The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
විශේෂාංග

කාලිංග මාඝ රාජපක්‍ෂලා සහ වෛතුල්‍යවාදි රතනලා - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

February 11, 2022 • 10:12 AM

කාලිංග මාඝ රාජපක්‍ෂලා සහ වෛතුල්‍යවාදි රතනලා - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජ මාධ්‍ය සහ සති අන්ත ජාතික පුවත්පත් හරහා එළි දුටු නුගේගොඩ ප්‍රදේශයේ ජීවත්වූ ස්ත්‍රි ලෝල ශ්‍රමන ප්‍රතිරූපකයාගේ කතාන්තරය යතිවර
  • මේ ශ්‍රමන ප්‍රතිරූපකයා කලක් තම විහාරයේ විහාරාධිපති ධුරය දැරූ බව ඔවුන් සහතික කළහ.
  • ඉන් පසුවද, උක්ත තක්කඩි චීවරධාරියා  වරින් වර විහාරස්ථානය සතු සඟසතු දේපල  බලෙන් පැහැර යාම නතර කිරිමට අපොහොසත්වීම බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස පිළිගත් රටේ නිකායික සංඝ සභාවකට සිය භික්‍ෂුන් පාලනය කළ නොහැකිවීමට හොඳ නිදර්ශනයකි.
  • කෙනෙකු ගිහි වෙසින් සිටීම හෝ එසේ සිටිමින් කරන ක්‍රියාවන්ට එරෙහිව පොලිසියට මැදිහත් විය හැකි නීතියක් රටේ නැති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගෞරවය විනාස කරන තවත් අප්‍රසන්න කතාන්තරයකි.

උක්ත ස්ත්‍රි ලෝල ශ්‍රමන ප්‍රතිරූපකයා අලුබෝමුල්ලේදී  පොලිසියට කොටු කළේ නුගේගොඩ ප්‍රකට විහාරස්ථානයක හතර පේරුවේ දායකයන් පිරිසකි. මේ ශ්‍රමන ප්‍රතිරූපකයා කලක් තම විහාරයේ විහාරාධිපති ධුරය දැරූ බව ඔවුන් සහතික කළහ.

මේ අදාන්ත පුද්ගලයාගේ අභව්‍ය පැවැත්ම එකී විහාරස්ථානය අයත් භික්‍ෂු නිකායට පැමිණිලි කළ පසුව, එය විමසූ උක්ත  නිකායික සංඝ සභාව, මේ පුද්ගලයා උක්ත විහාරාධිකාරි ධුරයෙන් නෙරපා වෙනත් භික්‍ෂුවක් විහාර පරිපාලනය භාර කළහ.

ඉන් පසුවද, උක්ත තක්කඩි චීවරධාරියා  වරින් වර විහාරස්ථානය සතු සඟසතු දේපල  බලෙන් පැහැර යාම නතර කිරිමට අපොහොසත්වීම බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස පිළිගත් රටේ නිකායික සංඝ සභාවකට සිය භික්‍ෂුන් පාලනය කළ නොහැකිවීමට හොඳ නිදර්ශනයකි.  



ඉහත කී චීවරධාරියා පිළිබඳ පොලිසිය නිගමනය කුමක් වීද? කෙනෙකු ගිහි වෙසින් සිටීම හෝ එසේ සිටිමින් කරන ක්‍රියාවන්ට එරෙහිව පොලිසියට මැදිහත් විය හැකි නීතියක් රටේ නැති බවය.

රාජ්‍ය ආගමේ ආරක්‍ෂාවට භික්‍ෂු සංහතියේ ගෞරවය පිණීස සක්‍රිය නීතියක් නොපැවතීම යනු කුමක්ද? පාරේ ගමන් කරන ගණීකාවන් කුඩු කාරයන්ට පාඩම් උගන්වන පොලිසියට මෙවැනි තක්කඩින් අතහරින්නේ රට පල් හොරුන් විසින් අල්ලා ගෙන ඇති නිසාය.

රාගම වෛද්‍ය පීඨ සිද්ධිය නිර්මානය වන්නේ රට කරවන හොර රංචුවේ සම්පත් උපයෝගි කරගනෙය. ඒ සිද්ධිය මේ වනවිට සමත මණ්ඩලයකින් විසඳීය යුතු හෙම්බිරිස්සාවක් බවට ලඝු කර හමාරය.

අළුබෝමුල්ලේදී මැදිහත්වීමට නීතියක් නැත කී පසුව, කෝපවූ අර පිරිස චීවරධාරියාට හෝ එකී කාන්තාව පහර දුන්නා නම්....? වැරදිකරුවන් වන්නේ අර දායකයන්ය.

 

බුද්ධාගම රාජ්‍ය ආගමවූ රටේ ගිහි වෙස් ගෙන කාන්තාවක සමග පවුල් කන අතර, වරින් වර පැවිදි වෙස් ගෙන විහාරස්ථානයට ඇතුල්වී කරන අයුතු බලපෑම් ගැන මැදිහත්වීමට ගිහි බෞද්ධයන්ට ඉඩක් නැත. සාමාජික වශයෙන් ඒ ආකාරයට සංඝ සාසනයට හානිකර ආකාරයට හැසිරෙන පුද්ගලයන්ට එරෙහි පැහැදිලි නිතියක් රටේ නොපැවතීම බරපතල තත්වයකි.

 

මාර්ග සංවර්ධන අවස්ථාවක කපා ඉවත් කළ යුතු ගසකට චිවරයක් පටලවා ගසක් පැවිදි කළ ක්‍රියාව අනුමත කළ හැකිද?

මඩකලපුව ප්‍රදේශයේ ප්‍රකට චීවරධාරියෙකු වරින් වර ග්‍රාම නිලධෘරින්ට පොලිස් නිලධාරින්ට අසභ්‍ය වචනයෙන් බැන වැදීම් පහරදීම් මෙන්ම වෙනත් ආගමක පූජකයෙකුට පහරදීමක් සමාජ මාධ්‍ය ජාලයේ වීඩියෝ හරහා දැක ගැනීමට ලැබිණ. එකී චීවරධාරියා සහ අලුබෝමුල්ල ප්‍රදේශයේදී කාන්තාවක සමග පොලිසියට කොටු කළ චීවරධාරියා අතර කිසිදු වෙනසක් නැත.

ශාසනික සම්ප්‍රදාය අනුව චිවරය වෙනත් කිසිදු රෙගුලාසියකින් පාලනය නොවේ. භික්‍ෂුත්වය පවතින්නේ චීවරය දරන්නාගේ පැවැත්ම මානසික ශක්තිය හා සද්භාවයට අනුරූපවය. චීවරයක් දරන්නෙකුට කළ හැකි දේද මෙන්ම නොකළ හැකි දේද කවුරුත් දනිති.

භික්‍ෂුවකට ක්‍රියාත්මක වීමෙන් කළහැකි දේට වඩා බොහෝ දේ නිහඬව සිටීමෙන් කළ හැකිය. වර්තමානයේ ලංකාවේ වැඩ වාසය කරන භික්‍ෂුන් වහන්සේලාගෙන් සියයට 80%කට අසන්න පිරිසක් භික්‍ෂුන් නිහඬව සිය පැවැත්මට අනුගතව සිටින බවට කිසිදු සැකයක් නැත.



Solo monk walking  buddhist monk sri lanka stock pictures, royalty-free photos & images


පැරණි පොත පත වෙත යොමු වූ කළ සිකවළඳ හෝ සිකවළඳ විනිස නම් පැරණි ග්‍රන්ථයේ වැසි වට්නා කලක වුවද සරුප් වෙළෙවියෙකින් යා යුතු යයි දැක්වෙන සඳහනක් මතකයේ ඇත. එයින් කියවෙන්නේ භික්‍ෂුන්ගේ ගමන් වේගය පිළිබඳ විනය රෙගුලාසියකි. වැස්සකට හසු වුවද චිවරය දරන්නෙකුට වැස්ස කියා දුවන්න වේගයෙන් යාම නොහොඹී. අකැපය. සුදුසු නැත.


ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ වගතුග තීරුවේ කෙසෙල් පිති පචිති රචනාව :


නවසිය පනස් ගණන්වල රියැදුරු බලපත්‍රයක් අපේක්‍ෂාවෙන් භික්‍ෂුවක් අදාළ ප්‍රායෝගික පරීක්‍ෂණයට ඉදිරිපත් විය. එහිදී වාහනය පසුපසට ගමන් කරවන ලෙස ලැබුණ විධානයට අනුව,  අදාළ වාහනය හසුරුවද්දී කෙසෙල් පඳුරක් පෙරළාගෙන යාම නිසා ගමන් බල පත්‍රය නො ලබා ගැනීමට එකී භික්‍ෂුව අපොහොසත්වූ බව ලංකාදිපයේ පළවිය.

එකී වාර්තාව පදනම් කොට, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ පසු දිනක ලියූ සිය වගතුග නම් ප්‍රකට තීරුවේ කෙසෙල් පිති පචිති යනුවෙන් ලිපියක් විය.

එහි සඳහන් පචිති යන නුහුරු වචනය ගැන විමසූ කළ දැන ගැනීමට ලැබුණේ පචිති යනු භික්‍ෂු විනයට සම්බන්ධ කුඩා වරදක් හෝ ඇවතක් බවය. මානවසිංහ එකී විනය වරද මේ සිද්ධියට ගලපා ඇත්තේ උපසම්පන්න භික්‍ෂුවකට ගසක් ගසක අත්තක් කැපීම වෙන් කිරීම කුඩා ඇවතක් සේ සැලකීම මෙහිදී සැලකිල්ලට  ගෙන ඇති බවය.  

 

නවසිය හැට ගණන්වල පිරිවෙන් විශ්වවිද්‍යාලවල ගිහි ශිෂ්‍යයන් සමග විශාල වශයෙන් ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේලා අධ්‍යාපනය ලැබූහ. ඒ කාලයේ කිසිදු ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේ නමක් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ විවෘත ස්ථානවලදී දුම් පාලනය කළේ නැත. එසේම ගිහි සිසුන් තුළ ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේ කෙරෙහි අපමණ ගෞරවයකින් හැසිරුණ බවද සටහන් කළ යුතුවේ.

 

හැම බෞද්ධයෙකුම වාගේ අපේ කුලදේවතාවුන් වහන්සේ ගැන දක්වන ආකල්ප අනුව, භික්‍ෂූන් විවේචනය නොකළ යුත්තකි. බුදුන් දහම් සඟුන් පිළිබඳ ගුණදොස් දැක්වීම පාපයක් ලෙස සැලකූහ.

පව පින යන දෙකම පැවැත්මක පැවැත්මක ප්‍රතිපලය මිස කිසිවෙකුගේ විධානයෙන් කළමනාකරණයෙන් හසුරුවන්නක් නෙවේ. එය නීතියක්ද සම්ප්‍රදායක්ද යන්න පිළිබඳ නිනව්වක් කිසිදු බෞද්ධයෙකුට නැතිවාමය.

එහෙත් විවිධ හේතුන් නිසා කිළිටිවූ මිනිසුන් මෙහෙයවන අධිකරණයකදී වුවත් මිනිසුන් හැසිරෙන විදියක් ඇත.

 

පල් හොරෙකු පාලකයෙකු ප්‍රධානියකු වූ විට එකී තක්කඩියාට කතා කරන සලකන විදියක් ඇත. එසේ කරන්නේ බියට නොවේ. තමන් තුළ පවත්නා හැදිච්චකම අනුවය. පොලිස් නිලධාරියෙකු නීතිය මමයි කීමත් රටේ ජනාධිපති නීතිය මමයි කීමත් හැසිරිමෙන් එක සමානය. එහෙත් ප්‍රතිපලය වෙනස්ය.

 

සම්මතයන් මැනවින් ආරක්‍ෂාකර ගැනීම :


අධිකරණ ක්‍ෂේත්‍රයේ විනිසුරු තනතුරු සඳහා බොහෝ කොට තෝරා ගන්නේ යම් කාලයක් නීති වෘතියෙහි යෙදී අත්දැකීම් ලැබූ තරුණ නීතිඥයන්ය. ඔවුන් සිය වෘතීය ආරම්භයේ පුහුණුව ලබන්නේ සේවය කරන්නේ ජෙෂ්‍ය්ඨ නීතිඥයන් යටතේය. ජෙෂ්‍යෂ්ඨත්වය මුල් කොට පවත්නා නීති ක්‍ෂේත්‍රයේ කණිෂ්ඨ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් අතර යම් පරතරයක් පවතී.

එහෙත් තමන් යටතේ සේවය කළ කණිෂ්ඨ නීතිඥයෙකු විනිසුරුවෙකු ලෙස පත්වූ කළ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් අර විනිසුරුට හිස නම් සර් කියති. උතුමානනි කියති. මේ සම්මතයකි. මේ සම්මතය වෙනස් වූ විටක අධිකරණ ක්‍ෂේත්‍රයට සිදුවිය හැකි හානිකර දේ බොහෝය. ඒ නිසාම එකී සම්මතයන් මැනවින් ආරක්‍ෂා වේ.

උප සංසකෘතියක හෝ කුඩා සමාජයක පැවැත්ම සහ සම්මතයන් විවෘත සමාජයේදී එකිනෙක ගැටෙනු සාමාන්‍ය තත්වයකි. එහෙත් එවැනි  සිදුවන බිඳ වැටීම් ලෙහෙසියෙන් මඟ හැර නොහැකිය.


ථේරවාදි භික්‍ෂු කතිකාවත (ලියා පදිංචි කිරීමේ) පනත් කෙටුම්පත:


විවෘත සමාජය සමග එකී සම්මතයන් ගැටෙන විට සිදුවන හානියට නුගේගොඩ සිද්ධිය උදාහරණයකි. එකී චීවරධාරියාගේ හැසිරීම ඔහුට සාමාන්‍ය විය හැකිය. එහෙත් ඔහු භික්‍ෂු වේශයෙන් සිදු කරන ක්‍රියා නිසා සකල භික්‍ෂු සමාජයම යම් අභියෝගයකට අවමානයකට ලක්වේ. වරින් වර මෙවැනි සිද්ධින් වාර්තාවේ. යළි සමාජය සංසුන් වේ. නැවත නැවත මෙවැනි අවස්ථා නිර්මානය වේ.

මේ තත්වය වසර ගණනාවක සිට මේ රටේ මහානායක ස්වාමින් වහන්සේලා නිරීක්‍ෂණය කළ බව මෙහිලා සඳහන් කළ යුතුවේ. එහි ප්‍රතිපලය ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ පාර්ලිමේන්තුවට ථේරවාදි භික්‍ෂු කතිකාවත් (ලියා පදිංචි කිරීමේ) පනත් කෙටුම්පත එවකට බුද්ධශාසන අමාත්‍යතුමා විසින් 2016 ජනවාරි 12 වෙනි දින ඉදිරිපත් කරන ලදි.

එකී කෙටුම්පත 2015දෙසැම්බර් මස 14 වෙනි දින රජයේ ගැසට් පත්‍රයේ පළවිය. එකී කෙටුම්පතේ අරමුණ නිකායික කතිකාවත් වලින් බැහැරව ක්‍රියා කරන භික්‍ෂුන්ට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි නීතියක් හඳුන්වාදීමය. මේ කෙටුම්පත විසින් භික්‍ෂුන් පාලනය රජය අතට ගැනීමක් ලෙස මහින්ද රාජපක්‍ෂ කල්ලිය හඳුන්වා දෙනු ලැබීය.

මේ අර රථවාහන වැරදි සම්බන්ධව පැවති දඩ ප්‍රමාණ වැඩි කිරීම තමන් බලයට පත්ව වෙනස් කරන බවට ත්‍රිවිලර් සංගමයට පොරොන්දුවූ වයෝවෘධ දේශපාලනඥයාගේ මැදිහත්වීමකි.

මේ පනත ඉදිරිපත්වූ අවස්ථාවේ විපක්‍ෂ නායකව සිටි මහින්ද රාජපක්‍ෂ කතිකාවත් පනත් කෙටුම්පත නීතිගත කිරිම භික්‍ෂු සාසනය බරපතල අර්බුදයකට ලක්වීමක් බව කීය. ඔහු ඒ ප්‍රකාශය කළේ තංගල්ල උස්වැව ගුරුගොඩැල්ල පුරාණ රජමහා විහාරයේ පැවති මහින්ද රාජපක්‍ෂට සෙත් පැතීමේ උත්සවයකදී මිස පාර්ලිමේන්තුවේදී නොවේ.  

 

''සංඝයා වහන්සේලාට හිමි තැන දියකර හැරීමට විශාල ව්‍යාපර පවත්නා බවත් එකී කෙටුම්පත නිතිගත වුවහොත් පැවිදි වීමට කිසිවෙකු සොයා ගත නොහැකි වනු ඇත යන්න මහින්ද රාජපක්‍ෂ අවධාරණය කර තිබිණ. මහින්ද රාජපක්‍ෂගේ ප්‍රකාශයට අනුගතව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මහා ව්‍යාපරයක් දියත් කළහ. නිකායික කතිකාවත් වලින් භික්‍ෂුන් නිදහස් කිරීම යනු කාසාවකණ්ඨකයන් බෝ කිරීමකි.

 

ත්‍රෛනිකායික සංඝ සභාවන්ගේ සාමුහික අවශ්‍යතාවක්


මහින්ද රාජපක්‍ෂ කළ එකී ප්‍රකාශය සමග වෙන් වෙන්ව මාධ්‍ය නිවේදන නිකුත් කළ මල්වතු සහ අස්ගිරි මහානායක මහා නායක හිමිවරුන් කළ ප්‍රකාශ ලංකාදීප පුවත් පත්පතේ පළවිය. භික්‍ෂු කතිකාවතක අවශ්‍යතාවය දක්වා ප්‍රකාශ කර තිබුණේ සදොස් තැන් පවතී නම් ඒවා නිවැරදි කළ හැකි බවත් සාසනය මුහුණ දී ඇති බරපතල තත්වයෙන් මුදා ගැනීමට මෙවැනි කතිකාවතක අවශ්‍යතාවය පවත්නා රජයේ උවමනාවක් නොව ත්‍රෛනිකායික සංඝ සභාවන්ගේ සාමුහික අවශ්‍යතාවක් බව ද ප්‍රකාශ කළහ.

මේ ගැන විමසූ මාධ්‍ය වේදියෙකුට දැන ගැනීමට ලැබුණේ වරක් රජයේ පාසලක ගුරු වෘතියෙහි යෙදෙන භික්‍ෂුවක් පිළිබඳ ලැබුණ පැමිණිලි ඔහු ගෙන්වා ප්‍රශ්න කළ විට, “ඔව් මං එහෙම කරනවා නිකාය මට මොනවා කරන්නද යනුවෙන් මහානායක හිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව ඉදිරියේ ප්‍රශ්න කළ බවය.

මෙවැනි සිද්ධි පාදක කොට සකස් කළ මෙම කෙටුම්පත නීතිගත කරන ලෙස ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේ  2013දී එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ භාරදුන් ලේඛනයකි. එසේ භාර දුන් ලේඛනය 2015 තෙක් හමස් පෙට්ටියේ දමා තිබිණ. යහ පාලකයන් එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුල් කළද රාජපක්‍ෂලා ඊට වින කැටීය.

 

Sri Lanka's Local Islamist Group Contained But 'Lone Wolf' Attacks Still  Possible: Army Chief

 

රාජපක්‍ෂලා පාස්කු ප්‍රහාරයේ මොළ කරුවන් යට ගත්වා කතෝලික ජනතාවගේද සාපයට ලක්ව සිටිති.

 

රටේ පවත්නා ව්‍යවස්ථාව නිසා රටේ ආර්ථිකයට කීර්ති නාමයට සිදුවූ විනාසය ගැන ගැඹුරු සංවාදයක් පවත්නා මේ අවස්තාවේ රාජපක්‍ෂලා රටේ බුද්ධ ශාසනයට සිදු කළ විනාසයද අවධානයට ලක්විය යුතුව ඇත.

බෞද්ධ සිද්ධස්තානයකට ලැබුණ කෝටි ගණනක් මුදල් ස්වකීය පුද්ගල සුඛ විහරණයට යොදා ගැනීමෙන් නොනැවතී.  ගිහි වෙස් ගත් පසුව යළි යළි සිවුරු හැඳ බෞද්ධ භික්‍ෂුන්  වහන්සේට අයුතු බලපෑම් කිරීම බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස පිළිගත් රටේ සිදුවීම විහිළුවක්ද? ඛේදවාචකයක්ද?

බජිරි වපුරා උඳු අපේක්‍ෂා කරන සමහර භික්‍ෂුන් මේ තත්වය නොතකා හරිති. නුගේගොඩ සිද්ධිය නිකායික සංඝ සභාවක ඒකමතික තීරණය  දෙකට නවා කානුවට විසි කිරීමකි.

තිස් අවුරුදු යුද ජයග්‍රහණය දේශපාලන වාසියට යොදා ගත් රාජපක්‍ෂලා, රාජ්‍ය ආගම වන බුද්ධාගමට තබා කතෝලික ක්‍රිස්තියානි සිද්ධස්ථානද තම දේශපාලනය සඳහා දඩමීමා කරගත් බව රහසක් නොවේ.

 

මහාවංශයට අනුව, කාලිංග මාඝ යනු යුද ජයග්‍රහණයක් හරහා රට අල්ලා අපේ උරුමය විනාශ කළ චරිතයෙකි. මහින්ද රාජපක්‍ෂ, ථේරවාදි භික්‍ෂු කතිකාවත් (ලියා පදිංචි කිරීමේ) පනත් කෙටුම්පත යටපත් කරවීම ශාසනිකව පාස්කු ප්‍රහාරයක් නොවන්නේද? කතිකාවත් කෙටුම්පත නීතිගතව තිබුණා නම් කුණුහරුප කියන කාසාව කණ්ටකයන් මහ පාරේ රඟන්නේ නැත.

 

ශාසන නාසක ක්‍රියාවන්ට අනුබල දුන් දුසිලුන් පිටේ හන තබා පිටුවහල් කළ බව මහාවංශයේ දැක්වේ. මිනි මරුවන් ගෙදර යවන දේශපාලනයක නිරත (සාසනයට නැති)  රතනලා සාසන ඉතිහාසයට නිගරුවකි.

රාජ්‍ය ආගම වන බුද්ධාගමේ පමණක් නොව රටේ අනෙකුත් ඇදහිලි වලද ආරක්‍ෂාවද ව්‍යවස්තාවෙන් සහතික විය යුතුවේ. අදටත් භික්‍ෂුණින් උපසම්පන්න බවට රජයේ සහතිකයක් නිකුත් නො කෙරයි. හේතුව නිකායික සංඝ සභා විසින් ඊට අනුමැතිය නොදීමය. එහෙත් චිවරධාරින් සිදු කරන සාසන විලෝපනය ගැන කිසිවෙකු මැදිහත් නොවීම ඛේදවාචකයකි.  

 

වැස්සකදීත් ශ්‍රමන සාරුප්‍යට අනුකූල විය යුතු භික්‍ෂුත්වය දේශපාලනයට යොදා ගැනීමට කතිකාවත් පනත් කෙටුම්පතට වින කැටූ රාජපක්‍ෂලා පාස්කු ප්‍රහාරය හරහාද දේශපාලනය කළ බවක් හෝ යම් රහසක් රකින බව හෙළිවී හමාරය.

 

 

Chandrasiri Senevirathne 21(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි)



 

Leader Whats app

 

 

 

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...