලටත් තන බද්ද ලෙසින් බද්දක් අය කරාවිදෝයි මිනිසුන් හිඳ ඇත්තේ මහත් බියකිනි.
1848 මාතලේ කැරැල්ල
"පුරන්අප්පු කවි" වල මෙවැනි පේළි දෙකක් ඔබට මතක ඇතැයි සිතමු.
" ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලු කුක්කට මොන බදුද අනේ තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවිද නොදුරු දිනේ"
මෙය කියවන අපට එය විහිළුවක් සේ හැඟුණත් සැබැවින්ම එකල අපේ රටේ අහිංසක මිනිසුන් තුළ එවැනි භීතියක් තිබී ඇත.
ඉංග්‍රීසීන් අපේ රටේ පාරවල් තැනුවේත් ඔවුන්ගේ වතු වගාවන්ට වඩාත් පලදායි වන ආකාරයට ය. එය වඩාත් පැහැදිලි වන්නේ මුළු රටේම මිනිසුන් බදු ගෙව්වත් ඉංග්‍රීසීන්ට එතරම් පළක් නොවූ මඩකලපුව, අම්පාර, දිගාමඩුල්ල වැනි ප්‍රදේශවල සුද්දන් පාරවල් තැනුවේ දශක ගණනක් ඉකුත් වූ පසුව වීමයි.
පාරවල් ඉදිකිරීමේදී ද අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයක් ලෙස මිනිසුන් නියමිත දින ගණනක් පාරේ වැඩ කළ යුතු විණි. පසුකාලීනව වැඩ කිරීම වෙනුවට මුදල් ගෙවීමේ ක්‍රමයක් ඇති විය.
මාර්ග බද්දට අමතරව පාරවල්වල කරත්තවලින් බඩු ප්‍රවාහනය කරන්නේ නම් ඊටද අනිවාර්යෙන් බද්දක් ගෙවිය යුතු විය.
මාර්ග බද්දට අමතරව පාරවල්වල කරත්තවලින් බඩු ප්‍රවාහනය කරන්නේ නම් ඊටද අනිවාර්යෙන් බද්දක් ගෙවිය යුතු විය. එය රේන්ද බද්ද ලෙසින් හැඳින්විණි. 1842 - 1866 කාලය තුළ සුද්දන් මෙම රේන්ද බද්දෙන් ලද ආදායම පමණක් පවුම් පන්ලක්ෂ හැත්තෑ දෙදාස් තුන්සිය හැට දෙකක් (572362) බව වාර්තාවල සඳහන් ය. නමුත් එයින් මාර්ග සඳහා ඔවුන්ට වැය වී ඇත්තේ පවුම් හාර ලක්ෂ විසි දෙදහස් නමසිය පහළොවක් (422915) බව එහි වැඩිදුරටත් දැක්වෙයි. මේ අනුව එම වසර විසිහතරක කාලය තුළ ඉංග්‍රීසි ආණ්ඩුව රේන්ද බද්දෙන් පමණක් ලද ශුද්ධ ලාභය පවුම් එක් ලක්ෂ පනස් දහසක් පමණ වේ.
1880 වන විට අපේ රටේ එතෙක් පැවති සියලුම කෝපි වතු තේ වතු බවට පරිවර්තනය වෙමින් තිබිණි. තේ නිෂ්පාදනයෙහි තාක්ෂණය ද දියුණු මට්ටමට පැමිණ තිබූ අතර 1884 දී නුවරඑළියේ ෆෙයරිලන්ඩ් (Pedro) වතුයායේ මධ්‍යම තේ කර්මාන්ත ශාලාව ඉදිකරනු ලැබීය.
ලංකාවේ තේ වගාව කොතරම් ශීඝ්‍ර දියුණුවකට පත් වී තිබුණේද යත් 1899 වසර වනවිට අපේ රටේ අක්කර හාර ලක්ෂයක (වර්ග කි. මී 1619) තේ වගා කර තිබිණි. 1873 දී තේ රාත්තල් විසි තුනක් අපනයනය කර ජාත්‍යන්තර තේ අපනයන ක්ෂේත්‍රයට එක් වූ අපේ රට ඉන්පසු රුසියාව ඇමරිකාව වැනි රටවල්වලට පවා තේ අපනයනය සඳහා එක්විය.
පැරණි තේ කම්හලක්
අපේ රටේ තේ වගාව මේ තරම් ඉක්මනින් දියුණුවීමට බලපෑ ප්‍රධාන හේතු කීපයක් තිබිණි.
තේ වගාවට ඉතා හොඳ පසක් සහ දේශගුණයක් අපේ රටේ පැවතීම ඉන් එකක් විය. ඒ හැරුණු විට ඉංග්‍රීසි ආණ්ඩුව තේ ප්‍රවාහනයට අවශ්‍ය වන පරිද්දෙන් මහා මාර්ග සහ දුම්රිය මාර්ග පහසුකම් ඇති කර තිබීම, ඉතා අඩු මිලට අපේ රටේ ඉඩම් තේ වගාව සඳහා ඉංග්‍රීසි වැවිලිකරුවන්ට මිලට ගැනීමට හැකිවීම, තේ වතුවල කම්කරුවන් ලෙස දකුණු ඉන්දියානු ශ්‍රමිකයන් යෙදවීම තුළින් වැඩි ලාභයක් ලබන්නට හැකි වීම තවත් හේතුන් වේ. මෙසේ ලංකාවේ තේ කර්මාන්තය දියුණු වන විට බ්‍රිතාන්‍ය රජය නව තේ කර්මාන්ත ශාලා ඉදිකිරීමට මෙන්ම ඒ සඳහා නව යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම ආදී තාක්ෂණික පැත්තෙන් තව තවත් ප්‍රවර්ධනය වීම සඳහා විශාල දායකත්වයක් සපයා තිබිණි.
තේ වතු යායවල කම්කරුවන් ලෙස සිය ශ්‍රමය කැප කරන දකුණු ඉන්දීය ජාතිකයන් හෙවත් කඳුකර දෙමළ ජනතාව එක්දහස් අටසිය විසි ගණන්වල සිටම සිය රැකියාව වෙනුවෙන් විඳින්නේ අසීමිත දුකකි. එය අදට කියා වෙනසක් නැත.
තේ වතුවල වැඩ කරන කාන්තාවන්
ඔවුන් මෙහි පැමිණි මුල් කාලයේ ජීවත් වන්නට ලයින් කාමරවත් තිබී නැති අතර ඔවුන් දැන් වාසය කරන බැරක්ක ආකාරයේ ලයින් කාමර සාදා දීම ආරම්භ කර ඇත්තේ 1880දී පමණ බව පැවසේ. නමුත් අදටත් සමහර ඒවායේ විදුලිය නැත. දිනකට පැය කිහිපයකට පමණක් විදුලිය ලැබෙන ලයින් කාමර ද තිබේ. ජල සැපයුමත් එලෙසම අඛණ්ඩව සිදුවන්නේ නැත. වතුර ලැබෙන වෙලාවට බැරල්වලට පුරවාගෙන ගබඩා කරගත යුතුය. රෙදි සේදීම නෑම වැනි දෛනික අවශ්‍යතා තමන් ජීවත් වන වත්තේ පිහිටි පීලිවලින්, ඇළ දොළවලින් ඔවුහු පිරිමසා ගනිති.
![F3YtKHzacAAFCNL](/images/2023/2024/Jun/F3YtKHzacAAFCNL.jpeg)
දළු නෙළීමේද කලාවක් තිබේ. තේ දල්ල මෝරන්නට පෙර නෙළා ගත යුතුය. ඒ දින 7 - 14 දක්වා කාලය තුළ ය. තේ දළු හට ගන්නා ආකාරය අනුව වතුයායේ කොටසින් කොටස දළු නෙළිය යුතු අතර ඒ අනුව කම්කරුවන් වැඩ කළ යුතු ස්ථාන දිනෙන් දින වෙනස් වෙයි. දෛනික වැටුප ලබා ගන්නට ඔවුන් වැඩ කළ යුතු ප්‍රමාණයක් තිබේ. දවස තුළ නෙළාගනු ලබන තේ දළුවල බර කිරා බලා වැටුප් ගෙවීම සිදුවනු ඇත.
පරම්පරා කිහිපයක් තිස්සේ වැඩිහිටියන්ගේ ජීවිත මෙලෙස තේ ගස් අතර දියවී ගියත් තරුණ පරම්පරාව මේ රැකියාවට ඒ තරම් කැමැත්තක් දක්වන බවක් නොපෙනේ. ප්‍රධානම හේතුවක් වන්නේ ජීවත්වීමට වැටුප් ප්‍රමාණවත් නොවීම ය. හැරත් තාක්ෂණය දියුණු මේ කාලයේ ස්මාර්ට් ජංගම දුරකථන තුළින් අලුත් ලෝකයක් හඳුනාගෙන සිටින තරුණ පරපුර දළු නෙළීම ඇතුළු තේ වත්තේ කම්කරු රැකියාවන්ට තවදුරටත් ලොල් නොවීමෙහි අරුමයක් නැත. ඔවුන්ගෙන් සමහරුන් මැද පෙරදිග ගෘහ සේවයට ගොසිනි. තවත් සමහරුන් වත්තෙන් පිටවී වෙළඳ කලාප තුළ වෙනස් දිවියක් අරඹා ඇත. එසේම ධනවතුන්ගේ නිවෙස්වල සේවිකාවන් ලෙසද සෑහෙන පිරිසක් කටයුතු කරති. මෙයද අද ඊයේ සිදුවූවක් නොව, වසර ගණනාවක පටන් ඔවුන්ගේ ජීවිතවල දැකිය හැකි වූවකි. නමුත් තේ වතුවල කම්කරු රැකියාව ඔවුන්ගෙන් ගිලිහුණේ නැත.
![image c58729db37 1](/images/2023/2024/Jun/image_c58729db37-1.jpg)
විස්තර සපයා ගැනීමේ සහාය: කඳුකර සමාජ පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මාරිමුත්තු සතිවේල් පියතුමා, Historical dialogue and memory ආයතනය සහ අන්තර්ජාලය, ඡායාරූප අන්තර්ජාලයෙනි.
සටහන - ඉන්දු පෙරේරා
සබැඳි ලිපි :
නොරට සිට ආ මුතුන් මිත්තෝ (5) : මාතලේ කුලදෙවියන් පිදූ තැන දේවතාවියක් - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (4) : සිලෝන් ටී වෙනුවෙන් ඔවුහු දිවි පිදූහ - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (2): සිංහලයන්ට කටඋත්තර නැති කළ සුද්දෝ (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන්මිත්තෝ : ලංකාවට කම්කරුවන් සොයා ඉන්දියාවේ පෝස්ටර් (ඉන්දු පෙරේරා)