ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ගැන හෙළිදරව්වක්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ වත්මන් ආණ්ඩුවේ ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සහ ආර්ථික ප්‍රතිපත්ති දැඩි විවේචනයට ලක් කර තිබේ. කොළඹ අවට එක්තරා ප්‍රාදේශීය සභාවක් ඩෙංගු දුම් ගැසීම සඳහා "අඩුම තරමේ රෝගීන් 10 දෙනකුවත් සිටිය යුතු බව" පවසන බව ඔහු අනාවරණය කළේය.
ඔහු එම කරුණු අනාවරණය කලේ, නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී අද (18) පෙරවරුවේ මාධ්‍ය අමතමිනි.
ඩෙංගු මර්දනය සහ පළාත් පාලන අර්බුදය
ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව, විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ජීවිත ඩෙංගු අවදානමට ලක්ව ඇති මොහොතක, පළාත් පාලන ආයතන නිලධාරිවාදී සීමාවන් මත ක්‍රියා කිරීම බරපතල ගැටලුවකි.
කොළඹ අවට බහුතරයක් ප්‍රාදේශීය සභා පාලනය කරනු ලබන්නේ ජාතික ජන බලවේගය (JVP) විසින් බවත්, ඔවුන් තමන්ගේ ප්‍රදේශ පිරිසිදු කිරීමට නිසි පියවර ගෙන නොමැති බවත් නාමල් රාජපක්ෂ පවසයි.
බේරේ වැව උදාහරණය: කොළඹ මහ නගර සභාව මුලදී බේරේ වැව සුද්ද කරන බව පැවසුවද, වෙසක් කලාප කාලයේදී එහි සැබෑ තත්ත්වය සහ අසාර්ථකත්වය පැහැදිලි වූ බව ඔහු පෙන්වා දෙයි.
තෙල් මිල, බදු සහ මැදපෙරදිග යුද්ධය
ලෝක වෙළඳපොළේ සහ කලාපයේ අනෙක් රටවල තෙල් මිල අඩු වෙද්දී ශ්‍රී ලංකාවේ තෙල් මිල ඉහළ මට්ටමක පවත්වාගෙන යාම හරහා සාමාන්‍ය ජනතාව, විශේෂයෙන්ම ත්‍රිරෝද රථ රැකියාවල නියුතු පිරිස් දැඩි පීඩනයකට ලක්ව සිටිති.
ආණ්ඩුව මැදපෙරදිග යුද්ධය පෙන්වමින් අසීමිත ලෙස බදු ගසන බවටත්, බාල ගල්අඟුරු මිලදී ගැනීමෙන් සිදු වූ පාඩුව පියවා ගැනීමට තෙල් මිල වැඩි කර ඇති බවටත් ඔහු චෝදනා කරයි.
රජයේ ගිණුම්වල රුපියල් ට්‍රිලියනයක මුදලක් තිබියදීත් ජනතාවට සහන නොදෙන්නේ නම්, ආණ්ඩුව "පොහොසත් රටක් වෙනුවට දුප්පත් මිනිසුන් ඉන්න රටක්" නිර්මාණය කරනු ඇති බව නාමල් අවධාරණය කරයි.
පොහොට්ටුවේ 'ඊළඟ පරම්පරාවේ' දේශපාලනය
බැසිල් රාජපක්ෂ ගේ ආශිර්වාදය ඇතිව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ගම් මට්ටමින් නව නායකත්වයක් සහ තරුණ දේශපාලන බලවේගයක් ගොඩනැගීමේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසිය.
අනුරාධපුර, පොළොන්නරුව සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා නව ආසන හා කොට්ඨාස සංවිධායකවරුන් රැසක් මේ වන විටත් පත් කර ඇත.
මහින්ද, බැසිල්, ගෝඨාභය සහ චමල් යන රාජපක්ෂවරුන්ගේ එකඟතාවය මත දේශපාලන බලය මීළඟ තරුණ පරම්පරාවට භාරදීමේ ක්‍රියාවලිය පක්ෂය තුළ වේගවත් වෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
..........




