අපනයන විවිධාංගීකරණයට සූදානම් ක්ෂේත්‍රයකට මන්දගාමී නියාමනයෙන් වෙන අඩන්තේට්ටම්
දශක හයක ප්‍රගතිය සහ ප්‍රතිපත්තිමය අන්ධභාවය
ශ්‍රී ලංකාවේ දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය වසර හැටකට ආසන්න කාලයක් තිස්සේ ලබා ඇති ප්‍රගතිය හමුවේ, එහි සැබෑ ආර්ථික හා අපනයන හැකියාවන් තවමත් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ නිසි ඇගයීමට ලක්ව නොමැති බව ක්ෂේත්‍රයේ නිලධාරීන් පෙන්වා දෙයි. තාක්ෂණය, විශේෂඥ දැනුම හෝ ආයෝජන රුචිය පැවතියද, ප්‍රතිපත්තිමය වශයෙන් ලැබිය යුතු නිසි ඇගයීම සහ සහාය නොලැබීම හේතුවෙන් ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබාදිය හැකි මෙම ක්ෂේත්‍රය එකතැන පල්වීමේ අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.
උපායමාර්ගික වටිනාකම සහ "දෘෂ්ටිමය පරතරය"
ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ (SLPMA) නව සභාපති දිනේෂ් අතපත්තු සඳහන් කරන්නේ, බලයට පත්වූ අනුප්‍රාප්තික රජයන් විසින් දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඇති උපායමාර්ගික වටිනාකම නිවැරදිව තක්සේරු කිරීමට අසමත් වී ඇති බවයි. සෞඛ්‍ය ආරක්ෂණය, විදේශ විනිමය ඉපැයීම සහ උසස් රැකියා උත්පාදනය උදෙසා විශාල මෙහෙවරක් කළ හැකි කර්මාන්තයක් ජාතික කාර්මික සංවර්ධන න්‍යාය පත්‍රයේ පසුපසට තල්ලු වී තිබීම පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
කර්මාන්ත විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මේ පිටුපස පැහැදිලි "දෘෂ්ටිමය පරතරයක්" පවතින බවයි. මෙරට ඖෂධ ක්ෂේත්‍රය පිළිබඳ පොදු සමාජයීය හා දේශපාලනික කතිකාවන් බොහොමයක් ඖෂධ හිඟය, මිලදී ගැනීමේ ක්‍රියාවලියේ ගැටලු සහ මිල ගණන් සම්බන්ධ අර්බුද වටා පමණක් කැරකෙන අතර, දේශීය නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම, අපනයන අවස්ථා අත්පත් කරගැනීම හෝ තාක්ෂණික දියුණුව කෙරෙහි දක්වන අවධානය අවම මට්ටමක පවතී.
ගෝලීය වෙළඳපොළ සහ මන්දගාමී නියාමන බාධා
වර්තමානය වන විට ගෝලීය ඖෂධ වෙළඳපොළ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.8ක පමණ විශාලත්වයකින් යුක්ත වේ. ශ්‍රී ලංකාව දේශීය ඉල්ලුම සපයා ගැනීමට පමණක් සීමා නොවී, එකී ගෝලීය වෙළඳපොළෙන් කුඩා කොටසක් හෝ අත්පත් කරගැනීමට උපායමාර්ගිකව යොමු විය යුතු බව නිෂ්පාදකයෝ අවධාරණය කරති. එහෙත්, නියාමන ක්‍රියාවලියේ පවතින මන්දගාමී ස්වභාවය සහ බාධාවන් නව ආයෝජන අධෛර්යමත් කිරීමට හේතු වී තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් පසුගිය කාලසීමාව තුළ ලියාපදිංචි කිරීමේ කාලරාමුව යම් තරමකට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබුණද, නව ඖෂධ සහ නිෂ්පාදන සඳහා අනුමැතිය ලබාගැනීමට ගතවන කාලය තවමත් දීර්ඝ මට්ටමක පවතී. මෙවැනි නියාමන අවිනිශ්චිතතාවන් හේතුවෙන් නව නිෂ්පාදන මාර්ග ආරම්භ කිරීමට සහ උසස් තාක්ෂණික ක්‍රමවේද වෙත යොමුවීමට අපේක්ෂා කරන ආයෝජකයෝ සිය ආයෝජන තීරණ කල්දමමින් සිටිති.
පරිසර පද්ධතියේ අඩුව සහ අධ්‍යාපනික සබඳතා
මීට අමතරව, ශ්‍රී ලංකාව තුළ තවමත් ඒකාබද්ධ ඖෂධ නිෂ්පාදන පරිසර පද්ධතියක් (Integrated Pharmaceutical Ecosystem) ගොඩනැගී නොමැති වීමද ප්‍රධාන බාධකයකි. විශේෂිත පරීක්ෂණාගාර, ජෛව පෙනුම/සමානතා මධ්‍යස්ථාන (Bioequivalence Centres) සහ උසස් ඇසුරුම්කරණ තාක්ෂණය වැනි අත්‍යවශ්‍ය සහායක සේවාවන් දේශීයව ප්‍රමාණවත් තරම් වර්ධනය වී නොමැති අතර, ඒ හේතුවෙන් අමුද්‍රව්‍ය හා තාක්ෂණික මෙවලම් සඳහා විදේශයන් මත යැපීමට සිදුවී ඇත. මෙය නිෂ්පාදන පිරිවැය ඉහළ නැංවීමට මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළ තුළ පවතින තරගකාරීත්වය හීන කිරීමටද හේතු වේ.
එසේම, විශ්වවිද්‍යාල සහ නිෂ්පාදන ක්ෂේත්‍රය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් විය යුතු බවට මත පළවේ. මෙරට විශ්වවිද්‍යාලවලින් වසරකට විද්‍යා උපාධිධාරීන් දහස් ගණනක් බිහිවුවද, ඔවුන්ගේ දැනුමට සරිලන රැකියා අවස්ථා සොයාගැනීමේ අභියෝග පවතී. උසස් අධ්‍යාපන පාඨමාලා ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නූතන අවශ්‍යතාවලට අනුකූල වන පරිදි යාවත්කාලීන කරන්නේ නම්, මෙම උගතුන්ගේ දායකත්වය සාර්ථකව ක්ෂේත්‍රයට ලබාගත හැකිය.
ආර්ථික උපායමාර්ගයක් ලෙස ජාතික කාර්යසාධක බලකායක අවශ්‍යතාව
ඖෂධ නිෂ්පාදනය යනු හුදෙක් සෞඛ්‍ය සේවා සැපයීමේ මෙවලමක් පමණක් නොව, රටේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගයක් ලෙස සැලකිය යුතු බව SLPMA නායකත්වය පෙන්වා දෙයි. ඇඟලුම්, තේ, සංචාරක සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවලට අමතරව රටේ අපනයන ආදායම විවිධාංගීකරණය කිරීම සඳහා රජය, නියාමකයින්, අධ්‍යයන ක්ෂේත්‍රය සහ නිෂ්පාදකයින් ඒකාබද්ධ වූ ජාතික මට්ටමේ කාර්යසාධක බලකායක් සෑදීමේ අවශ්‍යතාව ඔවුන් පෙන්වා දෙයි.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :




