BREAKING
Top Ad
විශේෂාංග

ලිංගික වෘත්තිය නීතියට හෝ බුදුදහමට පටහැනි ද? | සෝබා කෝලියවංශ

T

The Leader

March 16, 2025 • 12:05 AM

ලිංගික වෘත්තිය නීතියට හෝ බුදුදහමට පටහැනි ද? | සෝබා කෝලියවංශ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉකුත් සතිය වෙන් වූයේ කාන්තාවන් වෙනුවෙනි. මාර්තු 8 වන දාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සතියක කාලයක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන්නට පියවර ගෙන තිබුණි.
  • එය සමාජයේ ඇති දුර්මත ඉවත් වන්නට සහ සහකම්පනය ඇති වන්නට යම්‍තාක් දුරකට හෝ හේතු වනු ඇත.
  • පළමු තෝරාගැනීම නොවේ බොහෝ කාන්තාවන් මෙම රැකියාව වෙත යොමු වන්නේ පළමු තෝරා ගැනීම ලෙස නොවේ.
  • දැඩි පීඩාකාරී අත්දැකීම්වල කෙළවර බොහෝ දෙනෙකු ඒ වෙත යොමු වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කාන්තාවන්ගේ අයිතිවාසිකම්, නිදහස, අභිමානය, කාන්තාවන්ට ඇති අභියෝග ආදී දහසකුත් කාරණා කතා බහට ලක්වනු පෙනුණි. නමුත් ඒ කතා බහෙන් පවා මඟහැරුණු පිරිසක්, අනාදිමත් කාලයක් තිස්සේ තමන් මුහුණපාන ගැටලු කෙරෙහි සමාජයේ දෑස් විවර වන තුරු බලා සිටිති. ඒ දුක්බර සහ කඨෝර අත්දැකීම් පිරි ජීවිත ගත කරන ලිංගික ශ්‍රමික කාන්තාවන් ය.

ඔවුන්ට එල්ල වන හිංසනයන්, නීතිය ක්‍රියාත්මක කිරීමේදී සිදුවන අසාධාරණකම්, සමාජ සංස්කෘතික බලපෑම් හේතුවෙන් එල්ල වන සමාජීය පීඩනය පිළිබඳව මෙන්ම ඔවුන් සම්බන්ධ නීති රෙගුලාසි සහ ආගමික දෘෂ්ටිකෝණ පිළිබඳව විමසා බැලීම මේ ලිපියේ අරමුණයි. එය සමාජයේ ඇති දුර්මත ඉවත් වන්නට සහ සහකම්පනය ඇති වන්නට යම්‍තාක් දුරකට හෝ හේතු වනු ඇත.

තහනමකුත් නෑ අවසරයකුත් නෑ

 


ශ්‍රී ලංකාව තුළ ලිංගික වෘත්තීය නීතියෙන් තහනම් කර හෝ නීති ගත කර නොමැත. එනමුදු ලිංගික ශ්‍රමික කාන්තාවන් ශ්‍රී ලංකාව තුළ මුහුණ දෙන හිංසනයන් බහුවිධ වේ. ඔවුන්ට සමාජය සහ නීතිය ඉදිරියේ දී සිදු වන වාචික, කායික සහ මානසික හිංසනයන් පිළිබඳ නිරන්තරයෙන් වාර්තා වේ. බොහෝ විට මෙම කාන්තාවන් තම වෘත්තියෙන් බැහැරව, එදිනෙදා සාමාන්‍ය කටයුතුවල නිරත වීමේ දී පවා ආන්තිකරණයට සහ පීඩනයට ලක් වීමට සිදු වේ.

වාචික හිංසනය වශයෙන් අපහාසාත්මක, අසභ්‍ය වචනවලින් ඔවුන්ව හැඳින්වීම පෙන්වා දිය හැකිය. ඔවුන්ගේ ගෞරවයට හානි කරන අන්දමින් සිදුවන වාචික හිංසනයන් සමාජ මාධ්‍ය තුළ පමණක් නොව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ හා එදිනෙදා කතාබහේ දීත් සිදු වනු දැකගත හැකිය. එමෙන්ම ඔවුන් කායික හිංසනයට ලක් වීමේ ඉඩකඩ අනෙකුත් කාන්තාවන් හා ගත් කල ඉහළ ප්‍රතිශතයක් ගනියි. ගනුදෙනුකරුවන්ගෙන්, පොලිස් නිලධාරීන්ගෙන් පමණක් නොව සිය පවුලේ සාමාජිකයන්ගෙන් පවා පහරකෑම්, ලිංගික අපයෝජනයන් වැනි ශාරීරික හිංසනයන්ට මුහුණ දීමට සිදු වේ. රැකියාවෙන් බැහැරව සාමාන්‍ය කාන්තාවක් ලෙස දරුවන් සමග හෝ පවුලේ සාමාජිකයින් සමග ජීවත් වීමේදී සමාජයෙන් එල්ලවන පීඩනය, තමන්ගේ වෘත්තීය ගැනම ඇති වන අප්‍රසන්න හැඟීම, නිරන්තර බිය සහ අවිනිශ්චිතභාවය ආදී කරුණු ඔවුන් බරපතළ ලෙස මානසික පීඩාවට පත් කරන කරුණු ලෙස පෙන්වා දිය හැකියි.

පළමු තෝරාගැනීම නොවේ

prostitution in sri lanka
බොහෝ කාන්තාවන් මෙම රැකියාව වෙත යොමු වන්නේ පළමු තෝරා ගැනීම ලෙස නොවේ. දැඩි පීඩාකාරී අත්දැකීම්වල කෙළවර බොහෝ දෙනෙකු ඒ වෙත යොමු වී ඇත. ලිංගික ශ්‍රමික කාන්තාවක් ලෙස කටයුතු කරන සුදර්ශි ලියනගේ ඇය පිළිබඳ මෙසේ අදහස් දැක්වූවා ය.

“මගේ ගම මතුගම. මම දෙදරු මවක්. මගේ පළමු විවාහය අවසන් වුණේ දිනපතා සිදුවුණු අඬදබර නිසා. ඒ පීඩාව දරාගන්න බැරි තැන ඔහුගෙන් වෙන් වුණා. පවුලෙ අයගෙ බලකිරීමට දෙවෙනි වරට විවාහ වීමට සිදු වුණා. ඒ විවාහයෙන් දරුවො දෙදෙනෙක් ලැබුණා. ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙක්. දරුවො ටික ටික උස් මහත් වෙද්දී එයාලගෙ ඕනෑ එපාකම් වැඩි වෙද්දී මට රැකියාවක අවශ්‍යතාව දැනුණා. දරුවො දෙදෙනාගේ වගකීමට අමතරව පවුලෙ එකම දරුවා වුණ මට මගේ දෙමාපියන්ගේ වගකීමත් පැවරිලා තියෙනවා. ඔවුන් දෙදෙනාම සිටින්නේ රෝගාතුරව. පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට පෙර පළමු විවාහය සිදු කරගත් නිසා මට ඉහළ වැටුපක් ලැබෙන රැකියාවක් සඳහා ඉල්ලුම් කරන්න බැහැ. වෙළෙඳ සැල් කිහිපයක රැකියා කළත් ඒ ලැබෙන සොච්චම් වැටුපෙන් දරුවන්ගේ සහ දෙමාපියන්ගේ අත්‍යාවශ්‍ය වියදම් වලින් අඩක් වත් පියවා ගැනීමට නොහැකි වුණා. ඊට පස්සෙ ගම අත්හැරලා කොළඹ කාමරයකට ආවා. එතනින් තමයි ජීවිතේ වෙනස් වුණේ. කුලියට හිටපු අපි දැන් ගමේ ඉඩමක් අරන් ගෙයක් හදාගෙන ලස්සනට ජීවත් වෙනවා. මගේ අම්මා තාත්තා දරුවො දෙන්නා දැන් ලස්සනට ජීවත් වෙනවා.”

ලිංගික ශ්‍රමය සැපයීමට එරෙහිව නඩු දාන්න බෑ : නඩු තීන්දුවක්

 

සුදර්ශිගේ මුහුණේ ඇත්තේ සැනසිලිදායක සිනහවකි. ඇය ඇගේ රැකියාව පිළිබඳ කතා කරන්නේ අභිමානයෙනි. නොදැනුවත්කමින් තුරුණු වියේදී ගත් ඇතැම් තීරණ ඇගේ ජීවිතය උඩුයටිකුරු කර ඇත. අවසානයේ මෙම රැකියාව සඳහා ඇය යොමු වී ඇත්තේ දෙදරුවන්ගේ සහ දෙමාපියන්ගේ ජීවිත යහපත් කිරීම උදෙසාය.

සුදර්ශි එසේ පැවසුව ද ඔවුන්ගේ ජීවිතය එතරම් පහසු නැත. ලිංගික වෘත්තීය නීති ගත කර නොමැති පසුබිමක 1841 අංක 4 දරන පාදඩ ආඥා පනත හේතුවෙන් දිගින් දිගටම හිංසනයට ලක් වීමට සිදු වෙයි. නීතිය ඉදිරියේ දී ඔවුන්ට සිදුවන පීඩාවන් පිළිබඳ අදහස් දැක්වූයේ ලිංගික ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන්ට සිදුවන අසාධාරණයන් වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරන සකුණි මායාදුන්න යි.

චූදිතයින් වූ වින්දිතයෝ

image 1509859146 f78fe901a4
"ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමික කාන්තාවන්ට නීතිය ඉදිරියේදී මුහුණ දෙන්න වෙන තත්ත්වය බොහෝ විට ආරක්ෂාවට වඩා පීඩනයක් වෙනවා. 1840 දශකයේ බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයෙන් ඉතිරි වුණු Vagrants Ordinance පාදඩ ආඥා පනත සහ Brothels Ordinance (ගණිකා නිවාස පිළිබඳ ආඥා පනත) වගේ නීති, ලිංගික ශ්‍රමිකයින් ‘සමාජයට කරන අහිතකර බලපෑමක්’ විදිහට හඳුනාගෙන අත්අඩංගුවට ගන්න භාවිත වෙනවා. මේ නීති යටතේ, ඔවුන්ව ‘කුණුහරප කියන’ හෝ ‘සමාජයට පිටස්තර’ අය විදිහට ලේබල් කරලා, බොහෝ විට කිසිම සාක්ෂියකින් තොරව අත්අඩංගුවට ගන්නවා. පොලිස් නිලධාරීන් ඔවුන්ට පරුෂ වචනයෙන් බැණ වැදීම, කායිකව හිංසා කිරීම, පහර දීම, බලහත්කාරයෙන් රඳවා ගැනීම වගේම ලිංගික අපයෝජනයට ලක් කිරීම් පිළිබඳවත් අපිට වාර්තා වෙනවා.

1411982448balumgala

මේ විදිහට නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඔවුන්ට සිදු වන අකටයුතුකම් නිසා, ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. පාදඩ ආඥා පනත යටතේ ‘සැකකටයුතු චරිත’ විදිහට ඔවුන්ව හඳුනාගන්නත්, ඒකට එරෙහිව ඔවුන්ට නීතිමය විරෝධයක් දක්වන්න බැරි තත්ත්වයකට ඔවුන්ව තල්ලු කරනවා. ඒ වගේම, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ‘අල්ලස්’ ඉල්ලීම්, හෝ ලිංගික සේවා ලබාගන්න බල කිරීම වගේ දූෂණත් මේ තුළ සිදු වෙනවා. මේ හිංසනයන් නිසා, ලිංගික ශ්‍රමික කාන්තාවන්ට නීතිය යනු ආරක්ෂාවක් වෙනුවට තවත් පීඩනයක් විදිහට දැනෙනවා. නීති ක්‍රියාත්මක කිරීමේ මේ අසමතුලිතතාවය, ඔවුන්ව සමාජයෙන් තවත් ඈත් කරලා, ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවටත් තර්ජනයක් වෙනවා.

අයාල ආඥා පනතට අනුව නියම කළ හැකි උපරිම දඩය රුපියල් සියයක් පමණයි. මේ නිසා ඇතැම් පොලිස් නිලධාරීන් ලිංගික ශ්‍රමික කාන්තාවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ වරදට උසාවියට ඉදිරිපත් කර විශාල දඩ මුදලක් නියම කරවනවා. එය ගෙවීමට නොහැකි වුවහොත් බන්ධනාගාර ගත කරනවා.

 

wcew

සකුණි මායාදුන්නසකුණි මායාදුන්නබන්ධනාගාර ගත කිරීමේදීත් බොහෝ අකටයුතුකම් වලට මුහුණ දෙන්න සිදුවෙනවා. බන්ධනාගාර ගත කරන්නේ සංක්‍රාන්ති සමාජභාවීය කාන්තාවක් නම් මුලින්ම ඇගේ දිගු වරලස කපා දමනවා. විශේෂ ඉල්ලීමක් නොකළොත් පුරුෂයින් රඳවා තිබෙන කොටසට යොමු කරනවා. එහිදී නොයෙක් අතවරයන් සිදු වනවා පමණක් නොවෙයි සමාජ රෝග වලට පවා ගොදුරු වෙන්න සිදු වෙනවා. ලිංගික ශ්‍රමික කාන්තාවක් අත්අඩංගුවට ගැනීමෙන් පසු සමාජ රෝග වැළඳී ඇත්දැයි පරීක්ෂා කළාට අනෙක් පුද්ගලයන් එවැනි පරීක්ෂා කිරීමකට ලක් වන්නේ නැහැ. මේ නිසා බන්ධනාගාර ගත වීමේදී රෝගයක් නොතිබුණත් බන්ධනාගාරයෙන් පිට වන්නට සිදු වන්නේ රෝගියෙක් විදියටයි." බන්ධනාගාරගත වන සංක්‍රාන්ති සමාජභාවීය කාන්තාවන්ට මුහුණ දෙන්නට සිදුවන අවාසනාවන්ත සිදුවීම් පිළිබඳ සකුණි විස්තර කළා ය.

පාලනයට නීති පහක්

by555
ශ්‍රී ලංකාවේ නීතියට අනුව ගණිකා වෘත්තිය හා සම්බන්ධ ක්‍රියාකාරකම් පාලනය වන පනත් පහකි. එනම්, දණ්ඩ නීති සංග්‍රහය (Penal Code), 2005 අංක 12 දරන පනතින් සංශෝධිත 1889 අංක 05 දරන ගණිකාවාස ආඥා පනත (Brothels Ordinance) සහ 1947 අංක 20 දරන පනතින් සංශෝධනය වූ අයාල ආඥාපනත (Vagrants Ordinance ),  1939 අංක 48 දරන ළමයින් හා තරුණයින් පිළිබඳ ආඥාපනත (Children and Young Persons Ordinance) සහ 2005 අංක 30 දරන වෛශ්‍යා වෘත්තිය සඳහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරීම වැළැක්වීමේ සහ ඊට එරෙහිව කටයුතු කිරීමේ පනත යන ඒවාය.

මේ සියලුම නීති තත්වයන් සලකා බලන කළ කිව හැක්කේ ස්වාධීනව ගණිකා වෘත්තිය ජීවිකාව ලෙස පවත්වාගෙන යන කාන්තාවක අත් අඩංගුවට ගැනීමට හෝ එවන් තැනැත්තියකට එරෙහිව නඩු පැවරීමට ලංකා නීතියේ කිසිඳු ප්‍රතිපාදනයක් නොමැති බවයි.

නීතිමය තත්ත්වය එසේ වුවද ලිංගික ශ්‍රමික කාන්තාවන් දිගින් දිගටම  අපහසුතාවයන්ට සහ අසාධාරණකම්වලට මුහුණ දෙන බව නොරහසකි. එය නීතිගත කිරීම පිළිබඳ අදහස් ඉදිරිපත් වීමේදී වැඩි වශයෙන් එයට විරුද්ධව අදහස් ඉදිරිපත් වන්නේ ආගම් මූලික පූජක පක්ෂයෙනි.

 

india khajuraho 9
හින්දු ආගම තුළ දේවදාසිත්, කතෝලික ආගම තුළ මග්දලේනා වැනි ඓතිහාසික උදාහරණත් බහුතර බෞද්ධ සමාජය තුළ, ‘පංච ශීලය’ යටතේ ‘කාමමිථ්‍යාචාරයෙන් වැළකීම’ පිළිබඳ ඉගැන්වීම, ලිංගික ශ්‍රමික කාන්තාවන් සදාචාර විරෝධීන් ලෙස හැඳින්වීමට හේතු වේ. බහුවිධ ආගම් ශ්‍රී ලංකාව තුළ පැතිරී ඇතත් සාමාන්‍ය ජන වහරේ පවතින්නේ ලංකාව සිංහල බෞද්ධ රටක් වශයෙනි. ලිංගික ශ්‍රමික කාන්තාවන් පිළිබඳ බෞද්ධ දර්ශනය තුළ ඇත්තේ කෙබඳු කියවීමක් ද යන්න පැහැදිලි කරනු ලැබුවේ කරවිලකොටුවේ ධම්මතිලක හිමියන් විසිනි.

අභිසාරිකාවන්ටත් මග කියූ බුදු දහම

කරවිලකොටුවේ ධම්මතිලක හිමිකරවිලකොටුවේ ධම්මතිලක හිමි

“ලිංගිකත්වය සම්බන්ධයෙන් බුද්ධ දර්ශන‍යේ දැක්වෙන්නේ වෙනස් අදහසක්. බුද්ධ දර්ශනය පූද්ගල අනන්‍යතාවය සුරැකෙන විදිහට තමයි සෑම විටම කටයුතු කරලා තියෙන්නේ. කොසොල් රජතුමන්ගේ කතා ප්‍රවෘත්ති වලදි එහෙම පේනවා ඒ අයගෙ නිදන කාමරයට එබෙන මට්ටමකට බුදුදහම ගිහින් නැහැ කියලා.  එකිනෙකාගේ අනන්‍යතාවයන්ට, පෞද්ගලිකත්වයට බුදු දහම හැමවෙලාවේම ගරු කරලා තියෙනවා.

z p10 Dhaham

එකල ස්වාමීන් වහන්සේලා ධර්මය දේශනා කරලා තියෙන්නේ බෞද්ධ කියලා තමන් හඳුනගත්ත පිරිසකට නෙවෙයි. ස්වාමීන් වහන්සේලාට තිබුණේ පැවිදි සංචාරක ජීවිතයක්. අවුරුද්දේ වැඩි කාලයක් ගෙවලා තියෙන්නේ ධර්ම චරිකාවේ යෙදෙමින්.

බුදු දහමේ වර්තමාන ස්වරූපයේ තමයි ලිංගිකත්වය හා සමාජභාවය වැනි දේවල් කතාබහට ලක් වන්නේ. බුදුරජාණන් වහන්සේ සිරිමා, සුගලා කියන ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ නිවෙස් වලට වැඩලා දානය වළඳලා තියෙනවා.

බෞද්ධ දර්ශනයට අනුව ලිංගිකත්වය පිළිබඳ අපට බලපෑම් කරන්න බැහැ. විශේෂයෙන්ම  කාමභෝගී ගිහියන්ගෙ. ව්‍යග්ගපජ්ජ වගේ සූත්‍රවල සඳහන් වෙනවා ගිහියන් ඇවිල්ලා කියනවා “අනේ ස්වාමීනි අපිට නිවන ගැන කතා කරන්න ඕන නෑ. අපි කාමභෝගී ජීවිත ගත කරන, සුවඳ විලවුන් ගල්වන, රස මසවුළු බුදින මිනිස්සු. අපට කියන්න ස්වාමීනි මේ ලෝකෙ සතුටින් ඉන්න විදියක් ගැන” කියලා.

 

0 bzAOmbcYzUhPWNsV

‘ලිංගිකත්වය පාපයක්’ වැනි අදහසක් ඇවිත් තියෙන්නේ මුල් බුදු සමයේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන දවස අභිසාරිකාවන් සහ ගණිකාවන් හිටියා. අභිසාරිකාවන් කියලා කියන්නේ සමාජයේ සුවිශේෂි බලයක් අත්පත් කරගත්ත ප්‍රතිලාභ ලාභී කණ්ඩායමක්. රජතුමාට ඇමතිවරුන්ට වුණත් බලපෑම් කරන්න පුළුවන් කෙනෙක්. ඒ තරම් ප්‍රබල චරිත. දැන් අපි දකින්නේ වික්ටෝරියානු පන්නයේ බුදු දහමක්. එහි තමයි මේ සම්බන්ධව ඉතාම පහළින් කතා කරන්නේ. පුද්ගල අනන්‍යතාව සහ පුද්ගල සමාජභාවය පිළිබඳ නිවැරදි සහ වඩාත් උසස් කියවීමක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒක විකෘති කරලා තමයි මේ යන ගමන යන්නේ. විශේෂයෙන් ඔය ස්ත්‍රි පුරුෂ සමාජභාවය වැනි කාරණා සම්බන්ධව ගිහියන් සමග සාකච්ජා කළ බවක් සඳහන් වෙන්නෙ නෑ.

වෙනස් කොට සැලකීම බුදුදහමෙන් ඉඩක් නෑ

ධම්මතිලක හිමියන් තවදුරටත් අවධාරණය කළේ, වෘත්තියක් නිසා හෝ අන් හේතුවක් නිසා පුද්ගලයන් වෙනස් කොට සැලකීම මුළුමනින්ම බුදුදහමට පටහැනි බවයි.

 

amrapali and buddhist monk


“අපට පේනවා ලිංගික ශ්‍රමික කාන්තාවන් සමාජයෙන් කොන් කරන තත්ත්වයක්. තථාගතයාණන් වහන්සේ මිනිස්සු කොන් කිරීමට විරුද්ධයි. උන්වහන්සේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී හිටපු ශාස්තෘවරයෙක්. කාන්තාවන්ට පැවිද්ද ලබා දීම ඒකට උදාහරණයක් විදියට පෙන්වා දෙන්න පුළුවන්. බමුණු ආධිපත්‍යය පැවතිච්ච ගෙයි මුල්ලට කොටු කරපු දඹදිව කාන්තාවන්ට පැවිද්ද ලබලා දුන්නා. ඔවුන්ට වෙනම ආරාම තිබුණා. බුදු හාමුදුරුවෝ කාන්තාවො ප්‍රතික්ෂේප කරන මට්ටමක් නෙමෙයි හිටියෙ. ඔවුන්ගේ හඬට කන් දුන්නා. ඒක මහා විප්ලවීය වැඩක්. එකල තිබුණ සමාජ මහා කඩතුරාව කීතු කීතු කරලා ඉරලා දැම්මා වගේ වැඩක් ඒක.

විශාඛාව වගේ උවැසියෝ ගැන කතා කරනකොට ඒගොල්ලෝ විශාල සමාජ බලයක් ඇති මහා පිරිස් බලයක් තිබුණ පිරිසක්. තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය දියුණු කරන්න කැප වුණේ අර තරම් විවෘතභාවයක් තිබුණ හින්දා සාසනය තුළ. මේ අද කියන වික්ටෝරියානු පන්නයේ බෞද්ධ සංස්කෘතික ලක්ෂණ දැක්වූවා නම්, එවැනි කාන්තාවෝ එන්නේ නැහැ. ඔවුන් දුර දක්නා නුවණක් තිබුණු අය.
 
මේ වන විට බුද්ධ දර්ශනය යටපත් වෙලා සංස්කෘතිකමය වූ ඇතැම් ගෝත්‍රවාදී අදහස් ඉස්මතු වෙලා තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේලාත් බුදුහාමුදුරුවෝ මෙහෙනි සස්න පිහිටවීම ගැන මහා ඉහළින් කතා කරනවා. හැබැයි ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ලිංගික ශ්‍රමිකයන් ගැන කතා කරද්දී හැංගෙනවා. අභිසාරිකාවන්ව සිට රහත් බවට පත් වුණ තෙරණියන් ගැන කතා කරනවා හැබැයි වර්තමානයේ ලිංගික ශ්‍රමික  කාන්තාවෝ සම්බන්ධව කතා කරන්න ගියොත් එහෙම අරවා ඔක්කොම අමතක වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේලා අවංක නෑ. දාර්ශනික වශයෙන් නිශ්චිත අදහසක් නෑ. ධර්මය ගැන නිවැරදි ගැඹුරු අවබෝධයක් නෑ. අනිත් කාරණාව ඒ අදහස් ප්‍රකාශ කිරීම අවස්ථාවාදී සහ වංචනිකයි.  
 
ධර්මය වෙනුවට අධර්මය සරණ යෑම
 
V5TmodyZumd7MBlT low res
ධර්මය ලෙස උපුටා දැක්වෙන ඇතැම් කරුණු ධර්මය නොවන බවත්, ඒවායින් ධර්මය විකෘති වන බවත් ධම්මතිලක හිමියෝ පෙන්වා දෙති.

පේතවත්තුව, ධාතු කතා, යමක, පට්ඨාන වගේ පසුකාලීන ග්‍රන්ථවල තියෙන ඒවා අරගෙන තමයි ලිංගික ශ්‍රමික කාන්තාවන් සම්බන්ධ කාරණා කියන්නේ. ඒ ඇත්තටම සද්ධර්මය නෙමෙයි. ඒවා අවශේෂ කොටස්. ඒකෙන් ධර්මය කෙලෙසෙනවා. සද්ධර්මය කියන්නේ ඔහොම එකක් නෙවෙයි. බෞද්ධ දර්ශනයේ ඔවැනි කතන්දර නෑ.
 
බුදු දහමේ මූලික හරයන් වන කරුණාව, මෛත්‍රිය වගේ දේවල් තියෙන්නේ ගණිකාවකටද එහෙම නැත්නම් මේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකුට ද යන්න විමසීමට අවශ්‍ය වන්නේ නැහැ. ඉන්දියාව පදනම් කර ගත් දකුණු ආසියාතික රටවල් වල තිබුණේ බ්‍රාහ්මණ ඉගැන්වීම්. ඒ නිසා තමයි ලිංගික හැසිරීම් පාපයක් ලෙස හිතන්නේ.
 
Prostitution
කුරුණෑගල යුගයේ දී බෞද්ධ දර්ශනය පිරිහීම ආරම්භ වුණා. මහනුවර යුගයේ දී කාන්තාවන්ට පමණක් නොව බෞද්ධ ස්වාමින් වහන්සේලාටත් ඉතාමත් පහත් අන්දමින් තමයි සලකලා තියෙන්නේ. එකල අධ්‍යාත්මික සංවර්ධනයක් හෝ නායකත්වයක් තිබිලා නෑ. එහින් බිහි වූ පරම්පරාවේ පූර්වාදර්ශයෙන් තමයි වර්තමානයේ දී එක් එක් සමාජ කණ්ඩායම් පහත්කොට සලකන්නේ. අපි නිර්මාණය කළ යුත්තේ ලිංගික ශ්‍රමිකයන් ඇතුළු අනෙක් සියලුම දෙනාට නිවැරදි ධර්ම ඥානයක් ලබා දිය හැකි වැඩ පිළිවෙළක්. ඔවුන් බිය වද්දා තවත් ධර්මයෙන් ඈත් කිරීම නොකළ යුතුයි. ලිංගික ශ්‍රමිකයන් යෙදෙන්නේ වෘත්තියක පමණක් බව අවබෝධ කර ගත යුතුයි.”
WhatsApp Image 2025 03 15 at 10.29.12 AM 
කරවිලකොටුවේ ධම්මතිලක හිමියන් එසේ පැවසුව ද තම නිවෙස්වලින් බොහෝ දුර බැහැරට විත් රැකියා කරන ඔවුන්ට තම නවාතැන් වලින් හිටිහැටියේ ඉවත් වන්නට සිදු වෙයි. ඔවුන්ගේ දරුවන්ට  අධ්‍යාපනය ලබාදීමට පාසල් නොමැතිව අසරණ වන්නට සිදුවෙයි. අසනීපයකට රෝහලකට ගොඩවන්නට නොහැකිය. ඒ සියලු වෙනස්කොට සැලකීම්  ඔවුන්ගේ රැකියාව නිසාය. ඔවුන්ගේ හෝ පවුල්වල අයගේ කුසගින්න වෙනුවෙන් ඔවුන්ගේ තේරීම නීතියෙන් වරදක් නොවන රැකියාවක් නම් ඒ පිළිබඳ සමාජයට ගැටලුවක් ඇති විය හැකිද? රටේ බහුතරයක් බෞද්ධයන් වූ කළ ලිංගික ශ්‍රමික කාන්තාවන් කෙරේ වෛරී හැඟීමක් හෝ ආන්තීකරණයට ලක් කිරීමක් සිදුවිය හැකිද? කාන්තාවන්ගේ ආරක්‍ෂාව පිළිබඳ කතාබහක් ඇති වී ඇති මොහොතක ලිංගික ශ්‍රමික කාන්තාවන් ද කාන්තාවන් බව අමතක නොකළ යුතුව ඇත.

සෝබා කෝලියවංශ(සටහන | සෝබා කෝලියවංශ)
manjariya2017@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...