ජනාධිපතිවරයා පාලනය කිරීම හෝ ව්‍යවස්ථාව අත්හිටුවීම ශ්‍රේෂ්ඨාධිකරණයේ අරමුණ නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා,

ශිරාන් ගුණරත්න, ඒ.එච්.එම්.ඩී නවාස් යන විනිසුරුවරු ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසූහ.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා දී ඇති පෙත්සමට මැදිහත් වීමට අවසර ඉල්ලා පාර්ශ්ව කීපයක් විසින් ගොනු කර තිබූ පෙත්සම් ඊයේ කැඳ වූ අවස්ථාවේදී විනිසුරුවරු එසේ පැවසූහ.

පෙත්සම් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන විනිසුරුවරුන් හමුවේ කැඳවිණි.

ඉදිරිපත් වූ කරුණු මැනවින් සලකා බලා අදාළ නියෝග ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිකුත් කළ බව විනිසුරුවරු වැඩිදුරටත් සඳහන් කළහ.

පූජ්‍ය දඹර අමිල හිමි සහ මහාචාර්ය මහීම් මෙන්ඩිස් විසින් ගොනු කර තිබූ අතරමැදි පෙත්සම් සලකා බැලීම ඊයේ සිදු කෙරුණි.

පෙත්සම් අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී අදාළ නියෝගය වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට කිසිදු පාර්ශ්වයක් විරුද්ධත්වය නොවන බව පාර්ශ්වකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියහ.



නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා කියා සිටියේ මෙම පෙත්සම් කඩිනමින් විභාගයට ගෙන තීරණයක් ප්‍රකාශ කළ යුතු බවයි.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම් විභාගය ජූලි 25 සලකා බැලීමට දින කියම කළහ.

පෙත්සම් විභාගයට දින නියම කළ විනිසුරු මඬුල්ල පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා, ප්‍රතිවිරෝධතා සහ ලිඛිත දේශන ගොනු කරන ලෙස ද දෙපාර්ශ්වයට නියෝග කළහ.

අගවිනිසුරුවරයා හැර සෙසු විනිසුරුවරුන් ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළකාලමින් ජනාධිපතිවරයා වෙත පසුගිය අප්‍රේල් මස 30 වන දින අතුරු නියෝගයක් නිකුත් කෙරිණි. මෙම අතුරු නියෝගය තුළින් ශ්‍රේෂ්ඨාධිකරණය විධායකයේ බලතලවලට මැදිහත් වන බවට පාර්ලිමේන්තුවේ දී විවිධ මන්ත්‍රීවරුන් විසින් විවේචන එල්ල කර තිබෙන බව පෙත්සමේ සඳහන්ය.



ඒ අතර විශේෂයෙන්ම අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශ තුළින් අධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ කටයුතු දැඩි විවේචනයට ලක් කර තිබෙන බවත් මෙම පෙත්සම්වලින් කියා තිබේ.

ඒ අනුව තමන්ට මෙම පෙත්සම් විභාගයට මැදිහත් වීමට අවසර ලබාදෙන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන උපුල් ජයසූරිය සහ ඩිලාන් පිලිප් පෙනී සිටියහ.

ව්‍යවස්ථා දායක සභාව වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන එම්. ඒ. සුමන්දිරන් සහ කනග ඊශ්වරන් පෙනී සිටියහ.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා පෙනී සිටියාය.

(divaina.lk/ - ඒ.ජේ.ඒ. අබේනායක)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්