BREAKING
Top Ad
විශේෂාංග

අපේක්ෂාවේ කුළුණක් සහ කරුණාවේ ආදර්ශයක් - (ධම්ම දිසානායක)

T

The Leader

July 8, 2022 • 9:52 AM

අපේක්ෂාවේ කුළුණක් සහ කරුණාවේ ආදර්ශයක් - (ධම්ම දිසානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාර්ටින් ලුතර් කිං (කනිටු) විසින් 1963 අගෝස්තු මස 28 වැනි දින පවත්වන ලද
  • නිදහස ලැබුණා යැයි කියන 1948 සිට මේ වන විට වසර හැත්තෑ හතරක් ගෙවී ගිය ද මෙරට ජනයා තවමත් නිදහස් නැත.
  • නමුත් මෙරට පාලකයින් සහ පරිපාලකයින් ජනතාව මත යැපෙමින් ජීවිත නිදහස සහ සතුට පිළිබඳව මැතිවරණවල දී කලින් කලට සහ නිතර ජනතාවට ලබා දී ඇත්තේ මුදල් බවට පරිවර්තනය කළ නො හැකි පොරොන්දු චෙක්පත් ය.
  • ඒවායේ තිබූ දෑ පාලක පරිපාලක සහ ව්‍යාපාරික සුළු පිරිසක් විසින් සොරකම් කරගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

I Have a Dream  (මට සිහිනයක් තිබේ)  නැමැති ලෝක ප්‍රසිද්ධ දේශනය මෙම ලිපිය ලිවීමේ දී තීරණාත්මක ලෙස බලපා ඇති බව සඳහන් කරනුයේ, ඔහුට පමණක් නොව, මානව ශිෂ්ටාචාර පද්ධති වෙනස් කිරීමට අහිංසාවාදී නැතහොත් නිර්-ප්‍රචණ්ඩ විධික්‍රම උපයෝගී කරගත් නියමුවන්ට සහ සමාජ ව්‍යාපාරවලට ගෞරව කිරීමේ අදහසිනි.


 
ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිඳී වසර හැත්තෑ හතරකි. නමුත් දෙකෝටි විසි ලක්ෂයක් පමණ වන ජනයා මේ වනවිටත් ගෙවනුයේ නිදහසක් ගෞරවයක් සහ සතුටක් නැති ජීවිත ය.

නිදහස ලැබුණා යැයි කියන 1948 සිට මේ වන විට වසර හැත්තෑ හතරක් ගෙවී ගිය ද මෙරට ජනයා තවමත් නිදහස් නැත.

බොහෝ පිරිසක් ගෙවා දමනුයේ දිළිඳු දුඃඛිත සහ පීඩාකාරී ජීවිත ය.

මේ වනවිට පාලක පරිපාලක ව්‍යාපාරික සුළු පිරිසක් හැර අනෙකුත් සියලුම දෙනා සිටිනුයේ ආතතිමය මානසිකත්වයක ය. කායික මෙන් ම මානසික පීඩාවල අවසානයක් පිලිබඳ කිසිදු බලාපොරොත්තුවක් හෝ බලාපොරොත්තුවක සේයාවක් වත් නැත.

අනේක විධ පීඩාවෙන් එනම්, මළ මුත්‍රා පිට කිරීමට පවා තැනක් අවස්තාවක් නොමැතිව පෙලෙන මිනිසුන් භූමි තෙල් පෙට්‍රල් ඩීසල් පෝලිම්වල සහ ඉන් පිටත මිය ඇදෙද්දී කම්පනයෙන් පීඩාවෙන් අගහිගකමින් සාගින්නෙන් පෙලෙන ජනයා තැන නොතැන මිලිටරි සහ පොලිස් ප්‍රහාරවලට ලක්වන දෘශ්‍ය නිශ්චල රූප සහ වීඩියෝ ප්‍රධාන දහරාවේ මාධ්‍යවලත් සමාජ මාධ්‍යවලත් හිග නැත.

දිනක් දෙකක් වයසැති තම කිරිකැටි දරුවා තුරුළු කරගෙන ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් පිටවන මව්වරුන් පැය ගණන් බස් පෝලිම්වල හිටගෙන සිටින දර්ශන ද ඒ දසුන් අතර දැකිය හැකිය.  

මෙරට පාලකයින් සහ පරිපාලකයින්ගේ වගකීම් අතර රටෙහි ජනයාට පරිපූර්ණ ජීවිත නිදහස සහ සතුට ලබා දීම ප්‍රමුඛ විය යුතු ය. මන්ද පාලකයින් සහ පරිපාලකයින් ජන සමාජය මත යැපෙනුයේ එකී වගකීම් ඉටු කිරීමේ කොන්දේසි සම්පුර්ණ කිරීමට මිස හුදු ඔවුන්ගේ ජීවිත නිදහස සහ සතුට පරිපූර්ණ කර ගැනීමට පමණක් නොවිය යුතු නිසා ය.

නමුත් මෙරට පාලකයින් සහ පරිපාලකයින් ජනතාව මත යැපෙමින් ජීවිත නිදහස සහ සතුට පිළිබඳව මැතිවරණවල දී කලින් කලට සහ නිතර ජනතාවට ලබා දී ඇත්තේ මුදල් බවට පරිවර්තනය කළ නො හැකි පොරොන්දු චෙක්පත් ය.

මෙරට ජනයාගේ ජීවිත නිදහස සහ සතුට නමින් වූ ගිණුම් තුන ම හිස් ය. ඒවායේ තිබූ දෑ පාලක පරිපාලක සහ ව්‍යාපාරික සුළු පිරිසක් විසින් සොරකම් කරගෙන ඇත. නමුත් ගිණුමට අදාළ චෙක්පත් මුදල් කර ගැනීම කිසි දා ඉටු නොවන බලාපොරොත්තුවක් බවත් එය මුලාවක් ම බවත් ජනතාව දැන් වටහාගෙන සිටින බවට යම් යම් සලකුණු ඇත.



රටේ පවතින අර්බුදයේ මුල දේශපාලන අර්බුදයකි. අද මතු වී ඇති ආර්ථික අර්බුදය අනිවාර්යයෙන්ම ඒ දේශපාලන අර්බුදයේ ප්‍රතිපලයකි. දශක ගණනාවක් තිස්සේ මෙරට දේශපාලනය යැයි කියා පාලකයින් නඩත්තු කලේ තම පුද්ගලික සහ පවුල්වල බල අරගලය සහ තරඟය ය. මේ මොහොතේ පාලකයින් කොතරම් උත්සාහ ගත්තත් ඒ අරගලය සහ තරඟය අර්බුදයට ලක් වී ඇත. ඒ අනුව මෙරට දේශපාලන අර්බුදය ආර්ථික අර්බුදයට වඩා අතිශයින් ම නරක තැනකට ඇද වැටී ඇත.



මහජන විශ්වාසය දිනා ගත හැකි පක්ෂ නැත, දේශපාලන සංවිධාන නැතද නැත, කණ්ඩායම් ද නැත, පුළුල් සමාජ දේශපාලන ව්‍යාපාර ද නැත, නායකයින්   ද නැත. එසේ ම රටේ අර්බුදයට විසඳුම් සෙවීමේ දී වඩාත් තීරණාත්මක වන මූලෝපායික දේශපාලන නියමුවන් ද නැත, සිටින අයට ජාතික හෘදසාක්ෂියක් සහ ජාතික එකමුතුවක් ගැන හැඟීමක් නැත. මේ නිසා මෙය දේශපාලන අර්බුදයකින් එහාට ගිය බලපතළ ආණ්ඩුකරණ අර්බුදයක් බවට පත් වී ඇත. මා ඉහත බලාපොරොත්තුවක සේයාවක් වත් නැත කීවේ ඒ නිසා ය.

නිදහසට කිසිදු කරුණු පැහැදිළි කිරීමක් කළ නොහැකි තැනකට පොදු සමාජය තුල කිසිදු විශ්වාසයක් ගොඩ නැගිය නොහැකි තැනකට පාලකයින් සහ පරිපාලකයින් ඇද වැටී ඇතත් විවිධ උපායන් යොදා ගනිමින් නැවත බලය පිහිටුවීමට මේ දෙකොටස දරන උත්සාහය නැවතී නැත.

තම අරමුණු සාධනය සඳහා වූ එම උපායන් එක්කෝ කපටි සුක්ෂම සහ සැඟවුණු ඒවා විය හැකිය. නැතහොත්  වක්‍ර සහ එළිපිට මර්දනය සහ ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම විය හැකිය. අසරණ සහ කම්පිත ජනයාට එරෙහිව තැනින් තැන සිදුවන මිලිටරි සහ පොලිස් පහර දීම් ඊට නිදසුන් ය.

hsdjklfhහත්මා ගාන්ධි - මාටින් ලූතර් කිං - නෙල්සන් මැන්ඩෙලා


නමුත් ජීවිතය නිදහස සතුට සාධාරණත්වය සහිත ක්ෂේම භූමියකට යාමට බලාපොරොත්තුවන සැරසෙන වෙහෙසෙන මගේ රටේ ජනතාවට කිව යුතු දෙයක් ඇත. එනම් අපට නිසි තැන සහ නිසි දෑ ලබා ගැනීමේ ක්‍රියාවලියේදී අප වැරදි ක්‍රියාවල වරදකරුවන් නොවිය යුතුය. “තිත්ත වෛරය නමැති කෝප්පයෙන් බී නිදහසේ පිපාසය සංසිඳුවා ගැනීමට උත්සාහ නොකරමු”.

 

පීඩකයින්ගේ උපක්‍රම මනාව හඳුනාගන්නවා මිස අප ඒවා අනුකරණය කිරීමට උත්සාහ නො කළ යුතුය. මන්ද ඒ උපක්‍රම වඩාත් සුක්ෂමව සහ උපායික ලෙස පාවිච්චි කිරීමට දන්නේ ඔවුන් මිස අප නොවන නිසා ය.

එසේම එවැනි සාහසික උපක්‍රම ඔවුන්ගේ සාහසිකත්වයේ සහ නරුමත්වයේ සංකේත මිස පොදුජන සමාජයට අයත් ඒවා නොවේ. අප අනුගමනය කළ යුත්තේ වඩාත් අහිංසාවාදී ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම ය. පාලක පරිපාලක පීඩකයින් සසල වන්නේ සහ බිය වන්නේ එවැනි පොදු ජන උපක්‍රමවලට ය.

පොදුජන ව්‍යාපාර විසින් පීඩකයින්ගේ ප්‍රචණ්ඩ උපක්‍රම ම ඔවුනට එරෙහිව අනුගමනය කරනවාට පීඩකයින් ඉතා කැමතිය. මන්ද එවිට ඒවා මර්දනය කිරීම ඔවුන්ට ලෙහෙසි පහසු වන නිසා ය. එම මර්දන ක්‍රියාමාර්ගවලට යුක්තියුක්තතාවක් ලැබෙන නිසා ය.

නමුත් අහිංසාවාදී එනම්, නිර්-ප්‍රචණ්ඩ පොදුජන සමාජ දේශපාලන උපායමාර්ග මර්දනය කිරීම පාලක-පරිපාලක පීඩකයින්ට සහ ඔවුන්ගේ නිල නො නිල මර්දන යාන්ත්‍රණවලට ලෙහෙසි නැත. මහත්මා ගාන්ධි, මාටින් ලූතර් කිං සහ නෙල්සන් මැන්ඩෙලා අපට කියා දී ඇති අනර්ඝ පාඩම එය ය. අප ඉන් ඉගෙන ගත යුතු ය.


නිර්-ප්‍රචණ්ඩ විරෝධතා සහ අරගලවල ඇති සුවිශේෂී වැදගත්කම මතු කිරීමට මා කැමතිය. එවැනි විරෝධතා සහ අරගල ජයග්‍රහණය තෙක් ගෙනයාමට අවශ්‍ය ජනයා සතු සදාචාරාත්මක ආවේග සහ හැඟීම් ගබඩා අවසානය එනම්, අරමුණ ඉටුවන තෙක් සිඳී යන්නේ නැත. පාලක-පරිපාලක පීඩකයින්ගේ එක උපක්‍රමයක් වනුයේ පොදු ජනයාගේ එම සදාචාරාත්මක ගබඩා විනාශ කොට පොදුජන ව්‍යාපාර දුර්වල කිරීමය.



ඒ අනුව පොදුජන සමාජ ව්‍යාපාර ප්‍රචණ්ඩ උපක්‍රම භාවිතා කරනවාට පීඩකයින් අතිශයින් ම කැමති වන්නේ ප්‍රචණ්ඩ පොදුජන ව්‍යාපාරයක ආයුෂ නිර්-ප්‍රචණ්ඩ පොදුජන අරගල ව්‍යාපාරයකට වඩා අතිශයින් ම කෙටි වන නිසා ය. පොදුජන ව්‍යාපාරවල ප්‍රචණ්ඩ ක්‍රියා නිසා අරගලකාරී පොදුජන ආවේගශීලී මානසිකත්වය තුනී වන බව පීඩකයින් දන්නා නිසා ය.

ඉන් පසු පොදුජන අරගලකාරී මානසිකත්වය පුනර්ජීවනය කිරීම ලෙහෙසි පහසු නො වන බව දන්නා නිසා ය.

එබැවින් පොදුජන සමාජ දේශපාලන ව්‍යාපාර ප්‍රචණ්ඩ වනවාට පාලක-පරිපාලක පීඩකයින් ඉතා කැමතිය. ජනයා එම උගුලේ නො වැටිය යුතු ය යන්න මගේ යෝජනාවය. මඳකට අපි මාටින් ලූතර් කිං දෙසට හැරෙමු. ඔහුගේ “I have a dream” දේශනයේ මේ කොටස කියවමු.


“අපි අපේ අරගලය සදාකාලිකවම ගෞරවාන්විත හා විනය නමැති ඉහළ තලයේ පවත්වාගෙන ගෙන යා යුතුයි. අපගේ නිර්මාණාත්මක විරෝධය භෞතික ප්‍රචණ්ඩත්වය දක්වා පිරිහීමට ඉඩ නො දිය යුතු ය. නැවත නැවතත්, ආත්ම බලය සමඟ භෞතික බලය හමුවීමේ උත්කෘෂ්ට උච්චස්ථානයට අප නැගී සිටිය යුතුය. නීග්‍රෝ ප්‍රජාව වසාගෙන ඇති පුදුමාකාර නව සටන්කාමීත්වය සියලු සුදු ජාතිකයින් කෙරෙහි අවිශ්වාසයකට අපව යොමු නොකළ යුතුය. මන්ද අපගේ බොහෝ සුදු සහෝදරයන්, අද මෙහි පැමිණීමෙන් පෙන්නුම් කරන පරිදි, ඔවුන්ගේ ඉරණම අපගේ ඉරණම සමඟ බැඳී ඇති බව වටහාගෙන ඇත”.

ඇත්ත, අප දන්නා ඉතිහාසය පුරා මේ රටේ පාලකයින් සහ පරිපාලකයින් පොදු ජනයාට ලබා දුන්නේ ගෞරවනීය ජීවිත, නිදහස, සහ සතුට නො වේය. ඔවුන් ඒවා ඔවුන්ට, සිය පවුල්වලට සහ සහචරයින්ට ලියා ගත්තේය.

පොදු ජනයාට හැමදාම ලැබුණේ බඩු මිළ ඉහළ දැමීම, ගාස්තු ඉහළ දැමීම, සෞඛ්‍යය අධ්‍යාපනය ගමනාගමනය වැනි සුබසාධන කටයුතු කප්පාදු කොට එකී අංශ වෙළඳපොළ ග්‍රහණයටම නතු කිරීම, ජීවන මට්ටම් පහළ දමමින් ජීවන වියදම් ඉහළ දැමීම, පොදු ඉඩම් සම්පත් දේපොළ කොල්ලකෑම, රැකී රස්සා අහිමි කිරීම සහ පහර ගැනීම, පහර දීම්, දේපොළ විනාශ කිරීම්, ඝාතන සහ අතුරුදහන් කිරීම, රාජ්‍ය ධනය සොරකම් කිරීම හරහා ජන ජීවිත සිඟමනට ඇද දැමීම, වැනි පීඩා පමණක්ම ය.      
   

එහෙත් අප අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් වේ. එනම්, පීඩාවලට එරෙහි අරගල නිසා පීඩිත පොදු ජනයා තව තවත් පීඩාවට පත් නොකර සිටීමට අප වගබලා ගත යුතු ය යන්න ඒ කරුණ ය.

මේ මොහොතේ අධික මිළ ගණන්වලින්, ආහාර හිගයෙන්, ආහාරවල මිල නොකඩවා ඉහළ යාමෙන්, සාගින්නෙන්, මන්ද පෝෂණයෙන්, බෙහෙත් නැතිකමින්, යාම් ඊම් ඇනහිටීමෙන්, හිතමිතුරු ඥාති සබඳතා බිඳ වැටීමෙන්, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමෙන්, ගොවීන්ට ගොවිතැන සහ ධීවරයින්ට ධීවර රස්සාව අහිමි වීමෙන්, දෛනික රස්සා සහ කුලී වැඩ අහිමි වීමෙන්, ඉන්ධන ගාස්තු ඉහළ යෑමෙන්, වතුර ලයිට් ටෙලිෆෝන් බස් දුම්රිය ත්‍රීවීල් ගාස්තු ඉහළ යෑමෙන්, පෝලිම්වල දින තුනහතර සිටියත් ඉන්ධන නො ලැබීමෙන් සහ පෝලිම්වල තම සහෝදර ජනයා මිය යනු දැකීමෙන් එමෙන් ම පාලකයින් සහ පරිපලකයින් පොදුජනයාගේ මුදල් භූමිය සහ ආයතන සොරකම් කර ඇති සහ අවභාවිත කර ඇති අකාරය පිලිබඳ තොරතුරු දැනගැනීමෙන් යනාදී වශයෙන් වූ දෑ නිසා අති දරුණු මානසික ආතතියකින් අසහනයකින් සහ කායික මානසික පීඩාවකින් පෙළෙන ජනයා කිසිදු ආකාරයකින් පීඩාවට ලක් නොකිරීමට පොදුජන විරෝධතා සහ අරගල හැකි උපරිමයෙන් පරිස්සම් විය යුතු ය යන්න මගේ අදහස ය.

පොදුජන අරගල සහ විරෝධතා ව්‍යාපාරවල විසිරුණු ශක්තිය සහ අවිධිමත් ක්‍රියාකාරිත්වය සහ අවිධිමත් සහ නොහික්මුණු සටන්කාමිත්වය, මධ්‍යගත ශක්තියක් සහ විධිමත් ක්‍රියාකාරිත්වයක් සහ විනායානුකුල සටන්කාමිත්වයක් බවට පත් කිරීමේ සංයමයක් වගා කරගත යුතු ම ය. ඒ සඳහා වූ මාධ්‍යය විය යුත්තේ පොදුජන පීඩාවෙන් තොර පොදුජනවාදී නිර්-ප්‍රචණ්ඩ විධික්‍රම ය. ඒ ගැන අප වඩාත් ගැඹුරින් සිතමු යන්න මෙවර මගේ ‘කිවි දා දැක්මේ’ යෝජනාවය.


Dhamma Dissanayake.jpg(ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ධම්ම දිසානායක)
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශය
dhammadissa@gmail.com

(8.7.2022/කිවි දා දැක්ම/ලංකාදීප)

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...