The Leader News
BREAKING
ක්ෂණික ගංවතුර: විනාඩි කිහිපයකින් ජීවිතත් සියල්ලත් අහිමි වන හැටි●නව ත්‍රස්ත විරෝධී පනතට UN එකෙන් නිර්දේශ මාලාවක්●ඩොලර් බැඳුම්කර වෙළඳපොළ ඩයස්පෝරාවටත් විවෘත වෙයි●විමර්ශනය කියන එක පළිහක් විදියට පාවිච්චි කරන්න එපා - ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන බෙහෙත් නඩුවේදී කියයි●තෙල් අර්බුදය හමුවේ ලංකාවට IMF වෙතින් අනතුරු ඇඟවීමක්●ඉන්දීය අරගලයේ සිංහ ධේනුව: කවුද මේ 'නේහා බෝරා'?●ඇමරිකාවේ ණය කන්ද ගැන IMF ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක්●ග්‍රන්ථ සංස්කාරක (Editor) ගේ භූමිකාව යනු…●අයිසීසීයෙන් ලංකාවට නිහඬ තහනමක්ද? දයාසිරිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්●ඔබ, අප සැම ගේ ජීවිත කියවන 'ජීවිතේ චිත්‍රයක් මිස්'●
Top Ad
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

විමර්ශනය කියන එක පළිහක් විදියට පාවිච්චි කරන්න එපා - ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන බෙහෙත් නඩුවේදී කියයි

Nethmini

Nethmini

October 15, 2026 • 1:53 PM

විමර්ශනය කියන එක පළිහක් විදියට පාවිච්චි කරන්න එපා - ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන බෙහෙත් නඩුවේදී කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහි එන චූදිතයන්ට අපරාධ වරද පැවරීමේ පවිටු චේතනාවෙන් විමර්ශනය කළ බවට යෝජනා කරනවා." යනුවෙන් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
  • ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් වන සිද්ධියේ විමර්ශන නිලධාරියා වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක එරංග ප්‍රභාෂ් ලක්සිරි මහතා හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සිටියදී ජනාධිපති නීතිඥවරයා මේ බව ප්‍රකාශ කළේය.
  • හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකු ට එරෙහි එම නඩුවට අදාළව පැමිණිල්ලේ 339 වන සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබාදෙමින් සිටියදී දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා මේ බව සඳහන් කළේය.
  • මෙම තොග වාර්තාව ගැන විමර්ශනයක් සිදු කළාදැයි ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඊට අදාළ වාර්තා බාරගෙන විමර්ශනයක් සිදු නොකළ බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙහි එන චූදිතයන්ට අපරාධ වරද පැවරීමේ පවිටු චේතනාවෙන් විමර්ශනය කළ බවට යෝජනා කරනවා." යනුවෙන් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් වන සිද්ධියේ විමර්ශන නිලධාරියා වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක එරංග ප්‍රභාෂ් ලක්සිරි මහතා හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සිටියදී ජනාධිපති නීතිඥවරයා මේ බව ප්‍රකාශ කළේය.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකු ට එරෙහි එම නඩුවට අදාළව පැමිණිල්ලේ 339 වන සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබාදෙමින් සිටියදී දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා මේ බව සඳහන් කළේය.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.

මෙම නඩුවේ දහවන චූදිත වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා සාක්ෂිකරු වෙත වැඩිදුරටත් හරස් ප්‍රශ්න යොමු කිරීම සිදු කළේය.

වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලක නිලධාරී නන්දන බණ්ඩාර විසින් 2022 සැප්තැම්බර් මස 10 වැනි දිනට පැවති තොග සඳහන් කරමින් සකස් කළ ලේඛනයක් සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ ජනාධිපති නීතිඥවරයා "10v59 ලෙස අධිකරණය හමුවේ ලකුණු කර ඇත්තේ ඊට අදාළ ඊමේල් පත නේද?" යනුවෙන් සාක්ෂි කරුගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු සඳහන් කළේ "එය ඖෂධවල තොග මට්ටම් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ඊ මේල් පතක් බවය.

නිලධාරීන් කිහිපදෙනෙකුට එම ඊමේල් පත යොමු කිරීම සම්බන්ධයෙන් පෙර දින ලබාදුන් සාක්ෂිය සම්බන්ධයෙන් සිහිපත් කළ ජනාධිපති නීතිඥවරයා ඒ ආකාරයෙන්ම  සෞඛ්‍ය  අමාත්‍යාංශයේ ලේකම්,  වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ , සහකාර අධ්‍යක්ෂ ඖෂධ 1 ,2 ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුට එම ඖෂධ යොමු කර ඇති බවට අනාවරණය වූ බවය. මෙම තොග වාර්තාව ගැන විමර්ශනයක් සිදු කළාදැයි ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඊට අදාළ වාර්තා බාරගෙන විමර්ශනයක් සිදු නොකළ බවය.

සතියකට වරක් තොග සම්බන්ධයෙන් pronto පද්ධතිය මගින් ලබා ගන්නා ඊමේල් මගින් අදාල නිලධාරීන්ට දැනුම් දෙන බව විමර්ශනයේදී අනාවරණය වූ බව සාක්ෂිකරු සඳහන් කළේය.

2023 සැප්තැම්බර් 26 වැනි දින දරණ ඊ මේල් පතට සාක්ෂිකරුගේ අවධානය යොමු කළ ජනාධිපති නීතිඥවරයා එහි ඇතුළත් කරුණු සම්බන්ධ විමර්ශනය කළාදැයි විමසීමක් කළේය. එහිදී සාක්ෂිකරු සඳහන් කළේ එම ලේඛන භාරයට ගෙන විමර්ශනයක් සිදු නොකළ නමුත් හත්වන චූදිත විසින් ඖෂධ 182 එකකට අදාළව යවන ලද ඊමේල් පත් පිළිබඳව විමර්ශනයක් සිදුකළ බවය.

 එම ඊමේල් පත් භාරයට ගෙන විමර්ශනයක් සිදු නොකළ නමුත් pronto පද්ධතිය හරහා වාර්තා ලබාගෙන ඖෂධ වල තොග මට්ටම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ බව සාක්ෂිකරු කියා සිටියේය .

එම වාර්තාවන් නිලධාරීන් වෙත යොමුවී තිබෙනවාදැයි ජනාධිපති නීතිඥවරයා  ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැනි යොමු වීමක් ඇති බවය.


 "2022/10/03  දින,  එවැනි ඊමේල් පත් යොමු කර තිබෙනවා නේද?"  යි ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී  සාක්ෂිකරු සඳහන් කළේ සටහනක් ඇති බවය.


 එම ඊමේල් පත් සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදු නොකළ බව සාක්ෂිකරු සඳහන් කළේය.


 හත්වන චූදිත ඖෂධ 182ක් spc ආයතනය වෙත යොමු කර තිබූ අතර ඊට අදාළ තොග මට්ටම් වලට අදාළව විමර්ශනයක් සිදුකළ බව සාක්ෂිකරු සඳහන් කළේය.


 ඊමේල් භාරයට ගෙන තොරතුරු ලබා ගැනීමක් සිදු නොකර අතර ඊට අදාලව pronto  පද්ධතිය හරහා තොරතුරු ලබා ගැනීමක් සිදුකළ බව ඔහු කියා සිටියේය.


"වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලක නිලධාරී නන්දන බණ්ඩාර විසින් සතිපතා ඉහළ නිළධාරීන් වෙත යවා ඇති තොග  සම්බන්ධයෙන් වන ඊමේල් හතරම ඔබ පරීක්ෂා නොකළ බවද සඳහන් කරන්නේ ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිට අවස්ථාවේදී සාක්ෂිකරු "ස්වාමීනි මෙම ප්‍රශ්න ගත ප්‍රසම්පාදනයේදී ඖෂධ 285ක් සම්බන්ධයෙන් දහවන චූදිත වෙත යොමු කළ බවට අනාවරණය වුණා. ඒ සම්බන්ධය විමර්ශනය කළා. ඊට අමතරව තොග මට්ටම් සම්බන්ධයෙන් වූ ඊමේල් පිළිබඳව විමර්ශනයක් සිදු කළේ නෑ" යනුවෙන්  සඳහන් කළේය.


අධිකරණයට ඉදිරිපත් කර ඇති පැ. 293 ලේඛනයට සාක්ෂිකරුගේ අවධානය යොමු කළ ජනාධිපති නීතිඥවරයා 2022/09/23 දිනට pending orders ලෙස තොග පිළිබඳව එහි සඳහනක් තිබේදැයි සාක්ෂිකරු විමසීමක් කළේය.


තොග සම්බන්ධ ලේඛණය 2025 අප්‍රේල් මස 22 දින සකස් කර ඇති අතර විමර්ශනය අදාළව තොග සම්බන්ධයෙන් සංක්ෂිප්ත වාර්තාවක් ගැනීමට අවශ්‍ය වූ බවත් විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත වෛද්‍ය සැපයුම් ඒකකයේ තොරතුරු තාක්ෂණ අංශයේ හිජාස් මහතාගෙන් අදාළ ලේඛනය ලබා ගත් බවත් සාක්ෂිකරු සඳහන් කළේය. 

"ඔබ මෙය නන්දන බණ්ඩාර මහතාට ඉදිරිපත් කර ප්‍රකාශයක් සඳහන් කර ගත්තාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ මෙම ලේඛනය නන්දන බණ්ඩාර ට පෙන්වීමක් සිදු නොකළ බවය.

හදිසි ප්‍රසම්පාදන කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් සකස් කර ගත බව සාක්ෂිකරු කියා සිටියේය.

"එහිදී  මෙම ඊ මේල් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම කළේ  නැද්ද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ "එලෙස ප්‍රශ්න කිරීමක් කළේ නෑ ස්වාමීනි, විමර්ශනයේදී අනාවරණය  වුණේ සතියකට වරක් මාස තුනකට අඩු තොග සම්බන්ධයෙන් වාර්තාවන් ඉහළ නිලධාරින්ට යවන බව" යනුවෙනි.

"2024 මැයි 28 වෙනි දින ඔහුගෙන් පළමු ප්‍රකාශය ලබාගෙන තිබෙනවා. ඒ වන විට දහවෙනි චූදිත අත්අඩංගුවට ගෙන අවසන් නේද?" යනුවෙන් විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ වන විට දහවන විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබූ බවය.විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව අදාළ ප්‍රකාශය ලබා ගත් බව සාක්ෂිකරු කියා සිටියේය. හිජාබ් විසින් සකස් කළ මෙම ලේඛනය පෙන්වා ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් කළා ද?"යි ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී ඒ පිළිබඳව ප්‍රශ්න නොකළ බව ඔහු සඳහන් කළේය.

10v 63 ලෙස ලකුණු කර ඇති ලේඛනයට ජනාධිපති නීතිඥවරයා අවධානය යොමු කළ අවස්ථාවේ එය 2022/10/05 දින ඇමතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම් සටහන බව ප්‍රකාශ කළේය.


"එයට සහභාගී වූ අය, සාකච්ඡා කළ කරුණු,එළැඹුනු තීන්දු තීරණ,ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම කාටද යන්න පිළිබඳව එහි තිබෙනවා නේද?" යනුවෙන් කළ විමසීමේදී එම කරුණු එහි ඇති බව සාක්ෂි කරු සඳහන් කළේය.


"10v53 ලෙස ලකුණු කර ඇති ලේඛනය සම්බන්ධයෙන් ශම්මි කුමාරී දෙනාවත්ත ගෙන් කට උත්තර ගත්තා ද ?" යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව ය.එම ලේඛනයේ පිටපතක් ඇය විසින් ලබාදුන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අධිකරණය හමුවේ පැය 229 ලෙස ලකුණු කර ඇති ලේඛනය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ලංකාවට ආනයනය කිරීම සඳහා අදාළව ඇති ලේඛනයක් බවට පිළිගන්නවාදැයි ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු  සඳහන් කළේ EOI යටතේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් මාස තුනක ඖෂධ මිලදී ගැනීම සදහා ලන්සු කැඳවීමට ඉදිරිපත් කළ ලේඛනය බවට විමර්ශනයේදී අනාවරණය වූ බවය. 


අධිකරණයට ඉදිරිපත් කර ඇති ලේඛනවල ඉංග්‍රීසි භාෂාවෙන් ඇති සටහන් පිළිබඳව ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ තමන්ට ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් පූර්ණ දැනීමක් නොමැති බවය.


අදාළ සටහන් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගනිමින් පැහැදිලි කර ගැනීම සිදුකළ බව සාක්ෂිකරු කියා සිටියේය.


"එවැනි පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් සටහනක් තබා තිබෙනවාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු එවැනි සටහනක් තබා නොමැති බව සඳහන් කළේය. 


2023 10.19 තියෙන දරණ අමාත්‍ය මණ්ඩල සංදේශය හා ඊට අදාළ ඇමුණුම් සෝදිසි වරෙන්තුවක් මත ලබාගත් බව සඳහන් කළ සාක්ෂිකරු පරීක්ෂාවන් සිදු කිරීමෙන් අනතුරුව 2022/09/ 26 දිනැති කැබිනට් සංදේශය සකස් කිරීමට අදාළව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන අංශයේ පවත්වාගෙන ගිය ගොනුවේ පිටපත් ලබාගත් බව සඳහන් කළේය. 


2022/ 09/26 දින කැබිනට් සංදේශය ඉදිරිපත් වූ අතර ඊට අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලා ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ අතර වෛද්‍ය සැපයුම් අංශයේ තොග වල හිඟයක් ඇති බවට එහි සඳහන් වූ පැවැති සාක්ෂිකරු සඳහන් කළේය. 


එහි අටවන චූදිතගේ මුද්‍රාව සඳහන් වන අතර එහි අත්සනක් සඳහන් නොවන බව හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළ සාක්ෂිකරු ඇමතිවරයා ඉංග්‍රීසි පිටපතේ තබා ඇති බව පසුව අනාවරණය කරගත් බවද සඳහන් කළේය. 


"එහි 3.1 යටතේ ප්‍රශ්නාර්ථ කිහිපයක් ලකුණු කර තිබෙන අතර ගොනුව රැගෙන යන විට එම ප්‍රශ්නාර්ථ දැක්කා ද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කළ අතර එවැනි ප්‍රශ්නවලට නොදුටු බව සාක්ෂිකරු සඳහන් කළේය. 


"එසේම එහි 3.1 ඡේදය අසම්පූර්ණ බවට දැක්කා ද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී එයද නොදුටු බව සාක්ෂිකරු සඳහන් කළේය. නන්දන බණ්ඩාර විසින් යොමු කළ ඊමේල් පතක" chandana to me"
ලෙස සඳහන් කර  තිබෙනවා .ඔබ ඒ ගැන සොයා බැලුවාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ එම ඊම්ලේ පත සමන් රත්නායක සහ වෛද්‍ය සැපයුම් ඒකකයේ එවකට අධ්‍යක්ෂවරයාව සිටි චන්දන විජේසිංහ මහතා වෙත යොමු කර තිබූ බවය. 


ඊමේල් පත මගින් ඖෂධ ලැයිස්තුවක් යොමු කර තිබූ අතර ප්‍රමුඛතා එක දෙක ලෙස එහි සඳහන් වූ බවද සාක්ෂිකරු සටහන් කළේය.

"වෛද්‍ය චන්දන විජේසිංහ මහතාට මෙම අධිකරණය විසින් සිතාසි නිකුත් කර සිතාසි භාර දීමෙන් අනතුරුව ඔහු අවස්ථා කිහිපයකදීම අධිකරණය හමුවේ පෙනී සිටි නමුත් ඔහුගෙන් සාක්ෂි විමසීමක් සිදු කළේ නෑ නේද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී මේ වන තෙක් ඔහුගෙන් සාක්ෂි ලබා ගැනීමක් සිදු නොකළ බව සාක්ෂිකරු කියා සිටියේය. 


පැ.276 ලෙස ලකුණු කර ඇති ලේඛනය ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන අංශයට යවා ඇති බවට විමර්ශනයේදී කරුණු අනාවරණය වූ අතර එම අංශය පවත්වාගෙන ගිය ගොනුව තුළ අදාළ ලිපිය තිබූ බව සාක්ෂිකරු සඳහන් කළේය.

"එම ලිපිය වෛද්‍ය සමන් රත්නායක මහතාටම යොමු වූ බවට කෙසේ ඔබ කෙසේද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී එම අංශයේ මුද්‍රාව එහි සඳහන්ව ඇති බව සාක්ෂිකරු කියා සිටියේය. 

"එම ලිපිය ලැබුණු බවට රත්නායක මහතාගේ අත්සන තිබෙනවාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී "ස්වාමීනි එහි අත්සනක් නෑ. එම අංශයට ලැබුණු බවට සහ දහය වන චූදිතගේ උපදෙස් මත සැපයුම්කරුවන්ට  ටෙන්ඩර් ප්‍රධානය කර නැවත එම ගොනුව. වෛද්‍ය සැපයුම් අංශය වෙත යොමු කළ බව තමයි විමර්ශනවලදී අනාවරණය වුණේ" යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළේය 

2023 /02/15 දින නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සමන් රත්නායක මහතාට යොමු කළ ලිපියක් පිළිබඳව සාක්ෂිකරු කළ සඳහනක් පිළිබඳව කරුණු විමසූ  ජනාධිපති නීතිඥවරයා ඒ බවට සඳහනක් තිබෙනවාදැයි මෙම විසීමක් කළේය .ඒහිදී සාක්ෂිකරු සඳහන් කළේ වෛද්‍ය ජයනාත් මහතාට සටහනක් යොදා ඇති බවක් අනාවරණය වූ බවය. 

"ඔබ එම මිනිට් සටහන අධිකරණයේදී කියවන්නේ ප්‍රථම වරටද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එසේ නොවන බව සාක්ෂිකරු සඳහන් කළේය. 


"එම මිනිට් සටහන මගින් වෛද්‍ය රත්නායක මහතා කුමක්ද සඳහන් කර ඇති බවටද ඔබ තේරුම් ගත්තේ?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී " ස්වාමීනි ජයනාත් මහතාට උපදෙස් ලබා දී තිබුණා වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබෙමින් තිබෙන අයිතම හා තොග සම්බන්ධයෙන් ලියාපදිංචි වූ හෝ පෙර සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවන ලෙස "යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කළේය.


ජනාධිපති නීතිඥවරයා : ඔබ කියන දේට සම්පූර්ණයෙන්ම පරස්පර සටහනක් තමයි එහි තිබෙන්නේ. එහි ඇති සටහනක් ඔබට තේරුම් ගන්නත් බෑ. මිනිසුන් හිර කරන්න තමයි ඔබ මේ විමර්ශනය සිදු කර තිබෙන්නේ. මේ සටහන පැහැදිලි කර ගැනීමක් කළාද?


සාක්ෂිකරු: retender කළ අයගෙන් ප්‍රකාශ ලබා ගත්තා. ලියාපදිංචි සහ පෙර සැපයුම්කරුවන්ට අදාළව retender   කර ඇති බව තමයි විමර්ශනවලදී අනාවරණය වුණේ 


ජනාධිපති නීතිඥවරයා: විමර්ශනයේදී අනාවරණය වූ බව කියමින් generic කරන්න යනවා. නිශ්චිත කරුණු ලේඛන ඉදිරිපත් නොකර විමර්ශනයේදී අනාවරණය වුණේ යන කළු වළාවෙන් සියල්ල වහන්න ඔබ උත්සාහ කරනවා. 


සාක්ෂිකරු ඒ බව ප්‍රතික්ෂේප කරනවා 


ජනාධිපති නීතිඥවරයා: රත්නායක මහතාගේ උපදෙස් මත retender කළ බව තමයි ඔබ කියන්නේ .ඒකනේ තමන් හදන නඩුව?


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: මේ ප්‍රශ්න කිරීමට මම විරුද්ධයි ස්වාමීනී 


සාක්ෂිකරු : නොලැබුණු අයිතම සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන සමන් රත්නායක ගෙන් උපදෙස් ඉල්ලා  තිබුණා. retender කිරීමට උපදෙස් ලැබුණු බව තමයි අනාවරණය වුණේ.


ජනාධිපති නීතිඥවරයා: ඊට අනුමැතිය ලබාගෙන තිබෙනවාද?


සාක්ෂිකරු: හදිසි ප්‍රසම්පාදන කමිටුවෙන් මිල ගණන්වලට අදාළව retender කිරීම සඳහා උපදෙස් අනුමැතිය ලබා ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බව තමයි අනාවරණය වුණේ. 


ජනාධිපති නීතිඥවරයා: එම කමිටුව නියෝජනය කරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ඇතුළු රාජ්‍ය නිලධාරීන් තුන් දනෙක්. සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි ප්‍රසම්පාදන කමිටුව අනුමැතිය ඇතිව මෙය සිදුකරන්න කියලා තමයි රත්නායක මහතා මෙම සටහන දාලා තිබෙන්නේ 


සාක්ෂිකරු: එසේය ස්වාමීනි.


ජනාධිපති නීතිඥවරයා: අදටත් ඔබට මෙම සටහන කියවා ගන්න බෑනේ.


සාක්ෂිකරු: කියෙව්වා ස්වාමීනී


ජනාධිපති නීතිඥවරයා: කියවා පැහැදිලි කරන සටහනක් දමා ගත්තාද?


සාක්ෂිකරු: එසේ කළේ නෑ. මීට අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදුකළා.


ජනාධිපති නීතිඥවරයා: මේ සටහනේ තියෙන්නේ මේකයි කියන දේ තේරුම් ගැනීමට හැකි සටහනක් තබා ගත්තාද?


සාක්ෂිකරු එසේ කළේ නෑ ස්වාමීනි. 


ජනාධිපති නීතිඥවරයා: අදටත් ඔබට මෙය කියවා ගන්න බෑ.


සාක්ෂිකරු :අකුරු පැහැදිලි මදි ස්වාමීනි.
 

ජනාධිපති නීතිඥවරයා: ඔබ කියවන්න උත්සාහ කළාද?


සාක්ෂිකරු :උත්සහ කලා ස්වාමීනී 


ජනාධිපති නීතිඥවරයා :ඒ බවට සටහනක් දමා ගත්තාද?


සාක්ෂිකරු: නෑ ස්වාමීනී ,සටහනක් ලැබුවේ නෑ විමර්ශනයේදී අනාවරණය වුණා.


ජනාධිපති නීතිඥවරයා: විමර්ශනය පළිහක් විදියට පාවිච්චි කරන්න එපා මේ නඩුව වහන්න, ඔබගේ අඩුපාඩු වහන්න . ඒ බවට මම යෝජනා කරනවා.


සාක්ෂිකරු: ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි.


ජනාධිපති නීතිඥවරයා :මෙහි එන කරුණු අපරාධ වරද පැවරීමේ පවිටු චේතනාවෙන් විමර්ශනය කළ බවට යෝජනා කරනවා.
 

සාක්ෂිකරු: ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි 


ජනාධිපති නීතිඥවරයා :2022 ජූනි දෙක රත්නායක මහතා තැබූ සටහනේ දෙවැනි කොටස ඔබ කොහොමද තේරුම් ගත්තේ? 


සාක්ෂිකරු: දැනට යන ටෙන්ඩර් හා තොග තත්ත්වයන් පරීක්ෂා කරගන්න කියලා තිබුණා. ජයනාත් වෛද්‍යවරයා ට සටහනක් කර තිබුණා. සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ලබා ගෙන retender කරන්න කියලා
 

ජනාධිපති නීතිඥවරයා : retender කරනවා කියන්නේ ලන්සු නැවත කැඳවා, ලවුන් විවෘත කර, තෝරා ගැනීම් සිදුකර, ප්‍රදානයන් පිරිනැමීමේ දීර්ඝ ක්‍රියා දාමයක්?


සාක්ෂිකරු : එසේය ස්වාමීනී 


ජනාධිපති නීතිඥවරයා: එය කරන්න කියලා තමයි ඔබ කියන විදියට මේ සටහන දාලා තියෙන්නේ?
 

සාක්ෂිකරු :එසේය ස්වාමීනි ,විමර්ශනවලදී අනාවරණය වුණේ එයයි.  EOI ක්‍රමය යටතේ එම සැපයුම්කරුවන්ගෙන්ම තොග ලබා ගැනීමට නැවත සලකා බැලීමක් කළ බව තමයි අනාවරණය වුණේ. එසේ ලැබී නොමැති තොගය සම්බන්ධයෙන් retender කළ යුතු බව තමයි සඳහන් වුණේ 


ජනාධිපති නීතිඥවරයා :ඔබ විමර්ශනය කළ අවස්ථාවකදීත් මේ සටහන තේරුම් නොගත් බවට යෝජනා කරනවා 


සාක්ෂිකරු: :ප්‍රතික්ෂේප කරනවා.


ජනාධිපති නීතිඥවරයා: ඔය සාක්ෂි ලබාදීමේදී ඒ බව තහවුරු වෙනවා 


සාක්ෂිකරු: ප්‍රතික්ෂේප කරනවා 


ජනාධිපති නීතිඥවරයා: තමන්ගෙන් වුන අඩුපාඩු වසා ගැනීමට විමර්ශනයේදී අනාවරණය වූ බවට බව ප්‍රකාශ කරන බවට මම යෝජනා කරනවා 


සාක්ෂිකරු: එය ප්‍රතික්ෂේප කරනවා. 


2023.06.02 දින දරන දහවන චූදිතගේ සටහන සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා විමසින් විමසා සිටියේ එහි සඳහන් වන්නේ retender යන්නද re-evaluation යන්නද යනුවෙනි.
 

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ පැමිණිල්ලේ සාක්ෂිකාරියක වූ තරින්දි දාබරේ ගේ සාක්ෂියට අනුව re evolution යන්න සඳහන් වන බවය. 


එහිදී ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ මෙම සාක්ෂිකරුගේ අදහස එහි එය retender යන්න බවය.


"එදින වෛද්‍ය රත්නායක මහතා විසින් තබන ලද පසු සටහන ස්වාධීනව කියවා තේරුම් ගැනීමේ හැකියාවක් තිබුණාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඉංග්‍රීසි පිළිබඳව දැනුමක් ද ඇති නිලධාරියකු මගින් එය කියවා තේරුම් ගත් බවය. ඒ පිළිබඳව සටහනක් තැබීමක් සිදු නොකළ බවද සාක්ෂිකරු කියා සිටියේය.


"මේක වසර තුනකට පසුවත් නඩුවේ අවසානයට ඇවිල්ලත් දහවන චූදිතගේ සටහන කියවා ගැනීමට ඔබට හැකියාවක් නෑ "යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු "විමර්ශනයේදී අනාවරණය වූයේ නැවත ප්‍රදානය කළ යුතු බවටයි අනුව අදාළ ලේඛන ලබා ගැනීම සිදුකළා" යැයි  සඳහන් කළේය.


"ලිපියකින් මගින් රත්නායක මහතා අමතා observation ඉල්ලා ඇත්තේ කවුරුන්ද?" යන්න පිළිබඳව ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් විමර්ශනවලදී අනාවරණය වූ බව සාක්ෂිකරු කියා සිටියේය. 


wor නිකුත් කිරීමේ ක්‍රියා වලිය වේගවත් කිරීම සඳහා වන ක්‍රියා මාර්ගයක් සම්බන්ධයෙන් එහි සඳහන් කර ඇති අතර විශේෂ ක්‍රමවේදය යටතේ wor නිකුත්කිරීම අමාත්‍යාංශය ඉල්ලීම මත මාස හයක කාලයක් සඳහා සිදු කිරීමට නිර්දේශයක් ලබාදී ඇති බව විමර්ශනයකදී අනාවරණය වූ බව සාක්ෂිකරු සඳහන් කළේය 


විශේෂිත ක්‍රමවේදය යටතේ wor ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය අවශ්‍ය වූ බව අනාවරණය වූ බවද සාක්ෂිකරු සඳහන් කළේය. 

මෙම නඩුවේ බහුතරයක් ලේඛන ඉංග්‍රීසි භාෂාවෙන් තිබූ අතර මෙම නඩුවට අදාළ මුල් පැමිණිල්ල සටහන් කර ගැනීම සහ ප්‍රකාශයන් සටහන් කර ගැනීමද , ඊට අදාළ කරුණු අධිකරණයට වාර්තා කිරීම් ද, අදාළ විමර්ශන කටයුතුද අදාළ මෙම අවස්ථාවේදී ලබාදන සාක්ෂියද භාෂාවෙන් සිදු  කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපති නීතිඥවරයා "මෙම නඩුවට අදාළ සිද්ධියේ ලේඛන බහුතරයක් තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් නැති බව ඔබ කිව්වා ."යනුවෙන් ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "ස්වාමීනි සාක්ෂි ලබාදෙන මුල් අවස්ථාවේදීම ඒ බව මං දැනුම් දුන්නා." යනුවෙනි 


"ඔබ හත්වෙන චූදත වෙනුවෙන් පෙනී සිට නීතිඥවරිය respectively යන වචනයේ තේරුම අසන අවස්ථාවේදී ඒ පිළිබඳව පැහැදිලි කර ගැනීමට අපොහොසත් වුණා ."යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අතර ඒ පිළිබඳව තමන්ට පැහැදිලි මතකයක් නොමැති බව සාක්ෂිකරු සඳහන් කළේය. 


"ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ප්‍රවීණත්වයක් නොමැති  නොතිබියදීත්, අවුරුදු තුනකට පසුවත් අධිකරණයේ සාක්ෂි ලබාදී නිශ්චිත කරුණු කියන්නට නොහැකි වීම ගැටලු සහගත බවට මම යෝජනා කරනවා" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී 


සාක්ෂිකරු " ස්වාමීනී. ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවට පිළිගන්නවා .එහෙත් අදාළ ප්‍රකාශ සාක්ෂි මගින් සටහන් කරගෙන තමයි විමර්ශනය කළේ" යනුවෙන් සඳහන් කළේ ය.


"ඔබට ඉංග්‍රීසි භාෂාවේ නිපුණත්වයක් නොමැති වීම නිසා සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට විත්තිකරුවන්ට තිබූ අයිතිය අහිමි වී ඇති බවට මා යෝජනා කරනවා" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ චූදිතයන්ගේ ප්‍රකාශ ද සටහන් කර ගැනීමක් සිදුකළ බවය .ඒ අනුව අනාවරණය වූ කරුණු ඔස්සේ විමර්ශනය සිදුකළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 


"ඒක තමයි අවදානම .එක් එක් අයගේ අර්ථකථන ගැනීම නිසාත්, ලේඛන වල ඇති අන්තර්ගතයන් ස්වාධීනව තේරුම් ගැනීමට නොහැකි නිසාත් ගැටළුවක් ඇති වී තිබෙනවා" යැයි ජනාධිපති නීතිඥවරයා යෝජනා කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ එම ලේඛනවල අන්තර්ගතයන් ගැන අර්ථකථනයක් තමන්ට ලබාදේ නොහැකි බවය. එය සකස් කළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගෙන විමර්ශන කටයුතු සිදුකළ බව ඔහු සඳහන් කළේය. 


"ඔබේ ඉංග්‍රීසි භාෂා නිපුණත්වය දුර්වලතාවය ඉහළ නිලධාරීන්ට දැනුම් නොදීම ගැටලුවක්" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ස්වාමීනි ඒ පිළිබඳව ඉහළ නිලධාරීන් දැනුවත් යනුවෙනි.


එසේ තිබියදීත් ඖෂධ ප්‍රසම්පාදනය වැනි සංකීර්ණ ක්‍රියාදාමයක ප්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා කටයුතු කළ බවද කියන්නේ?යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු "ඉංග්‍රීසි ඉංග්‍රීසි භාෂාවේ නිපුනත්වය පමණයි නොතිබුණේ. විමර්ශනය ගැන අත්දැකීම් තිබුණා" යනුවෙන් පිළිතුරක් ලබා දුන්නේය 


"අවුරුදු තුනකට පසුවත් එය නිසි පරිදි පැහැදිලි කිරීමට අපොහොසත් වීම නොසැලකිල්ල සහ අනවධානය පිළිබිඹු කරන බවට යෝජනා කරනවා" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු එයද ප්‍රතික්ෂේප කළේය 


"ඔබ විසින් දහවන විත්තිකරු 2024 03/01 දින අත්අඩංගුවට ගත්තා. ඔහු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ඉල්ලා සිටි සියලු ලේඛන ඉදිරිපත් කළා" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී "අධිකරණය විසින් කළ නියෝගයට අනුව අදාළ ලේඛන භාරදීමක් සිදුකළ බව "සාක්ෂිකරු සඳහන් කළේය


"එම ලේඛන මත තමයි පැමිණිල්ල විසින් නඩුව ගොඩනගා තිබෙන්නේ?" යැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශයක් කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ  ඒවා නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර තිබූ බවය. 


මෙම ඖෂධ දෙක සැපයූ සැපයුම්කරු විසින් ටෙන්ඩර් හතරක් ඉදිරිපත් කර තිබූ අතර ඉන් හයක් සඳහා පමණක් ඇගයීම් කමිටුව විසින් නිර්දේශයන් ඉදිරිපත් කර තිබූ අතර තුනකට අදාල වූ ප්‍රදානයන් සිදුකර ඇති බව සාක්ෂිකරු සඳහන් කළේය. 


එසේ ප්‍රදාන නොතිබූ ඖෂධ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු නොකළ බව සාක්ෂිකරු කියා සිටියේය. 


දහවන චූදිත වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුගෙන්  හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව නඩුවේ දොළොස්වන චූදිත වන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චමින්ද අතු කෝරළ මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය. 


ජනාධිපති නීතිඥවරයා: ඔබ ප්‍රසම්පාදන කමිටුවක් සම්බන්ධයෙන් කතා කළා. ඒ සාමාජිකයින් තුන්දෙනෙකු සිටියා. 


සාක්ෂිකරු :එසේය ස්වාමීනි හදිසි ප්‍රසම්පාදනයට අදාළව කමිටුවක් පත් කර තිබුණා.


ජනාධිපති නීතිඥවරයා :දොළොස් වන චූදිත එහි සාමාජිකයෙක්ද?


සාක්ෂිකරු: නැත ස්වාමීනි 


ජනාධිපති නීතිඥවරයා ඔහු පස්දෙනෙකුගෙන් සමන්විත ඇගයීම් කමිටුවේ සාමාජිකයෙක්ද?


සාක්ෂිකරු: නැත ස්වාමීනි. 


ජනාධිපති නීතිඥවරයා: ඖෂධ වලට අදාළව ගෙවීම් ක්‍රියාවලියක් තිබුණා. අදාළ වවුචර් හා චෙක් පතට දොළොස් වැනි චූදිත අත්සන් කර තිබුණාද?


සාක්ෂිකරු: නැත ස්වාමීනී 


ජනාධිපති නීතිඥවරයා: ස්වාමීනි මෙහිදී පැ.32ලේඛනයට සාක්ෂිකරුගේ අවධානය යොමු කරනවා .එය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කළ ලිපියක් නේද?

සාක්ෂිකරු : එය ඖෂධ නිෂ්පාදනයට නිකුත් කරන GMP සහතිකය සම්බන්ධයෙන් වන බවය. 


අදාළ ලිපිය මගින් මෙම ආයතනයට එම සහතිකය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබෙන අතර එහි අත්සන් කර තිබෙන්නේ දොළොස් වන චූදිතදැයි ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී කමිටු වාර්තාව අනුව එම සහතිකය නිකුත් නොකරන බවට 2020/04/18 දිනැති එහි සඳහන් වන බව සාක්ෂිකරු කියා සිටියේය. 


"eoi වලට අදාළව ඖෂධ 157 කට පමණක් ලබා දී තිබුණාද යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එවැන්නක් සඳහන් වන බව සාක්ෂිකරු සඳහන් කළේය.


"ඒ අතර ලියාපදිංචි සැපයුම්කරුවනුත් ඉන්නවාද? යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී ඒ අතර බහුතරයක් සිටියා යන පිළිතුරු සාක්ෂිකරු ලබා දුන්නේය.


එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව අටවන චූදිත වන හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසූරිය මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.


"මෙම නඩුවට අදාළ මුල් පැමිණිල්ල කළේ සංජය ජෙරාඩ් පෙරේරා. ඔහු අටවෙනි චූදිතගේ උපදේශක බව ඔබ මීට පෙර සඳහන් කළා" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව පැමිණිලි දෙකක් ලැබුණු අතර ජෙරාඩ් පෙරේරාගෙන් සහ අල්ලස දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයෙන් තවත් පැමිණිල්ලක් ලැබුණු බවය.


එහිදී නීතිඥවරයා විමසීමක් කරමින් ඔබ "මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ සංජය ගේ පැමිණිල්ල ගැන පමණයි" යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ" ඔහුගේ ප්‍රකාශය සටන් සටහන් කර ගැනීමෙන් පසු මුල් බී වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළ බව"ය. 


"ඒ කියන්නේ  සංජය පෙරේරා ගේ පැමිණිල්ල අනුව තමයි අධිකරණයට කරුණු වාර්තා කළේ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ "එසේය ස්වාමීනි සංජය රජීවි ජෙරාඩ් පෙරේරා මහතාගේ පැමිණිල්ලක් මත අධිකරණයට කරුණු වාර්තා කළා"යැයි සාක්ෂිකරු ප්‍රකාශ කළේය 


"පළවන චූදිතගේ දුරකථන සංවාද සහ දුරකථන වාර්තා පරීක්‍ෂා කළ බව ඔබ කිව්වද? 202310/26  හය දින පළමු වන චූදිත සිටින තැන අනාවරණය කර ගැනීමට ඔබ එම දුරකථන වාර්තා ලබාගත් බව කිව්වා නේද ?"යනුවෙන් සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු එම වාර්තා ලබා ගත් බව සඳහන් කළේය. 


"මෙම දුරකථන වාර්තා වලට අදාළව එල් බී ෆිනෑන්ස් ආයතනයේ පුද්ගලයෙකු ගෙන්ද ප්‍රකාශයක් ලබාගත් බවට ඔබ පෙර සදහන් කළා නේද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂි කරුණු සඳහන් කළේ එවැනි වාර්තාවක් ලබාගත් බවය. 


නීතිඥ වරයා:"ඒ කියන්නේ ඔබට පරපුරුද්දක් තියෙනවා දුරකථන වාර්තා විමර්ශනය කරලා "


සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි. වැඩිපුර ලබාගෙන ඇති ඇමතුම් ඔස්සේ විමර්ශනය සිදු කළා. 


නීතිඥවරයා: මෙහිදී දුරකථන විස්තර ලබාගත්තේ ප්‍රසම්පාදනය සිදු කළ දින සහ චූදිතයන් අතර හුවමාර වූ දුරකතන සංවාද අනාවරණය කර ගැනීමට බව ඔබ කිව්වා 


සාක්ෂිකරු: එසේය ස්වාමීනි, ඔවුන්ගේ සම්බන්ධතා අනාවරණය කර ගැනීමට එය යොදා ගත්තා.


නීතිඥවරයා: යම් ලේඛනයක් සම්බන්ධයෙන් විමර්ශනය කරන්නේ යම් අරමුණක් ඇතිව. 


සාක්ෂිකරු :ලේඛනයකදී ප්‍රකාශ සටහන් කරගන්නවා. ඒ ඔස්සේ විමර්ශන සිදු කරනවා. 


නීතිඥවරයා: යම් අරමුණක් ඇතිව තමයි චූදිතයන්ගේ දුරකථන වාර්තා විශ්ලේෂණය කරන්නේ?


සාක්ෂිකරු :විමර්ශනයකදී අනාවරණය වන කරුණු සොයා බැලීම සඳහා එවැනි වාර්තා ලබා ගන්නවා.


නීතිඥවරයා: ඔබ විමර්ශකයෙකු ලෙස ලේඛන ලැබුණු විට යම් යම් රැස්වීම් වාර්තාවන් ලැබුණ විට, ඒ ඒ රැස්වීම්වල සිටි බව කියන පුද්ගලයන් එහි සිටිනවාද යන්න පිළිබඳව දුරකථන වාර්තා ලබා ගැනීමක් සිදුකළාද?


සාක්ෂිකරු: මෙහිදී එසේ කළේ නෑ රැස්වීමට සහභාගි වූ පුද්ගලයන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම් සිදු කළා.


නීතිඥවරයා: ඉන් ඔබ්බට ගොස් විමර්ශනය සිදු කළේ නෑ?


සාක්ෂිකරු: නෑ ස්වාමීනි රැස්වීමේ ප්‍රධානත්වය අටවන චූදිත විසින් ගත් බව සඳහන් වුනා.


නීතිඥවරයා :විශේෂ රැස්වීමක් ගැන ඇහුවේ නෑ.


සාක්ෂිකරු:ප්‍රධානත්වය ගත් අයගේ සහ සහභාගි වූ අයගේ ප්‍රකාශ ලබා ගත්තා 


දුරකතන වාර්තා වල self data unable යනුවෙන් සඳහන් වෙනවා දැයි නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ සම්බන්ධව මතකයක් නොමැති බවය.


ඒ සම්බන්ධයෙන් දැනීමක් තමන්ට නොමැති බවත් තාක්ෂණි ආධාර ඒකකයේ නිලධාරීන්ගෙන් එය දැනගත යුතු බවත් සාක්ෂිකරු සඳහන් කළේය. 


"ශ්‍රී ලංකාවේ දුරකථන කුළුණු වලට ආවරණය වෙන්නේ නැත්නම් පිටරටක සිටියා වෙන්න පුළුවන් නේද?" යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු "එම ෆෝන් එක ඕෆ් කරලා තියෙන්නත් පුළුවන්. තාක්ෂණික කරුණු ගැන අවබෝධයක් නෑ". යනුවෙන් සඳහන් කළේය.


"2022 10.21 දින මිනිදුලී ජයමාන්න නමැති සටහන් කළ මිනිට් සටහනක් ඔබේ භාරයට ගත්තාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ  අධිකරණ නියෝගයක් මත අදාළ මිනිස් සටහන් භාරයට ගත් බවය 

"මින්දුලි ජයමාන්නගේ ප්‍රකාශයේ සටහන් වූ බව ඔබ කිව්වා අටවන චූදිත ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවති බව " යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු අදාළ රැස්වීම එදින පැවති බව දොළොස්වන චූදිතගෙන් අනාවරණය වූ බව සඳහන් කළේය.


ඊට සහභාගී වූ දිනූෂ දසනායක විසින් එදින රැස්වීමක් පැවති බවට අනාවරණය කළ බවද සාක්ෂිකරු සඳහන් කළේය.


එදින පැවති බව කියන 10v53 ලෙස ලකුණු කර ඇති රැස්වීම සම්බන්ධයෙන් වන විමර්ශන වලදී එදින සහ එම වෙලාවේ දුරකථන වාර්තා සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් නීතිඥවරයා සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කිරීමට සූදානම් වූ අවස්ථාවේදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා "ඇලිබායි සම්බන්ධයෙන් මේ අධිකරණය නියෝගයක් දී අවසන් ඒ ගැන තවදුරටත් ප්‍රශ්න කරන්න බෑ" යනුවෙන් සඳහන් කළේය.


එහිදී නීතිඥ නයන්ත විජේසුන්දර මහතා සාක්ෂිකරුට නැවත ප්‍රශ්නයක් යොමු කරමින් "ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරියකු ලෙස කටයුතු කරනවා. මේ නඩුව සම්බන්ධයෙන් එක් එක් විදිහේ රැස්වීම් සටහන් සහ සටහන් විමර්ශනයට භාජනය වුණා නේද?" යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු එසේය යනුවෙන් පිළිතුරක් ලබා දුන්නේය. 


"යම් නිශ්චිත රැස්වීමක් සම්බන්ධයෙන් දුරකථන වාර්තා අනුව අනාවරණය වුණොත් ඒ ගැන විමර්ශනයක් කරනවා නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා "ඔබ නියෝජනය කරන්නේ අටවෙනි විත්තිකරුවයි . සෘජුව කළ නොහැකි දේ වක්‍රව සිදු කරන්නට බෑ" යනුවෙන් සඳහන් කළේය.


"ස්වාමීනි, එසේ නම් මගේ විරෝධතාවය සටහන් කරන ලෙස ඉල්ලීමක් කරනවා" යනුවෙන් නීතිඥවරයා ඉල්ලා සිටි අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශ කරමින් සභාපති විනිසුරුවරයා "නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ ගැටලුවට පැමිණිල්ල විසින් විරුද්ධත්වය පළ කරයි. මෙම ප්‍රශ්නය යොමු කරන්නේ බැලූ බැල්මට නිශ්චිත රැස්වීමක වීමක් නොවී සහ යම්කිසි රැස්වීමක සහභාගී  වූ අයෙකු එතැන නොසිටියා නම් වන බවට උපකල්පිත ප්‍රශ්නයක් ඉදිරිපත් කරමිනි. උපකල්පිත සිදුවීම් සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කිරීම සාක්ෂිය ආඥාපනතේ තුන්වන වගන්ති යටතේ  බැහැර කරයි. සාක්ෂිකරුවෙකු ට සාක්ෂි දිය හැක්කේ උපකල්පිත සිදුවීම් පිළිබඳව නොව දැනුමෙන් පමණි. එම ප්‍රශ්නය ඉදිරිපත් කළේ අටවැනි චූදිත සම්බන්ධයෙනි. අටවන චූදිත අන්‍යස්ථානිකභාවය පිළිබඳව සාක්ෂිය ඉදිරිපත් කළ නොහැකි බවට නියෝගයක් ලබාදී ඇත. සෘජුව කළ නොහැකි දේ වක්‍රව කළ නොහැක .ඒ අනුව අදාළ ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරනු ලැබේ " යනුවෙන් ඒ සම්බන්ධයෙන් වන නියෝගය ප්‍රකාශ කළේය. 


අනතුරුව නයන්ත විජයසුන්දර මහතා සාක්ෂිකරුටත් තවත් ප්‍රශ්නයක් යොමු කරමින් ඩයලොග් ආයතනයෙන් සියලු චූදිතයින්ගේ දුරකථන වාර්තා ලබා ගත්තාදැයි ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වාර්තා ලබාගත් බවය .ඊට අදාලව ඩයලොග් සමාගමේ ඉන්දික උදය ශාන්ත පෙරේරා යන අය පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස සාක්ෂි ලබාදුන් අතර සම්බන්ධ ප්‍රකාශය 2022 /06/04  වැනි දින ලබාගෙන ඇති බවද නීතිඥවරයා සඳහන් කළේය.


"අටවන චූදිත 2024 /02/02 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණියා නේද? යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී කළ දැනුම් දීමකට අනුව ඔහු එහි පැමිණි බව සාක්ෂිකරු කියා සිටියේය 


ඊට පෙර ඔහුගේ ඉල්ලීම මත 2023.12.26 වැනි දිනට පෙර ප්‍රකාශයක් සටහන් කරගත් බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.


2024 පෙබරවාරි දෙවන දින උදේ නමයත් නමයයි පහළවත් අතර කාලයේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර නමයයි පහළොවට ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කළ බවත් එම ප්‍රකාශය සටහන් කර ගැනීම රාත්‍රී අටට අවසන් බවත් සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එම ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදුකළ බවය.


ඔබේ සටහන් අනුව ඔහු පැය එකොළහකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳී සිටිනවා. එහි සඳහන් කර ඇති ආකාරයට ඔහුගේ වයස අවුරුදු 69යි.


ප්‍රකාශය සටහන් කරගන්නා අතරතුර විවේකයක් ලබා දී ම අවස්ථාවේදී රෝල්ස් පැටිස් හා තේ ලබාදී තිබූ බව ප්‍රකාශ කළ නීතිඥවරයා ඉන්පසුව 3.40 සිට 4.10 තෙක් පැය භාගයක විවේකයක් ලබාදී ඇති බවද එම අවස්ථාවේදී එළවළු රොටී සමග තේ ලබාදී ඇති බවද සඳහන් කළ නීතිඥවරයා "ඒවා කොහෙන්ද ගෙනාවේ" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය.


එහිදී සාක්ෂිකරු සඳහන් කළේ ඒවා ස්ථානාධිපතිවරයා විසින් ලබාදුන් අතර තේ සකස් කිරීම ආයතනයේදී ම සිදුකරන බවය ප්‍රකාශයන් ලබා දීමට වැඩි වේලාවක් ගතවන අවස්ථාවලදී ප්‍රකාශය ලබාදෙන තැනැත්තාට තේ ලබාදීමක් සිදුකරන බව සාක්ෂිකරු එහිදී කියා සිටියේය. 


නීතිඥවරයා:රෑ අටට අටවන චූදිතව අත්අඩංගුවට පත්වෙනවා?


සාක්ෂිකරු: අත්අඩංගුවට පත් වෙනවා ස්වාමීනී
 

නීතිඥවරයා: ඊට පස්සේ උප සේවයට බාර දෙනවා ද?


සාක්ෂිකරු: උප සේවයට භාරදීමක් සිදු කළා ස්වාමීනී


ඒ සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කෙරිණ.


ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.


අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරු වෝ වෙති.


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...