කඳුකර දෙමළ ජනතාවගේ වගතුග සොයා ගිය ගමනක් - 5 කොටස
 
දකුණු ඉන්දියාවේ සිට අපේ රටේ තේ වගාව සඳහා මෙහි පැමිණි දෙමළ ජනතාව ඒ එන ගමනේ දී ආවේ නිකම්ම නොවේ. ඔවුන්ගේ සංස්කෘතිය, ජීවන රටාව, කෑම බීම පමණක් නොව ඇදහිලි ක්‍රම පවා ඔවුහු මෙහි රැගෙන ආහ. ඔවුන් ඇදහුවේ බොහෝවිට ම කුල දෙවියන් ය. ඔවුන්ට ලොකු කෝවිල් නොතිබූ අතර කුල දෙවියන් ලෙස ඇදහුවේ තමන්ගේ මියගිය ඥාතියෙක් හෝ කුලය වෙනුවෙන් ජීවිතය දුන් කෙනෙකි.
 
20200305 160306 1024x576අරුල්මිගු ශ්‍රී මුත්තු මාරි අම්මාන් කෝවිල
 
ලංකාවට ගොඩබැස මාතලේ දක්වා පැමිණ එහි වූ විශාල නුග ගසක් යට නතර වූ පසුත් ඔවුන් තමන්ගේ දෙවියන් අදහන්නට අමතක කළේ නැත. අද වන විට මාතලේ නුග ගහ යට බස් නැවතුම පිහිටි ස්ථානයේ තිබෙන අරුල්මිගු ශ්‍රී මුත්තු මාරි අම්මාන් කෝවිල ඉදිවී තිබෙන්නේ ඔවුන් ඒ වන්දනාමාන කළ ස්ථානයේ ය.
This 200 years old Arulmigu Sri Muttumari Amman temple is located middle of the Matale historic city. Very colorful Hindu temple with gods and goddess images.මේ කෝවිල සම්බන්ධයෙන් රසවත් පුරාවෘත්තයක් ඇත. 
 
මේ කෝවිල සම්බන්ධයෙන් රසවත් පුරාවෘත්තයක් ඇත. 
       
මෙම කෝවිල ඉදි වන්නට පෙර එම ස්ථානයේ දිනක් ඉතා සුන්දර ලෙස සැරසුණු රූමත් කුඩා ගැහැනු ළමයෙකු හිඳ ඇත. පසුදා ඒ ගැහැනු  ළමයාව දිස් වී ඇත්තේ ඇඳුම් ඉතා කිලිටි වී පරණ වී ගිය යාචක දැරියක ලෙසිනි. 
       
මේ ප්‍රදේශයේ එවකට වාසය කළ ඉතාමත් දැඩි දේවභක්තිකයකු වන නල්ලමුත්තුට දිනක් රාත්‍රී නින්දේදී සිහිනෙන් පත්තිනි දේවිය දිස් විය. එම ගැහැනු  ළමයා තමා බවත්, එතැන ශුද්ධ භූමියක් බවත්, එහි දේවාලයක් ඉදි කරන ලෙසත් සිහිනෙන් ආ පත්තිනි දේවිය නල්ලමුත්තුට පවසා තිබේ. මේ කෝවිල අයිති ඉඩම එහි හිමිකරුවන් විසින් 1885 වසරේදී කෝවිල සෑදීම සඳහා පවරාදී ඇති අතර කෝවිල සෑදීමට ධන පරිත්‍යාග කර තිබෙන්නේ නාට්ටුකෝට්ටෙයි චෙට්ටියාර් නැමති ලංකාවේ ජීවත් වූ ද්‍රවිඩ ජාතිකයෙකු බව පැවසේ. එසේම මාතලේ ප්‍රදේශයේ එවකට වෙළඳාම් කටයුතුවල යෙදුණු දෙමළ ජනතාව ද මෙම කෝවිල සෑදීම සඳහා දායක වී ඇත.
 
20200308 115456මාතලේ අරුල්මිගු ශ්‍රී මුත්තු මාරි අම්මාන් කෝවිලෙහි තේරු උත්සවය
 
මෙයින් පැහැදිලි වන දෙයක් නම් දකුණු ඉන්දියාවෙන් පැමිණි එම කම්කරු ජනතාව මෙහි තාවකාලිකව නැවතී සිටියදී කුඩා පිළිමයක් තබාගෙන සිය කුල දෙවියන් නැමදූ ස්ථානය වසර ගණනකට පසු නිත්‍ය පුදබිමක් වන්නට ඇති බව ය. වර්තමානයේ අපේ රටේ තිබෙන විශාලතම මුත්තු මාරි අම්මාන් කෝවිල වන්නේ ද මෙයයි.
This 200 years old Arulmigu Sri Muttumari Amman temple is located middle of the Matale historic city. It's a very colorful Hindu temple with gods and goddess images all around.මාරි අම්මාන් දේවතාවිය මන්නාරමින් ගොඩ බැස ඉන්පසු පත්තිනියගේ වරම් ලැබගත් බවටද ජන විශ්වාසයක් පවතී
     
මාරි අම්මාන් යනු දකුණු ඉන්දීය දෙමළ ජනතාව අතර ඉතා ප්‍රකට දේවතාවියකි. ඇය වසූරිය හා සම්බන්ධ දේවතාවිය ලෙසද සැලකේ. දකුණු ඉන්දියාවේ සිට මෙහි පැමිණි වතුකරයේ දෙමළ ජනතාව අතර මාරි අම්මාන් ප්‍රසිද්ධ වන්නේ ඔවුන් තම මව් රටේදීත් එම දේවතාවිය ඇදහූ නිසා ය. මාරි අම්මාන් යනු පත්තිනි දේවිය නොවූවත් ඉන්දියාවේ සිට මාරි අම්මාන් දේවතාවිය මන්නාරමින් ගොඩ බැස ඉන්පසු පත්තිනියගේ වරම් ලැබගත් බවටද ජන විශ්වාසයක් පවතී.
mariamman මෙවැනි ඇදහිලි ක්‍රම මගින් ඔවුන්ගේ ජීවිතවල දී ඔවුන් අත්විඳි කායික හා මානසික විඩාව යම්තාක් දුරට හෝ සමනය කරගන්නට ඇත.  
තේ වතුවල රැකියාවට පැමිණි පසු ඔවුහු තම රැකියාවට අදාළව දෙවිවරුන් ඇති කර ගත්හ. කම්හලේ වැඩ කරන විට එම කම්හලට අදාළව "රෝද මුනි" නමින් දෙවි කෙනෙක් නම් කරගෙන එය ඇදහූහ. ඔවුන් ඉන්දියාවේ දී එවැනි දෙවි කෙනෙකු ඇදහුවේ නැත. මව් රටේ සිටිය දී මේ ජනතාව ජීවිකාව වශයෙන් කර තිබුණේ ගොවිතැන් ය. එවිට ඇතිකර ගත්තේ පොළොවටම ආවේණික වූ දෙවිවරුන් ය. නිදසුනක් ලෙස හේනක් කප්පාදු කරන්නේ නම් ඔවුහු ඒ මොහොතේ අදහන දෙවියන් "කපාතුසාමි" නමින් නම් කර ගත්හ. මෙලෙස මෙම අහිංසක ජනතාව තමන් ගේ වටපිටාව ආශ්‍රිතව යම් යම් දේවල් දේවත්වයෙන් අදහන්නට පටන් ගත්තේ ඔවුන්ට පරම්පරිකව උරුම වී තිබූ  ජීවන රටාවට අනුව ය. මෙවැනි ඇදහිලි ක්‍රම මගින් ඔවුන්ගේ ජීවිතවල දී ඔවුන් අත්විඳි කායික හා මානසික විඩාව යම්තාක් දුරට හෝ සමනය කරගන්නට ඇත. 
         
1880 වසර වන විට අපේ රටේ තේ නිෂ්පාදනය ශීඝ්‍ර ලෙස ඉහළ ගියේය. එය කොතෙක්ද  කිවහොත් 1888 දී කෝපි වගා කර තිබූ බිම් ප්‍රමාණය අභිබවා යාමට තේ වගාවට හැකි වී තිබිණි. 1899 වනවිට අපේ රටේ ආසන්න වශයෙන් වර්ග කි. මී 1619ක්, එනම් තේ අක්කර ලක්ෂයක් වගා කර තිබිණි. උඩරට මෙන්ම පහත රට දකුණු පලාතේ කඳු ප්‍රදේශවලද තේ වගා කරනු ලැබීය. 
 
largeපැරණි කොළඹ 
         
දකුණු ඉන්දියාවෙන් මෙරටට කම්කරුවන් රැගෙන ආවේ වතු වගාවට පමණක් නොවන බව මීට පෙර ලිපියක සඳහන් කළෙමු. කොළඹ ප්‍රදේශයේ කම්කරු වැඩවලට යොදා ගනු ලැබුවේ ද බොහෝ විටම මෙම දකුණු ඉන්දීය ශ්‍රමිකයන් ය. ඉන්දීය කම්කරුවන් අපේ රටේ සේවය කළ කොළඹ පිහිටි සුවිසල්  කම්හලක් වූයේ වැල්ලවත්ත රෙදි මෝලයි. අද වන විට එහි පෙහෙකම්හලක සලකුණකුදු නැති නමුදු අදටත් මේ ප්‍රදේශය රෙදි මෝල  ලෙස සමහරු හඳුන්වති. හරියටම කිවහොත් 1983 ජූලි කලබලවල දී සිංහල ජාතිවාදීන් විසින් පුළුස්සා  දමන ලද මරදානේ ගාමිණී සිනමා ශාලාව පිහිටි ස්ථානය අදටත් "ගාමිණී හෝල්" නමින් හඳුන්වන පරිද්දෙනි. 
 
මහාචාර්ය කුමාරි ජයවර්ධන විසින් සඳහන් කර ඇති පරිදි  වැල්ලවත්ත රෙදි මෝල හෙවත් වැල්ලවත්ත weaving and spining mills මෙරට ස්ථාපිත කරන ලද්දේ ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකු විසිනි. ඉන්දියාවේ බායි කෙනෙකු විසින් එය ආරම්භ කළ බව පැවසෙන අතර අද වන විට මයුරා ප්ලේස් නමින් හඳුන්වන පාර දෙපැත්තේ සිට ලුම්බිණියේ ඇළ දක්වාත්, මෝල පිටුපස කුරේ උද්‍යානය දක්වාත් අක්කර පනහකට වඩා වැඩි වපසරියක් සහිත එම සම්පූර්ණ ඉඩම අයත්ව තිබුණේ රෙදි මෝල හිමි ඉන්දියන් ව්‍යාපාරිකයාට ය. මෑතක් වනතුරු ම එම ප්‍රදේශය හඳුන්වන ලද්දේ රෙදි මෝල වත්ත නමිනි.
eryeeපැරණි පෙහෙකම්හලක්
 
එකල ඉංග්‍රීසීන් විසින් තේ මෙන්ම රබර් සහ පොල් වැනි වතු වගාවන් මහා පරිමාණ අන්දමින් කරගෙන යන අතරේ ලිප්ටන්, බවර්, බී.සී.සී, ලිවර් බ්‍රදර්ස් වැනි විශාල සමාගම් අයිතිව තිබුණේ ද ඔවුන්ට ය. සුද්දකු නොවන අයෙකු, එනම් ඉන්දියන්කාරයෙකු අපේ රටට පැමිණ මුලින්ම ආරම්භ කරන ලද විශාලතම කම්හල මෙම වැල්ලවත්ත රෙදි මෝල ය. මෙහි රැකියා පිණිස රැගෙන ආවේ ඉන්දියානුවන් ය. එයට ප්‍රධාන හේතුවක් වූයේ රෙදිමෝල හිමි ඉන්දියන් බායිලා විසින් ඉන්දියාවෙන් රැගෙන ආ මෙම කම්හලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍රවල වැඩ කිරීමට දැන සිටියේ ඉන්දියානුවන් වීම නිසා ය. විශේෂයෙන් බොම්බාය (වර්තමානයේ මුම්බාය) කේරළය සහ මදුරාසියෙහි විසු මලයාලම් ජාතිකයෝ ඉන්දියාවේ එවකට ප්‍රචලිතව පැවති මෙවැනි යන්ත්‍ර සූත්‍රවල වැඩකර පළපුරුදු අය වූහ. හැටේ දශකය වනතුරුම වැල්ලවත්ත රෙදිමෝලෙහි සේවකයන්ගෙන් 60% කට වඩා සිටියේ මලයාලම් ජාතිකයින් බව පැරැණි වාර්තා දක්වයි. ඒ හැරුණු විට දෙමළ මුස්ලිම් සේම සිංහල ජාතිකයෝ ද පසුකාලීනව රෙදි මෝලෙහි රැකියාවලට එක් වී සිටියහ.
     
කෙසේ වුවද රෙදිමෝලෙහි ඉහළ තනතුරු දැරුවේ ඉංග්‍රීසි ජාතිකයන් ය. 
 
2022.10.07.08ලැයිම් නිවාසයක් 
     
අපේ රටේ තේ වගාව ගැන කතා කරන විට අනිවාර්යයෙන්ම සඳහන් කළ හැකි ඒ හා බැඳුණු අනෙක් සුවිශේෂම දෙය නම් වතු කම්කරුවන් ⁣ගේ ලැයිම් නිවාස ය. ලැයිම් යනු line යන ඉංග්‍රීසි වදනට අනුව උච්චාරණයේ පහසුව තකා සිංහලයට නගා ගන්නා ලද වචනයකි. මෙහි අදහස නම් තනි පේළි නිවාස යන්නයි. මුල් වරට තේ වතුවල කම්කරුවන් සඳහා තැනුණු මෙම නිවාස ආකාරයටම වැල්ලවත්ත රෙදි මෝලෙහි සේවකයන් සඳහාද ලැයිම් නිවාස රෙදි මෝල වත්තෙහි සාදා තිබිණි. මේවායෙහි ආකෘතිය ඉන්දියාවේ, විශේෂයෙන් බොම්බායේ අතිශය ජනාකීර්ණ, අඩු ආදායම් නිවාස කලාපවල අද ද දක්නට ලැබෙන චාවුල් (chaul) නිවාස ක්‍රමයයි.  
 
චාවුල් නිවාස යනු තනි තට්ටුවේ සොල්දර ගෙවල් ය. ඒවා මෙන්ම මෙහි වතු නිවාසවල ආකාරයටම තනි පේළියේ ලයින් ගෙවල් හෙවත් ලැයිම්  නිවාස ඉදිකර තිබිණි. මැද ලොකු තාප්පයක් වැනි බිත්තියක් ඉදිකර ඒ දෙපැත්තේ කුඩා තනි කාමර ලෙසින් මෙම නිවාස සාදා තිබූ අතර මේවා ගොඩ නැගුවේ ඉන්දියාවේ සිට වැල්ලවත්ත රෙදි මෝලේ සේවය සඳහා පැමිණි කම්කරුවන් ට නතර වන්නට ය. මෙම තනි කාමර අවිවාහක කම්කරුවන් සඳහා ඉදිකරන ලද්දේ වුව පසුකාලීනව ඔවුහු ඉන්දියාවේ සිටි තම බිරිඳ කැඳවාගෙන විත් ඒවායෙහි පදිංචි වූහ. නමුත් බොහෝ දෙනෙකු මෙහි පැමිණි පසු සිංහල කාන්තාවන් විවාහ කර ගන්නට උනන්දුවක් දැක්වූ බව තොරතුරු සොයා බැලීමේදී පෙනී යයි. විශේෂයෙන් මලයාලම් පිරිමි සිංහල කාන්තාවන්ට වැඩි කැමැත්තක් දැක්වූ බව සඳහන් ය. සිංහල තරුණියන් තුළ ද මලයාලම් පිරිමි යහපත් බවට එකල  පිළිගැනීමක් තිබිණි. ඊට හේතුව සිංහල පිරිමින් මෙන් ඔවුන් කාන්තාවන්ට අඩන්තේට්ටම් නොකරන බවට අපේ කාන්තාවන් තුළ තිබූ විශ්වාසයයි.  එලෙස මලයාලම් පිරිමින් හා විවාහ වූ සිංහල කාන්තාවන්ව ඔවුන් ඉතා හොඳින් රැක බලා ගත් බවත්, අදටත් එම පරම්පරාවල් සිංහල කතෝලිකයන් ලෙස එම ප්‍රදේශවල ජීවත් වෙන බවත් අනාවරණය වේ.
mainstreetpettah3පැරණි කොළඹ 
 
එකල රෙදි මෝල ඉදිරිපිට හැව්ලොක් පාරට යාබදව පාරේ අනෙක් පස ඇති ස්වර්ණ පාරෙහි මුල් කොටසෙහි පිහිටි ලැටිස් ගෙවල්, ඒ පාරේ බෞද්ධ විහාරස්ථානයට ආසන්නව පිහිටි පේළි ගෙවල් රෙදි මෝලෙහි කම්කරුවන් උදෙසා තනන ලද ඒවා ය. රෙදිමෝල පිහිටි ඉඩම කෙළවරේ පීටර්සන් පාරේ, එකල තණකොළ කොටුව නමින් හැඳින්වූ, වර්තමානයේ කුරේ උද්‍යානය පිහිටි ස්ථානයේ ද රෙදිමෝලේ සේවය කළ කම්කරුවන් උදෙසා කුඩා පේළි නිවාස තනා තිබිණි. 
       
තනි පේළි නිවාස හැරුණු විට , එකිනෙකට යාව පිහිටි නිවාස සහ ද්විත්ව නිවාස ලෙස ක්‍රම කිහිපයකට මෙම කම්කරු නිවාස සාදා තිබූ අතර තේ වතුවල කම්කරු නිවාස සකස් කර තිබුණේ ද මේ ක්‍රමවලට ය. 
       
රෙදි මෝලේ උසස් නිලධාරීන් ගේ බංගලා එම මෝල වත්තෙහි ම වෙනත් පසෙක පිහිටා තිබිණි.
 
ඒ කාලයේ රැකියාවල කිසි අහේනියක් තිබුණේ නැත. අපේ සිංහල මිනිසුන්ට තිබුණේ රැකියාවක් කරන්නට වැඩි වුවමනාවක් නැතිකම පමණි. ඔවුන් පාරම්පරිකව කරගෙන ආ රැකියාවට අමතරව ගොවිතැන් කටයුතු ද කළ නිසා එදා ගත කළ සරල ජීවිතයට සරිලන පරිදි එදිනෙදා ඕනෑ එපාකම් සපුරා ගන්නට  ඔවුන්ගේ එම ඉපයීම් ප්‍රමාණවත් විය. ඒ නිසා වැඩි දෙනෙක් ඒ කාලයේ රැකියා සොයා මහන්සි වූයේ නැත. ඉංග්‍රීසීන්ගේ කාලයේ අපේ රටේ රැකියා අවස්ථා ඕනෑ තරම් තිබිණි. අහේනියක් තිබුණේ රැකියා අවස්ථාවල නොව ශ්‍රමිකයන්ගේ ය.
90එකල යම් කෙනෙකුට රෙදිමෝලේ රැකියාවක් අවශ්‍ය වී නම් කළයුතුව තිබූ එකම දෙය වූයේ උදේට වැඩ පටන් ගන්නා වෙලාවට පෙර මෝලේ ගේට්ටුව ළඟට යාමයි.
 
එකල යම් කෙනෙකුට රෙදිමෝලේ රැකියාවක් අවශ්‍ය වී නම් කළයුතුව තිබූ එකම දෙය වූයේ උදේට වැඩ පටන් ගන්නා වෙලාවට පෙර මෝලේ ගේට්ටුව ළඟට යාමයි. එහි උසස් නිලධාරියා ලෙස කටයුතු කළ ඉංග්‍රීසි ජාතිකයා ⁣කරන්නේ උදේට ගේට්ටුව ළඟට පැමිණෙන පිරිස කැඳවා ඔවුන් එක් එක් අංශවලට දැමීම පමණි. දිනකට සේවා මුර තුනක් ලෙසින් එකල එහි වැඩ කළ කම්කරු පිරිස තුන් හාර දහසක් පමණ වී යැයි කියනු ලැබේ. 
 
ඉන්දීය කම්කරුවන්ගේ තවත් තොරතුරු සමග ලබන සතියේ යළි හමුවෙමු.
        
තොරතුරු  සහ ජායාරූප සපයා ගැනීමේ සහාය, කඳුකර සමාජ පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මාරිමුත්තු සතිවේල් පියතුමා, ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ, Collective for historical dialogue and memory ආයතනය සහ අන්තර්ජාලය. 
 
සටහන: ඉන්දු පෙරේරා
 

සබැඳි ලිපි :

නොරට සිට ආ මුතුන් මිත්තෝ (4) : සිලෝන් ටී වෙනුවෙන් ඔවුහු දිවි පිදූහ - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (3) : වනයේ තප්පු ගසමින් දකුණු ඉන්දියානුවෝ මන්නාරම සිට මාතලේට ආ ගමන - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (2): සිංහලයන්ට කටඋත්තර නැති කළ සුද්දෝ (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන්මිත්තෝ : ලංකාවට කම්කරුවන් සොයා ඉන්දියාවේ පෝස්ටර් (ඉන්දු පෙරේරා)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්