වසම් මට්ටමින් ජනතාවට වෛද්‍ය හා හෙද මඟපෙන්වීම් ලබාදෙන නව වැඩපිළිවෙළ සැප්තැම්බර් 01 දා සිට රට පුරා
අමුත්තකු නිවසට පැමිණි විට බීම සංග්‍රහයක් පිරිනැමීම මෙරට සංස්කෘතියේ මුල් බැසගත් චාරිත්‍රයකි. එහෙත් වර්තමානයේ තේ කෝප්පයක් පිළිගන්වන විට පවා “සීනි අඩුවෙන්ද? නැතිවද?” යනුවෙන් විමසන්නට සිදුව ඇත්තේ බෝ නොවන රෝග ශ්‍රී ලාංකීය සමාජයේ දෛනික ජීවිතයට කෙතරම් තදින් කාවැදී ඇත්ද යන්න මනාව පිළිබිඹු කරමිනි.
ශ්‍රී ලංකාවේ වත්මන් රෝහල් පද්ධතිය තුළ රෝගියකු වෛද්‍යවරයකු හමුවීමට යන අවස්ථාවල පවතින දැඩි තදබදය සහ පෝලිම් හේතුවෙන්, රෝගියාගේ තත්ත්වය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර උපදෙස් ලබාදීමට වෛද්‍යවරුන්ට පවතින කාලය අතිශයින් සීමිත වී තිබේ. අනෙක් අතට, සාමාන්‍ය ජනතාවටද සිය සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ප්‍රමාණවත් කාලයක් ගෙන සාකච්ඡා කිරීමට හෝ වැළැක්වීමේ සෞඛ්‍ය ක්‍රමවේද පිළිබඳ දැනුවත් වීමට අවස්ථාව නොලැබීම දීර්ඝකාලීන ගැටලුවක් බවට පත්ව ඇත.
සාම්ප්‍රදායික බෙහෙත් ශාලාවෙන් ඔබ්බට ගිය වැළැක්වීමේ ප්‍රවේශයක්
මෙම පසුබිම සැලකිල්ලට ගනිමින්, ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් ආවරණය වන පරිදි ප්‍රජා මට්ටමින් සෞඛ්‍ය උපදෙස්, පරීක්ෂණ සහ මඟපෙන්වීම් ලබාදීමේ අරමුණින් ‘ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන’ සංකල්පය හඳුන්වා දීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම නව වැඩපිළිවෙළ සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාවට නැංවේ.
මෙම මධ්‍යස්ථාන සාම්ප්‍රදායික බෙහෙත් ශාලාවකට (Dispensary) හෝ බාහිර රෝගී අංශයකට සීමා නොවූවකි. පුද්ගලයකු රෝගාතුර වූ පසු ප්‍රතිකාර කිරීමට වඩා, රෝග ඇතිවීම කල්තියා වළක්වා ගැනීම (Preventive Care) සහ සමස්ත ශාරීරික සුවතාව (Wellness) ප්‍රවර්ධනය කිරීම මෙහි මූලික අරමුණයි. සෑම මධ්‍යස්ථානයකටම වෛද්‍යවරයකු, ප්‍රජා හෙද කාර්ය මණ්ඩලයක් සහ සම්බන්ධීකරණ නිලධාරීන් අනියුක්ත කෙරෙන අතර, ඔවුන් ප්‍රදේශයේ ජනතාවගේ පවුලේ වෛද්‍ය අවශ්‍යතා සහ ජීවන රටා උපදේශන සේවාවන්හි සෘජු වගකීම දරනු ඇත.
ජාතික සෞඛ්‍ය පිරිවැය අවම කරමින් ආයු අපේක්ෂාව ඉහළ නැංවීම
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්තයන්ට අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත මරණවලින් 80%කට අධික ප්‍රමාණයකට හේතුවන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ හෘද රෝග වැනි බෝ නොවන රෝගයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රෝගයක් උත්සන්න වූ පසු ද්විතීයික හෝ තෘතීයික රෝහල් වෙත යොමුවීමට වඩා ප්‍රාථමික සෞඛ්‍ය සේවා මට්ටමින්ම අවදානම් සාධක හඳුනා ගැනීම වඩාත් ඵලදායී ක්‍රමවේදය බව විශේෂඥයෝ පෙන්වා දෙති.
ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සවිමත් කිරීම හරහා රෝහල්වල පවතින තදබදය අවම වන අතරම, සෞඛ්‍ය අංශ සඳහා වැයවන දැවැන්ත ඖෂධ පිරිවැය ද සැලකිය යුතු ලෙස පාලනය කරගත හැකිය.
වසම් මට්ටමින් ක්‍රියාත්මක වන ආරෝග්‍යා මධ්‍යස්ථාන නිසි ප්‍රමිතියෙන් හා අඛණ්ඩ අධීක්ෂණයෙන් යුතුව පවත්වාගෙන යාම තුළින් ප්‍රජාවගේ සෞඛ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමටත්, ශ්‍රී ලාංකිකයින්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව පමණක් නොව "නිරෝගී ආයු කාලය" (Healthy Life Expectancy) දීර්ඝ කිරීමටත් ශක්තිමත් පදනමක් නිර්මාණය වනු ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.





